සිංහල කාව්‍ය ඉතිහාසයේ කවිකාර නෝනලා

Read Time:8 Minute, 16 Second

 
සිංහල කාව්‍ය ඉතිහාසය කවියන්ගෙන් මෙන්ම කිවිඳියන් ගෙන් ද අඩුවක් නො වීය.
රූණ හාමිනේ , රංචාගොඩ ළමයා, සබේ විදානේගේ සොහොයුරිය, අත්තරගම කුමාරිහාමි, දෝන ප්‍රැන්සිනා දිසානායක ළමා තැනී, විජේකෝන් මැතිණිය වැනි බොහෝ දෙනා පැරණි කවිකාර ළඳුන් වෙති.
ඒ විතරක් නොව , පැරණි කවියන් වූ අන්දරේ, පුයියප්පු, බරණගණිත, උඩුගොඩ ගණිත , තිරුවා ආදීන්ගේ භාරයාවෝ ද කවි නෝනලා වූහ.
කවියට නැමුණු කන්තාවෝ කවුරුත් පාහේ රූමතියන් ද වූ බව ද සැලකිය යුතුය.
කෙසේ වෙතත්, පැරණි සිංහල කවි නෝනලාගෙන් විශිෂ්ටතම කිවිඳිය ලෙස සඳහන් වෙන්නේ , දෝන ඉසබෙලා පෙරුමාල් කොර්නේලියා හෙවත් ගජමන් නෝනා ය.
ගජමන් නෝනාගේ සීයා ද , සහෝදරියන් ද , සහෝදරියන්ගේ දරුවන් ද , ගජමන් නෝනාගේ දරුවන් මෙන්ම ඇයගේ සැමියන්ද කවියන් හා කිවිඳියන් වූහ.
ගජමන් නෝනා ළමා වියේ සිටම කවියට හපන්කම් පෑ තැනැත්තියකි.
දිනක් පිත්තල සෙම්බුවත් රැගෙන ළිඳට ගිය ඇය , සෙම්බුවට වතුර පුරවා එය ළිං පඩිය මත තබා , මද වේලාවක් කෙළි දෙළෙන් ගත කොට ,ගෙදර යෑමට සෙම්බුව ගැනිමට ළිඳ ලඟට ආ විට සෙම්බුව අතුරුදහන්ව තිබුණි.
ඇය වට පිට බැලුව ද කිසිවකු පෙනෙන්නට නොසිටියෙන් කෝප වූ ඇය මෙසේ කීවා ය.
” පුංචි රුවන් පුංචි රුවන් පුංචි කළේ
වතුර අරන් ළිඳ උඩ තැබුවාය කළේ
අට පහ නොදන්නා ජඩයෙකි මේ කළේ
ගෙදර යන්න දෙනව ද මගෙ පුංචි කළේ “
ගජමන් නෝනාගෙ පියා වීර්තමුල්ල ගමගේ දොන් ප්‍රන්සිස්කු සේනාරත්න කුමාරප්පෙරුමාල් ය.
1737 බටහිර ගිරුවා පත්තුවේ , බෙලිඅත්ත ප්‍රදේශයේ කහවත්ත නම් ගමේ උපන් මොහු, ගජමන් ආරච්චි වූයේ එවකට සිටි ආණ්ඩුකාරවරයා විසින් ගජමන් ආරච්චි වසම සහ කහවත්ත තෝම්බුව භාර වසම ලබාදීමෙන් පසුවය.
කොළඹ මිලාගිරිය පලිල්යේ දී 1757 දී බව්තීස්මය ලැබු ගජමන් ආරච්චි , එම පල්ලියේ තෝම්බු භාරකරුවා මෙන්ම, මිලාගිරිය පාසලේ ප්‍රධානාචාර්යවරයා වූ කොන්දගම්ගේ ජසෙන්තු ග්‍රේරුගේ තෙවැනි දියණිය වූ ප්‍රැන්සිනා ග්‍රේරු හෙවත්, නෝන බබා හාමිනේ 1758 දී විවාහ කර ගත්තේය.
ගජමන් නෝනාගේ අම්මා වූ නෝන බබා හාමිනේ ද මිලාගිරිය පාසලේම ගුරුවරියක් වුවා ය.
ගජමන් නෝනාගේ මවගේ පියා වූ ජසෙන්තු ග්‍රේරු ද කවි තැනීමේ සමතෙක් විය.
ඒ අවදියේ ද , කපටි ශ්‍රමණයන් සිටි අතර, ජසෙන්තු ග්‍රේරු විසින් එක්තරා කපටි ශ්‍රමණ කෙනෙකුන් සඳහා ලියූ කවිය මෙසේය.
” බුදුරුවා දෙසු දම් ගෙන නොම සිතට
උදුරුවා දමන ලෙස වෙර බැඳ එවිට
මදුරුවා ඇන්න විලසින් මහ. මෙරට
ඉඳුරුවා මොකද මෙකරන සට. කපට “
ඉතිහාසය තුළ හාස්‍යයෝත්පාදක කවි කීමේ සමතකු ලෙස අන්දරේ ප්‍රසිද්ධ වූයේ යම්සේ ද, ගජමන් නෝනා ප්‍රසිද්ධියට පත් වූයේ කාමාසත්ත හැඟීම් සහ ශෘංගාරාත්මක හැඟීම් දනවන කවි ගෙතීමේ සමතියක ලෙසය.
ඇලපාත මුදලි ඇතුළු සමකාලීන වෙනත් කවීන් ද ගජමන් නෝනා කෝප ගන්වා ඇය ලවා ශෘංගාරාත්මක කාව්‍ය ප්‍රබන්ධ කරවා ගනීමින් හා ඇගෙන් කටුක කර්කෂ ඇතැම් විට අශ්ශීල කවි ප්‍රබන්ධ කර ගනිමින් සතුටක් ලැබූ බව ඇගේ කවි ඉතිහාසය පිරික්සීමේ දී දැකිය හැක.
ගජමන් නෝනා බාල කාලයේ සිටම, පිරිමි වෙස් ගෙන මහනුවර මල්වතු විහාරයේ කරතොට හිමියන් ඇසුරෙහි අධ්‍යාපනය ලැබූ බවට ජනශ්‍රැති කිහිපයක් ඇත.
ගජමන් නෝනාගේ ගුරු පරපුර පිරික්සීමේ දී වැලිවිට සරණංකර සඟරජ හිමිත්, සිටිනාමලුවේ ධ්ම්මජෝති හිමිත් ඇතුළත්ව එහිමියන් දෙනමගේ විශාල සිසු පරපුරක් ද ඊට අයත් ය.
මාතර පඹුරන විහාරයේ වැඩ විසූ සිටිනාමළුවේ ධම්මජෝති හිමියන් සමඟ ගජමන් නෝනා අනියම් සබඳතාවයක් පවතින බවට බලවත් චෝදනාවක් විය.
මේ පුවතින් තරුණ හිමියන් මහත් සේ සිත් තැවුලට පත්ව සිවුරු හැරීමට තීරණය කර ඇති බව ගජමන් නෝනාට දැනගන්නට ලැබිණ.
ගජමන් නෝනා එහිමියන් බැහැ දැකීමට ගොස් ඉල්ලිමක් කළාය. අභූත චෝදනාවක්, සත්‍ය ලෙස හැඟීයාමට ඉඩ නොසලසා සුපුරුදු පරිදි ආරාමයේ වැඩ වාසය කරන්නැයි එම ඉල්ලිම විය.
එසේම චෝදනාවලට පිළිතුරු සැපයිමේ කාරිය තමන් භාර ගන්නා බවත් ගජමන් නෝනා ස්වාමීන් වහන්සේට කීය.
ඊට පසු දින මාතර නොයෙක් ප්‍රසිද්ධ ස්ථානවල මේ කවිය අලවා තිබිණ.
” වටිනා කියන මෙ මගේ තුරුණු තුනු. විල
සිටිනා මළුවෙ සමිඳුට පුද කෙළෙමි බොල
සිටිනා මෙ ගම සහ දන අවට ගම් වල
තුටිනා එපින් අනුමෝදන් වව් සියල. “
ඉන් අනතුරුව ගජමන් නෝනා සහ භික්ෂූන් අතර සබඳතා පිළිබඳ කට කතා පැතිරීම අඩු වී ඇත.
ගජමන් නෝනා ගැන බහුලව කට කතා පැතුරුණ ද ඒවා ඇගේ අව්‍යාජ හැසිරීමත්, විවෘත පැවැත්මත්, හැඩකාර ජීවිතයත් නිසා ගෙතුණු කයිකතන්දර සේ සැලකිය යුතු බව ගජමන් නෝනාගේ ගම්වාසී පැරැන්ණන්ගේ අදහසය.
දහ අට වන සියවසේ මැද භාගයේ සිට දහ නව වන සිය වසේ දෙවන ශතකය තෙක් ජීවත් වූ ගජමන් නෝනා, එවක උගතුන් අතර සිටි කාන්තාවන් ගෙන් අග තැන් සිටි කාන්තාව ය. ඇයගේ කවීත්වය හා සම තැන් ගන්නට හැකි වූ කිසිදු කාන්තාවක් එවක නොවී ය.
සැබෑ උගතුන්ට අයත් පොදු ලක්ෂණය වූ දරිද්‍රතාව, ඇයව සිය ජීවිතයේ ඉවසිය නොහැකි දුක් වේදනා වලට ගොදුරු කළාය.
බෞද්ධ සාහිත්‍යයේ අප කියවා ඇති පටාචාරාවන්ට විඳින්නට සිදු වූ විපතටත් වඩා වැඩි විපත්ති වලට මුහුණ දු ඇය ජීවිතයෙන් සමු ගත්තේ සිය දිවි නසා ගෙනය.
සිංහල කාව්‍ය සාහිත්‍යයට ඇය දායද කළ නිර්මාණ අතර පෞද්ගලික අනුභූතීන් සුලබ වුව ද ඒවා පාඨකයා තුළ වින්දනාත්මක ගැඹුරක් ඇතිවන ලෙස ඉදිරිපත් කිරීමට ඇය සමත් විය.
ගජමන් නෝනා ගේ අැතැම් කවි ශෘංගාරාත්මකය. සමකාලීන කවියන් සමඟ අැය කළ කවි සංවාද කාමසක්ත වී අැත්තේ අදාල පුද්ගලයන් අැගෙන් අසා අැති දේවල් වලට අනුවය.
මුඛරිකම, ප්‍රකට ලක්ෂණයක් කොට ගත් ගජමන් නෝනා සතුව තිබූ කැපී පෙනෙන ව්‍යක්තතාව මෙන්ම, අැගේ ජීවිත කාලය තුළ අැය අන්ත අසරණ භාවයට පත් වු අයුරු ද දැන ගැනීම තවෙකුගේ ජීවිතයට වැදගත් වනු අැත.
ගජමන් නෝනාගේ ජීවිතය තුළ දිග හැරුණු එබඳු සිද්ධි කිහිපයක් මතුවට ය.
සුනිල් ගාමිණී

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post ඉන්දීය රසායනික කමිහලක ගෑස් කාන්දුවකින් 9 දෙනෙක් මිය යති
Next post ෆේක් නිව්ස් දේශපාලනයෙන් ගලවන්න බෑ !