ශ්‍රී ලංකාවේ වාසය කරන ජන වර්ග 19

අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ විවිධ සංස්කෘතීන්ට අයත් ජනකොටස් වාසය කළා. ජනවාර්ගිකත්වය අනුව ප්‍රධාන ජන කණ්ඩායම වන්නේ සිංහල ප්‍රජාව. මේ හැර දෙමළ, මුස්ලිම් හා බර්ගර් යන වාර්ගිකයන්ද මෙහි වාසය කරන අතර ඔවුන් හැඳින්වෙන්නේ සුළු ජනවාර්ගිකයන් ලෙසින්. බොහෝ දෙනකු දන්නේ මෙරට වාසය කරනුයේ මෙම ජනවර්ග හතරට අයත් පිරිස පමණක් බවයි. එහෙත් එම ජනවාර්ගිකයන් හැර තවත් සුළු ජනවාර්ගිකයන් රැසක් මෙරට ජීවත් වන බව ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යංශය මගින් මෑතකදී ප්‍රකාශයට පත් කළ ‘පීපල් ඔෆ් ශ්‍රී ලංකා’ කෘතියේ සඳහන් වනවා. එම කෘතිය අනුව සිංහල, ශ්‍රී ලංකා දෙමළ, මුස්ලිම් හෙවත් යෝනක, ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ, කොළඹ හෙට්ටි, ශ්‍රී ලංකා මලයාලම්, මැලේ, ලන්දේසි බර්ගර්, පෘතුගීසි බර්ගර්, චීන, මෙමන්, මුහුදු වැද්දන්, ශ්‍රී ලංකා භාරත, කැෆර් නොහොත් කාපිරි, දාවුදි බෝරා, ආදිවාසීන්, සින්දි, අහිකුණ්ටක හා පාර්සි යන ජන කණ්ඩායම් 19ක් ශ්‍රී ලංකාවේ වාසය කරනවා.
2012 ජන සංගණනය අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය 20,359,439ක්. (2017 වන විට මෙම සංඛ්‍යාව 21,016,431ක් ලෙස වර්ධනය වී තිබේ.) වාර්ගිකත්වය අනුව සිංහලයන් 15,250,081 හෙවත් ප්‍රතිශතයක් ලෙස 74.90%ක්ද, ශ්‍රී ලංකා දෙමළ 2,269,266ක් හෙවත් 11.15%ක්ද, මුස්ලිම් 1,892,638ක් හෙවත් 9.30%ද ඉන්දියානු දෙමළ 839,504ක් හෙවත් 4.12%ද මැලේ 44,130ක් හෙවත් 0.22%ද, බර්ගර් 38,239ක් හෙවත් 0.19%ද වන අතර සෙසු වාර්ගියන් සියල්ලන්ගේම එකතුව වන්නේ 25,527ක් හෙවත් 0.13% ක් පමණයි.
ඉන්දියානු දෙමළ
සිංහල, දෙමළ හා මුස්ලිම් ජනයාට අමතරව මෙරට වාසය කරන ජාතීන් අතර වැඩි ප්‍රතිශතයක් සිටින්නේ ඉන්දියානු දෙමළ ජනයායි. මොවුන් 1823 වසරේ ඉංග්‍රීසින් විසින් මෙරට තේ රබර් සහ කොකෝවා රබර් වගාව සඳහා ශ්‍රමිකයන් ලෙස දකුණු ඉන්දියාවෙන් රැගෙන ආ පිරිසෙන් පැවත එන්නන් ලෙස සැලකෙනවා. කඳුරට දෙමළ ප්‍රජාව ලෙස හැඳින්වෙන්නේ මෙම පිරිසයි. මෙරට ආර්ථිකයට ඉමහත් මෙහෙවරක් මොවුන්ගෙන් සිදුවෙනවා.


කොළඹ හෙට්ටි
කොළඹ හෙට්ටි අයත් වන්නේ ‘තන වෛස්‍ය’ කුලයටය. වෛස්‍ය යන්නෙහි අරුත කුලීනයා යන්නයි. හෙට්ටි ජනයා ප්‍රථමයෙන් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ විජයාගමනයත් සමඟින් බව ඉතිහාසඥයන්ගේ මතයයි. අශෝක රජුගේ බිසව හා මිහිඳු හිමියන්ගේ හා සංඝමිත්තා මෙහෙණියගේ මව වූ දේවි බිසව ද මෙම ජනවර්ගයට අයත් කාන්තාවක්. හෙට්ටිවරුන්ගේ ප්‍රධාන වෘත්තිය වූයේ වෙළෙඳාමය. ඉංග්‍රීසි පාලන සමයේ මොවුන් මලබාර්වරුන් ලෙසද හැඳින්වුණු අතර පසුව ඔවුන් වෙනත් ජන වාර්ගික කොටසක් ලෙස පිළිගෑනීමට ලක් වුණා. අද වන විට මොවුන්ගෙන් වැඩි දෙනෙක් සිංහලයන් හා දෙමළ ප්‍රජාව සමඟ මිශ්‍ර වී සිටිනවා.
ශ්‍රී ලංකා මලයාලම්
මලයාලි පිරිස් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වී ඇත්තේ 14 වැනි සියවසේ බව පැවසෙනවා. පාණ්ඩ්‍ය, චෝල සහ චේර රජවරුන්ගේ කුලී හේවායන් ලෙස ලංකාවට පැමිණ ඇති මේ පිරිස යළි ඉන්දියාවට නොගොස් මෙරට පදිංචි වී තිබෙනවා. 19 වැනි සියවසින් පසු කෝපි, තේ හා රබර් වගාව සඳහා අවශ්‍ය ශ්‍රමිකයන් ලෙසද මලයාලි ජනයා මෙහි ගෙන එනු ලැබුවා. මලයාලි ජනයා පසුව මෙරට වෛද්‍ය, ශාස්ත්‍රාලීය, දුම්රිය, රජයේ සේවය, පොලිස් හා ව්‍යාපාරික ක්ෂේත්‍රවලටද එක් වූවා. 1945 සිට 1967 තෙක් කොළඹ විශාකා විද්‍යාලයේ විදුහල්පතිනිය වූයේද මලයාලි ජාතික සූසන් ජෝජ් පුලිමුඞ් මහත්මියයි. මෙරට සිටි ප්‍රකට හේතුවාදියකු වූ ඒබ්‍රහම් ටී. කොවුර් මහතාද මලයාලි ජාතිකයෙක්. මලයාලින්ගෙන් ඇතැමෙක් සිංහල බෞද්ධ හා ක්‍රිස්තියානි ප්‍රජාව හා මුසු වූ අතර ඔවුන්ගේ දරුවන් සිංහල නම්ගම් භාවිතයට යොමු වී සිටිනවා.
මැලේවරු
ඉස්ලාම් දහම අදහන මැලේවරු ජා මිනිසුන් ලෙසද හැඳින්වෙනවා. ඔවුන්ගේ නිජබිම මැලේසියාව වන අතර සිංගප්පූරුව සහ බෲනේයි රාජ්‍යයන්හිද පැතිර සිටිනවා. මැලේවරු ලංකාවට පැමිණියේ ඕලන්ද යුගයේ සහ බි්‍රතාන්‍ය යුගයේ. එවක මේ දෙරටම ඔවුන්ගේ යටත් විජිතයන්ව පැවැතියා. බි්‍රතාන්‍ය පාලන සමයේ මෙරට මැලේ රෙජිමේන්තුව නමින් හමුදා අනු කණ්ඩයක්ද තිබුණා. ටී. බී. ජයා, එම්. ජේ. අක්බර් විනිසුරුවරයා වැන්නවුන් මෙරට සිටි ප්‍රකට මැලේ ජාතිකයන්. දොදොල්, බිබික්කං, දෝසි, මුං ඇට කැවුම්, නාසිගොරෙං වැනි මැලේවරුන්ගේ ආහාර රැසක් අපේ සංස්කෘතියට එක්වී තිබෙනවා.


පෘතුගීසි බර්ගර්
පෘතුගීසින්ගෙන් පැවත එන මෙම ජන කොට්ඨාශය මෙරටට පැමිණ වසර 500කට අධික කාලයක් ගතවී තිබෙනවා. මොවුන්ගෙන් වැඩි පිරිසක් ජීවත් වන්නේ මඩකලපුව, අම්පාර හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවලයි. දිවයිනේ වෙනත් ප්‍රදේශවලද මොවුන් සු`ඵ කණ්ඩායම් ලෙස විසිර සිටිනවා. පෘතුගීසින්ගෙන් අපේ බසට බොහෝ වදන් එකතු වුණා. අල්මාරිය, අන්නාසි, බාල්දිය, බංකුව, බෝනික්කා, බොත්තම, ගෝවා, කබොක්, කලිසම, කමිසය වැනි බොහෝ වදන් ඒ අතර වනවා.
ඕලන්ද බර්ගර්
ඕලන්ද බර්ගර්වරු ලෙස හැඳින්වෙන්නේ ලන්දේසින්ගෙන් පැවත එන ජන කොටස්. නැගෙනහිර ඉන්දීය ඕලන්ද සමාගමේ සාමාජිකයන් ලෙස මෙරටට පැමිණි ලන්දේසීන් පෘතුගීසින් පලවා හැරීමට දෙවැනි රාජසිංහ රජුට උපකාර කල අතර පසුව මෙරට පාලනය අත්පත් කරගත්තා. 1796 ඉංග්‍රීසි පාලනය ඇරඹීමත් සමඟ ලන්දේසින් මෙරට හැර ගියද පවුල් 912ක් මෙරට රැඳුණා. 1810 වැනි කාලයේ ලන්දේසි ප්‍රජාව ඉංග්‍රීසින් යටතේ අධිකරණ, හමුදා ලිපිකාර වැනි සේවාවන්හි උසස් නිලතල හොබවනු ලැබුවා. වෛද්‍ය ආර්. එල් ස්පිට්ල්, ජොජ් කීට්, ලයනල් වෙන්ඞ්ට්, ඩන්කන් වයිට් මෙරට සිටි ප්‍රකට ඕලන්ද බර්ගර් ජාතිකයන්.
චීන ජාතිකයෝ
අතීතයේ සිටම මෙරට ජීවත්වන තවත් සුළු ජනකොටසක් වන්නේ චීන ජාතිකයන්. අතීතයේ සේද මාවත ඔස්සේ වෙළෙඳාම හා සංචාරය පිණිස ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණියා. මෙරටට පැමිණි චීන ජාතිකයන් අතර දේශාටනයේ යෙදුණු ෆා-හියන් භික්ෂුව හා හියුන් සාං භික්ෂුව පිළිබඳ බොහෝ තොරතුරු සඳහන් වනවා. බි්‍රතාන්‍ය පාලන සමයේ කුරුඳු වගාබිම්වල සේවය සඳහා චීන ජාතිකයන් ශ්‍රමිකයන් ලෙස මෙරටට පැමිණියා. ගාලු සහ ත්‍රිකුණාමල වරාය සහ හැමිල්ටන් ඇල ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා චීන ජාතිකයන්ගේ ශ්‍රමය යොදා ගැනුණා. 1940 දී දෙවැනි ලෝක යුද්ධයෙන් හා චීන ජපන් යුද්ධයෙන් අනාථයන් බවට පත් චීන ජාතිකයන් විශාල පිරිසක් මෙහි රඳවන ලදැයි පැවසෙනවා. ඉතා සු`ඵ සංඛ්‍යාවක්ව තිබූ චීන ජනගහණය 2000 පසු විශාල වශයෙන් ඉහළ ගියේ සංවර්ධන ව්‍යාපෘතිවල ශ්‍රමිකයන් ලෙස සේවය කිරීම සඳහා ඔවුන් මෙරටට පැමිණීමත් සමඟයි. මේ වන විට 110,000ක් පමණ චීන ජාතිකයන් මෙරට සිටින බව වාර්තා වනවා.
මෙමන්වරු
මෙමන්වරු ඉන්දියාවේ සින්ද් ප්‍රදේශය (වත්මන් පාකිස්ථානය) නිජබිම කරගත් සුන්නි මුස්ලිම් ප්‍රජාවට අයත් ජනකොට්ඨාශයක්. වාණිජ කටයුතු සඳහා දකුණු ඉන්දියාව ඔස්සේ ලංකාවට පැමිණි විවිධ ජාතීන් අතර මෙමන්වරුද සිටියා. මෙරටට ප්‍රථමයෙන් පැමිණි මෙමන් ජාතිකයා ලෙස සැලකෙන්නේ 1870 දී පමණ මෙහි පැමිණි අබ්දුල් රහ්මන් නැමැත්තෙක්. මන්නා සාත් නමින් හැඳින්වුණු ඔහු යාපනය ප්‍රදේශයේ පාපැදියකින් රෙදිපිළි වෙළෙඳාමේ යෙදුණා. පසුව පිටකොටුවේ ව්‍යාපාරයක් ඇරඹු ඔහු ලංකාවේ පදිංචි වුණා. 1946 ජන සංගණනය අනුව මෙරට සිටියේ මෙනන් ජාතිකයන් 180 දෙනෙක් පමණයි. 1947 ඉන්දියාව දෙකඩ වීමත් සමඟ බහුතරයක් මෙනන්වරු පාකිස්ථානය බලා ගිය අතර සුළු පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණියා. මෙහි ව්‍යාපාරවල නිරතව සිටි ඥාතීන් නිසා හෝ විවාහය නිසා බොහෝ පිරිසක් ශ්‍රී ලංකාවේම පදිංචි වුණා. 1981 ජන සංගණනය අනුව මෙනන්වරු 3000ක් පමණ මෙරට වාසය කළ අතර වැඩි පිරිසක් ජීවත් වූයේ අගනුවර ආසන්නයේ. පසු කාලීනව උසස් අධ්‍යාපනයට යෙමු වූ ඔවුන් කර්මාන්ත, වෛද්‍ය, නීති, වැනි වෘත්තීන්හි නියැලුණා. ඔවුන්ගේ බස මෙමානි. එය උර්දු හා හින්දි බසද මිශ්‍ර සින්දි උප භාෂාවක්.
මුහුදු වැද්දෝ
ශ්‍රී ලංකාවේ ආදිවාසි ප්‍රජාව උප කණ්ඩායම් තුනකට අයත් වනවා. ඒ ගල් වැද්දන්, ගම් වැද්දන් හා මුහුදු වැද්දන් ලෙසින්. මුහුදු වැද්දන් ලෙස හැඳින්වෙන්නේ මුහුදුකරයේ වාසය කරන ආදිවාසීන්. අනෙක් වැදි උප කණ්ඩායම් වැදි බස හෝ සිංහල හෝ භාවිත කරන අතර මොවුන් භාවිත කරනුයේ දෙමළ බසයි. මොවුන්ගේ ප්‍රධානතම වෘත්තිය මසුන් මැරීම. මුහුදේ, කළපුවල හෝ ගංගාවල මසුන් මැරීමෙන් ඔවුන් තම ජීවිකාව ගෙන යනවා. මෙම වැදි පිරිස මුලින්ම හඳුනා ගනු ලැබුවේ 1911දී සෙලිග්මාන් විසින්. ඔහු ඔවුන් හැඳින්වූයේ නැගෙනහිර වෙරළේ වැද්දන් ලෙසයි. මෙම මුහුදු වැද්දන්ගේ ප්‍රභවය කෙලෙස සිදුවූයේද යන්නට පැහැදිලි පිළිතුරක් නොමැති වුවද ඔවුන්ගේ මුඛ පරම්පරාගත තොරතුරු අනුව ඔවුන් රට මධ්‍යයේ සිටි වැද්දන්ගෙන් පැවත එන්නන් පිරිසක්. එහෙත් රට මධ්‍යයේ සිටින වැද්දන් මොවුන් තමන්ගේ පිරිසක් ලෙස පිළිගැනීමට සූදානම් නැතැයි හියු නෙවිල් තම කෘතියක සඳහන් කර තිබෙනවා. මොවුන් කිසිදු වරිගයකට අයත් නොවන බව රට මැද සිටින ආදිවාසීන්ගේ මතය බව නෙවිල් වැඩි දුරටත් සඳහන් කරනවා. දැනට මුහුදු වද්දන් 2460 දෙනෙක් සිටින බව වාර්තා වෙනවා.
ශ්‍රී ලංකා භාරත ජනයා
භාරත ජනයා නමින් හැඳින්වෙන ජනතාව දකුණු ඉන්දියාවේ සිට මෙහි පැමිණි වෙළෙඳ ප්‍රජාවක්. සාමකාමී හා නීති ගරුක මෙම ප්‍රජාව මන්නාරමේ සිට පානදුරය දක්වා වන මුහුදුබඩ තීරයේ ජීවත් වූවා. ඔවුන් ප්‍රථමයෙන් මෙහි පැමිණියේ මන්නාරමේ මුතු කිමිදීම හා වෙළෙඳාම සඳහායි. කොළඹ වරාය ඉදි කිරීමේදී එහි සේවය සඳහාද භාරතවරුන් මෙහි පැමිණ තිබෙනවා. පසුකාලීනව පොල් හා කරවල වෙළඳාමටත්, දේපල ඉඩකඩම් අලෙවියටත් ඔවුන් සම්බන්ධ වුණා. මොවුන්ගෙන් පිරිසක් මුහුදුකරයෙන් රට මැදට ගිය අතර නුවර හා කුරුණෑගල ප්‍රදේශවලද පදිංචි වුණා. පැරැන්නන් දෙමළ බස පමණක් වැහැරුවද තරුණ පරපුර සිංහල දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනම කතා කළ හැකි පිරිසක්. මොවුන්ගේ ප්‍රධාන ආගම රෝමානු කතෝලික ආගමයි. පරවර, පරාව, පරාවර් වැනි නම්වලින් හැඳින්වෙන්නේද මෙම ජනකොටසයි. කොස්තා, රෝච්, ද කෲස් යන වාසගම් ඔවුනට හිමියි.
කාපිරි නොහොත් කැෆර් ජනතාව
ශ්‍රී ලංකාවේ සිටින කාපිරි ජනයා සියවස් ගණනකට ඉහත මොසැම්බික් දේශයේ සිට මෙරටට රැගෙන එන ලද පිරිසක්. මෙම අප්‍රිකානු ශ්‍රී ලාංකියන්ගේ සංස්කෘතිය ක්‍රියොල් සංස්කෘතිය ලෙසද හැඳින්වෙනවා. පෘතුගීසීන් විවිධ සේවා සඳහා අප්‍රිකානුවන් 3000ක් පමණ 16 වැනි සියවසේදී මෙරටට රැගෙන ආවා. පසුව ආරාබි වෙළෙඳුන්ද, ඕලන්දයන්දයන් හා ඉංග්‍රීසීන් විසින් ගෘහ සේවය සඳහා ද වතුවල සේවය සඳහා ද හේවායන් ලෙසද මොවුන් ගෙනවිත් තිබෙනවා. පුත්තලමේ සිරම්බිඅඩියේද, ත්‍රිකුණාමලයේ පල්ලායිඋත්තු හිද, කල්පිටිය මඩකලපුව හා මීගමුව වැනි ප්‍රදේශවලද ඔවුන් වාසය කරනවා. අද මොවුන්ගෙන් බොහෝ දෙනෙක් සිංහලයන් හෝ දෙමළ ජනයා සමඟ මුසුවෙලා.
ශ්‍රී ලංකා දාවුදි බෝරා
සියවස් දෙකකට අධික කාලයක සිට දාවුදි බෝරාවරු ශ්‍රී ලංකාවේ වාසය කරනවා. ශ්‍රී ලංකාවට පැමිණි පළමු බෝරාවරයා ක්‍රි. ව. 1830 දී පමණ වයඹදිග ඉන්දියාවේ කුච් නගරයේ සිට පැමිණි ජැෆර්ජි එසාජි නමැත්තෙක්. ඔහු මුහුදු යාත්‍රාවකින් කුච් සිට මාලදිවයින වෙත යාත්‍රා කරමින් සිටියදී කුණාටුවකට හසුවීම නිසා ගාල්ලට ළඟාවී තිබෙනවා. පසුව ජැෆර්ජි එසාජි ගාල්ල ප්‍රදේශයේ තම ව්‍යාපාරික කටයුතු ආරම්භ කළා. ක්‍රමයෙන් ඔහුගේ නෑ පිරිවරද මෙහි පදිංචියට පැමිණ තිබෙනවා. කරීම්ජි ජැෆර්ජි නම් වූ ඔහුගේ පුත්‍රයා පසුව ව්‍යාපාරික කටයුතුවල නිරත වූ අතර ගාල්ලේ අදටත් දැකිය හැකි ලංකාවේ පළමු බෝරා දේවස්ථානය ඉදිකර තිබෙනවා. 1850 දී පමණ කොළඹට සංක්‍රමණය වූ මෙම වෙළෙඳ ප්‍රජාව සහල්, සීනි, භූමිතෙල් හා විවිධ ධාන්‍යවර්ග හා රෙදිපිළි ආනයන හා අපනයන ව්‍යාපාරවල නිරත වුණා. 19 වැනි සියවසේ සිට මෙරට වෙළඳාමේ ප්‍රබලයන් වූ අදම්අලී, හෙබ්තුල්ලාබෝයි, ඩාවුද්බායි, නූර්බායි, ජැෆර්ජි සහොදරයෝ, අක්බාර් සහෝදරයෝ වැනි සමාගම්වලින් සමහරක් වර්තමානයේද ක්‍රියාකාරීයි.
වැදි ජනතාව
වැද්දා යන්නෙහි අරුත දඩයක්කාරයා යන්නයි. ලංකාවේ ආදිවාසි ජනයා ලෙස හැඳින්වෙන වැදි ජනයා විජය හා කුවේණියගේ දරුවන්ගෙන් පැවත එන බවට මහවංශයේ සඳහන්. වැද්දන් මිශ්‍ර මානව වර්ගයක් ලෙසයි හඳුන්වා ඇත්තේ. ඔවුන් නීග්‍රෝ, ඔස්ට්‍රලොටිඞ්, හා පාෂාණ යුගයේ මධ්‍යධරණී මනුෂ්‍ය වර්ගයාගේ මුසුවක් ලෙස හැඳින්වෙනවා. ලංකාවේ වැදි ජනයා විවිධ ගෝත්‍රවලට අයත් වනවා. බණ්ඩර නොහොත් රුගම්, මොරාන, උනාපාන, ඌරු, නබුදන්, නබදාන ඇඹල තලා වැනි ගෝත්‍ර ඒ අතරින් ප්‍රධානයි.
ශ්‍රී ලංකා සින්දි ජනතාව
සින්දි ජනයාගේ මව්රට ඉන්දියාවේ සින්ද් ප්‍රාන්තයයි. ඉන්දියාව දෙකඩ වීමෙන් පසු එම ප්‍රාන්තය පාකිස්තානයට එක් වුණා. සින්දි ජනයා 19 වැනි සියවසේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ සේද වෙළෙඳාම සඳහායි. කොළඹ කොටුව ප්‍රදේශයේ වෙළෙඳාමේ නිරත වූ ඔවුන් නැව් මගින් මෙරටට පැමිණි යුරෝපීය සංචාරකයන්හට සේද රෙදි සහ කුඩා මෙවලම් අලෙවි කිරීමේ නිරත වුණා. පසුව පිටකොටුව කෙලින් වීදියේ වෙළෙඳසැල් පිහිටුවා ගත් ඔවුන් තොග වෙළෙන්දන් ලෙස ප්‍රකට වුණා. 1924දී ලංකා සින්දි වෙළෙඳ සංගමය පිහිටුවා ගත් මේ පිරිස මෙරට ප්‍රධාන නගරවල වෙළෙඳ කටයුතු මෙහෙය වූවා. ලංකාවේ සිටින සින්දි ප්‍රජාව වහරන බස වන්නේ සින්ද් දේශයේ බසයි. ලේඛනය අප මෙන් වමේ සිට දකුණට නොව දකුණේ සිට වමට ලියවෙන්නක්.
අහිකුණ්ටික ජනයා
අහිකුණ්ටික ජනයා දකුණු ඉන්දියාවෙන් මෙහි පැමිණි ජන කොට්ඨාශයකින් පැවත එන පිරිසක්. කුරවර් ගෝත්‍රිකයන්ගෙන් ඔවුන් පැවැත එන බව පැවසෙනවා. තෙළිඟු බස වහරන ඔවුන් කුඩා කණ්ඩායම් වශයෙන් ජීවත් වෙමින් ,කලින් කලට තැනින් තැනට යමින් දිවි ගෙවන පිරිසක්. මොවුන්ගේ ප්‍රධාන රැකියාව නයින් හා රිලවුන් නැටවීම හා ශාස්ත්‍ර කීමයි. වෙන්කඬේස්, මාසෙම්මා, සෙල්ලපූර් අම්මා, මාඩසාමි ඔවුන් අදහන දෙවිවරුයි. ඔවුන්ගේ නිවෙස් හැඳින්වෙන්නේ නායිල්ල නමින්.
ශ්‍රී ලංකා පාර්සිවරු
ලොව පුරා සිටින පාර්සි ජනගහනය 100,000කට අධික නොවේ. ඉන්දියාවේ බොම්බාය ආශ්‍රීත නගරවල ජීවත් වන මෙම ජනයා සියවස් 10කට පමණ ඉහත පර්සියාවෙන් බිහිවූ ජන කණ්ඩායමක්. අරාබීන් විසින් පර්සියාව අත්පත් කරගත් පසු ඔවුන්ගෙන් වැඩි පිරිසක් ඉන්දියාවේ පදිංචියට පැමිණ තිබෙනවා. මෙමොන්, බෝරා, භාරත සහ හෙට්ටි මිනිසුන් මෙන්ම පාර්සිවරුද වෙළෙඳ ප්‍රජාවක්. පාර්සිවරු ශ්‍රී ලංකාවේ වාසයට පැමිණ ඇත්තේ 19 වැනි සියවසේ මුල් භාගයේදී. 1930 වසරේ පාර්සිවරු 450ක් පමණ මෙරට වාසය කළද 2005 වන විට එම සංඛ්‍යාව 45 දක්වා අවම වී තිබෙනවා. පාර්සිවරුන් වහරන්නේ ගුජරාටි බසයි. මෙරට ප්‍රකට වෙළෙඳ සමාගමක් වන අබාන්ස් හි හිමිකාරිය වන අබාන් පෙස්ටන්ජි මහත්මිය සහ ජොන් කීල්ස් සමාගමේ වැඩිම කොටස් හිමිකරුවන් වන කැප්ටන් පවුල මෙරට සිටින ප්‍රකට පාර්සි ව්‍යාපාරික පවුල්ය. වැල්ලවත්ත රෙදිමෝලේ හිමිකාරිත්වය එවක පැවතියේද කැප්ටන් පවුල යටතේයි. බොම්බායේ සිට පැමිණි කාන් පවුල එවක මෙරට වැඩිම තෙල් මෝල් හිමිකරුවන් වුණා. පිටකොටුවේ කාන් ඔරලෝසු කණුව ඉදිකරන ලද්දේ ඔවුන් විසින්.
-ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා(රසෝඝය)

සබැඳි

Leave a Reply

Your email address will not be published.