“කළු උස මනුස්සයෙක්” අපගේ සමීපතමයා අපට සම්මුඛ කරන්නේද !!

Read Time:15 Minute, 21 Second

කෙටි කතාවක සාර්ථකත්වය හෝ විශිෂ්ටත්වය පවතින්නේ වෙන් වෙන් වශයෙන් තේමාත්මකය, ආකෘතිය, භාෂාව හෝ ව්‍යුහීය ලක්ෂණ වලින් මතු කෙරෙන සුවිශේෂතා මත නොව මේ සියල්ල ඒකරාශී විම තුළින් කුළු ගන්වන සමුදයාර්තය තුළිනි. කෘතිය කියවන පාඨකයා හුදු කියවන්නෙකු පමණක් බවට පත් නොකර ඔහු ද නිර්මාණකරුවෙකුගේ තත්වයට ඉන් ඔබ්බට ඔසවා තැබිම යන්න මෙම සමුදායාරථයේ විශිෂ්ටත්වය මගින් සිදු කරන්නකි.

මැතකදී කියවන්නට ලැබුණු ප්‍රින්ස් සේනාධීර සහෘදයාගේ ‘කළු උස මනුස්සයෙක්’ කෙටි කතා සංග්‍රහය අපට වඩාත් දැනෙන්නේ ඔහු තෝරා ගන්නා ලද තේමා මානයන් අපිට වඩාත් සමිප නිසාද? නැත්නම් අප දන්නා හඳුනන පීඩිතයෙකු අපට සම්මුඛ කරවන නිසාද? ඒසේත් නොමැති නම් මේ කරුණු ද්වයම නිසාද?
මෙම කෘතිය තුළ දී ප්‍රින්ස් අප වෙත ගෙන එන කෙටි කතා අට තුළ හමුවන සියලු කේන්ද්‍රීය චරිත අඩු වැඩි වශයෙන් මේ ක්‍රමය විසින් නිර්මාණය කරන ලද පීඩිතයින්ය. වින්දිතයින්ය. ඔවුන් මුහුණු දෙන සිදුවීම් බොහෝ විට ඔවුන් විසින් සැලසුම් සහගතව සිදු කරන ලද ඒවා නොවේ. නමුත් ඒවායින් නිර්මාණය කරනු ලබන තත්වයන්ගේ සෘජු ගොදුරු බවට පත්ව ඇති බව පෙනේ.

කතාකරු අප සමග සාකච්ඡාවට ප්‍රවේශ වන්නේ “අනෙක් සපත්තුව” නම් අපූරු වස්තු විෂයක් සහිත නිර්මාණයක් සමගය. සතුරු සේනාවේ නායක මඩුල්ල රැඳි සිටි ගොඩනැගිල්ල හා අවි ගබඩාව තනිවම ආක්‍රමණය කළ සොල්දාදුවෙකු ඒ සියල්ල පුපුරවා හැර තමන්ගේ රාජ්‍ය උදෙසා සිය දිවිය පූජා කළ රණ විරුවෙකු ලෙස අභිශේක කර ඇත. නගර මධ්‍යයේ ඔහුගේ ප්‍රතිමාව ඉදි කෙරෙන අතර ඔහු අවසන් අවස්ථාවේ පැළඳ සිටි එක් සපත්තුවක් ළඟ තබාගෙන මහජනතාවගෙන් සම්මාදන් එකතු කළේ යන චෝදනාව මත නගරයේ සපතේරුවෙකු ආරක්ෂක අංශ විසින් අත්තඩංගුවට ගෙන ඇත. රණවිරුවා උත්කර්ෂයට නැංවු සමාජයක හොරකම් කරන ලද එක්සපත්තුවක් ළඟ තබාගෙන සිටින කෙනෙකුට අනෙක් සපත්තුවේ වගකීමෙන් මිදීමට කිසිඳු ඉඩක් නැත. ඒ අනුව තමා දන්නා සියල්ල හෙළි කරන සපතේරුවා වෙතින් දැන ගන්නට ලැබෙන කරුණු, නගරයේ ප්‍රසිද්ධ ලිංගික ශ්‍රිමික කාන්තාවක් සහ රණවිරුවා අතර පැවති සම්බන්ධය, ඇයට රණවිරුවාවාට දාව උපන් දරුවෙකු සිටින බව, ඇය සතුව තිබෙන ට්‍රන්ක පෙට්ටියේ (එය සිය මතක නිදන් කර රණවිරුවා විසින් ඇයට දෙන ලද්දකි. ) රණවිරුවාගේ අනෙක් සපත්තුව සඟවා ඇති බව, නමුත් එම ට්‍රන්ක පෙට්ටියේ යතුර ඇය විසින් ගඟට විසි කර ඇති බව ආරක්ෂක නිලධාරින්ට දැන ගන්නට ලැබීම යන කරුණු හරහා කතාව එහි කූඨප්‍රාප්තිය කර රැගෙන එයි.

ට්‍රන්ක පෙට්ටිය විවර කර ගත නොහැකි වූ විට ඔහු කෝප වි සිටියේය. ඔහු මිට මෙල වු අතක් පෙට්ටිය මතට අත හැරියේය.
‘ මමයතුර විසි කළ ගඟට’ ඇය නැවත සුසුමක් හෙලුවාය.
‘ඇයි ඒ…. මම ඇහුවෙ ඇයි යතුර විසි කළේ කියල
හැමදාම රෑට මට ඒක ඇරල බලන්න හිතෙන නිසා…..ඊට පස්සෙ නින්දක් නැතුව අඬන්න වෙන නිසා
‘යතුර වෙනුවට යකඩයක් නැත්නම් පිස්තෝල උණ්ඩයක්වත් නැද්ද කියලයි සර් ඇහුවෙ…..අම්මපා මම මේක දැන් ගහනව පොළොවේ….’
‘එපා ……’
(අනෙක් සපත්තුව පි. 16/17)

රණවිරු ප්‍රතිමාව පාමුළ වීදුරු කුටයක් තනා එහි මහජන ප්‍රදර්ශනය සඳහා රණවිරුවාගේ සපත්තුව තැබීමට ඉහළින් පැවරී ඇති නිලධාරීන්ට රණවිරුවාගේ සපත්තුව සමග බල දේශපාලනය විසින් පටවන ලද රාජකාරිමය බැඳීමට වඩා අන් යමක් නැත. නමුත් ඇයට ඒ සපත්තුව සහිත ට්‍රන්ක පෙට්ටිය සමග ඇත්තේ මනුෂ්‍ය සම්බන්ධතවක් තුළින් හිමි කර ගත් අමිල වූ මතක සමුදායකි. එය ඔහුගේ ආදරයේ සංකේත නිදන් කරන ලද රන්වන් මංජුසාවක් බඳුය. ඒ තුළ තමාට අහිමි වූ ජිවිතය තැන්පත් කර ඇත.

රාජ්‍යයක බල දේශපාලන උවමනාවන් තුළ මිනිස් ජිවිත, මනුෂ්‍ය සම්බන්ධතා, වෘත්තිය සදාචාරයන් යන සියල්ල කෙයිතරම් නොවැදගත් දේවල් බවට පත් කරමින් සිටින්නේද යන්න මෙන්ම, බල දේශපාලනය තුළ වන නෛසර්ගික ව්‍යාජ බව මෙන්ම රැවටිලිකාර ස්වරූපය මනාව හසු කර ගැනීමට නිර්මාණකරු සමත්ව ඇති බව පෙනේ.

මේ සා දේශපාලනික වූ තේමාවක් ප්‍රවේගකාරී, ආවේගශිීලී භාෂාවකින් තොරව පාඨක මනසට සමීප කරවීමට හැකි විම නිර්මාණකරුගේ භාෂා භාවිතයේ වන සූක්ෂ්මතාව පිළිබඳ කදිම නිදසුනකි.

‘කළු උස මනුස්සයෙක්’ නම් කෙටි කතාව තුළ අපට හමු වන්නේ ගඟේ දිය නාමින් සිටින සේතන් නම් මිනිසෙකුට හමුවන මළ සිරුරක් පිළිබඳ කතා පුවතකි. එම මළ සිරුර පොලිසියට භාර දීම, පොලිසියේ කට උත්තර ගැනීම්, පත්තරකාරයින්ගේ ප්‍රශ්න පත්තර යනා දී සහ සම්බන්ධිත කරුණු හරහා සේතන් තුළ වර්ධනය වන අසහනය අහුඹුවක් හෝ හෝ හුදු සිදුවිමක් බවට පත් නොකර නාදුනන, අයිතිකරුවෙකු නැති මළ සිරුරු හා සහ සම්බන්ධිත ඉතිහාසයක් ඇති සමාජ සන්ධරභයක් තුළ සිය කතාව ස්ථානගත කිරිම මගින් කතුවරයා සිය සමාජ දේශපාලන කියවිම කුමක්ද යන්න පාඨකයා සමග බෙදා හදා ගනී.
කළු උස මනුස්සයා යන්න නාදුනන මළ සිරුර සඳහා සේතන් විසින් ලබා දෙන අනන්‍යතාවයයි. මෙහි අයිතිකරුවෙකු සොයා ගැනීම සඳහා පළකරන ලද පුවත්පත් දැන්වීමේ ස්වභාවය මනුෂ්‍ය ජිවිතවලට දි ඇති වටිනාකම පිළිබඳව සංකේතයක් වැන්න.
මරණ දැන්වීම් හතරේ හිටියේ මේ වන විටත් දන්න කියන අය නිසාම, ලොකුවට පළ කරන්න තිබුණේ අයිතිකාරයෙක් නැති මේ දැන්වීම කියලයි සේතන්ට හිතුණේ. එහෙම වුණා නම් අම්මට තාත්තට ගෑනිට විතරක් නෙවෙයි යාලුවෙකුට වුණත් මේ දැන්වීම පෙනෙන්න ඉඩ තිබුණ.
(කලු උස මනුස්සයෙක් පි 19/20)

මේ සමාජයට නාදුනන මළ සිරුරු, අයිතකරුවන් නැති මළ සිරුරු අරුමයක් නොවේ. එය උතුරේද දකුණේද නැගෙනහිරද බටහිරද යනාදි කිසිඳු බේදයකින් තොරව අත් විදි ඇති තවමත් දෛනිකව අත්විඳිමින් පවතින් තත්වයකි. නමුත් නාඳුනන මළ සිරුරක් යන්න බරපතල කාරණාවක් ලෙස නොසිතන තරමට සමාජයක් තුළ සිදු වන මානව සංවේදනා හිරි වැටීම හෙවත් මානව සම්බන්ධතා ඝනීභවනය වීම සමාජ ඛේදයක් ලෙස නොදැනෙන්නේ ඇයි? මේ කතාව පුරාම සේතන් ඔහුගේ අතීතයට පියමං කරමින් නැවතත් වර්තමානයට අපව සම්මුඛ කරමින් අසන්නේ මේ ප්‍රශ්නයයි.

‘සේතන් ට්‍රැක්ටරයෙන් බිමට බහින්න පෙර වළ කපාපු දෙදෙනා ට්‍රැක්ටරය ළඟට එන හැටි, පෙට්ටිය රැගෙන ගොස් වළ තුළට අතෑරල එය වසා දමන හැටි, කාර්යය නිම වූ පසුව ග්‍රාම නිලධාරී මහත්තයා අසලට ගොස් ගනුදෙනු සම්පූර්ණ කරන හැටි, සේතන් බලා සිටියේ සිහි එළවා ගන්න බැරි මිනිහෙක් විදියට. ඔහු නිහඬවම ට්‍රේලරය මතම රැඳී සිටියා.’
‘…..ඒත් කනත්තට එනකොට ටැක්ටරයේ ට්‍රේලරයේ තිබුණු පිරුණු ගතිය ආපසු ගමනේදි සේතන්ට දැනුණේ නැහැ. ඒ වෙනුවට උතුරා යන පාළුවකින් හා තනිකමකින් ඔහු දිගින් දිගටම පීඩා වින්ද…..’
(කලු උස මනුස්සයෙක් පි 38/39)

මෙවැනි කතා තුළ ප්‍රින්ස් ඉස්මතු කිරීමට උත්සාහ කරන්නේ පාරිභෝගික සමාජයක් තුළ මානව සම්බන්ධතා සහ හැඟීම් ඝනීභවයනය වීමේ සාමාන්‍යකරණය අනිවාර්යයක් වන අතර මේ සමාජය තුළ වුවද තවදුරටත් මානව හැඟීම් වෙනුවෙන් සිත සලිත වන්නෙකු හුස්ම ගැනීම අහම්බයක් බවට පත් වී ඇති බව යයි සිතේ.

‘කලු උස මනුස්සයෙක් II’ කතාව තුළදී ලංකීය සමාජයට බොහෝ සමිප පොදු අත්දැකීමක් අප වෙත තවත් සමීප කෙරේ. මධ්‍යම පාංතියට පැන ගත් තම සහෝදරයා විසින් තමන්ගේ කුඹුර අත්පත් කර ගැනීමෙන් පසු කර කියා ගත හැකි කිසිවක් නැති තැන යාචකයෙකු බවට පත්වන ගොවියෙකුගේ ඛේදවාදකය මෙහිදි දිග හැරේ. ගොවියාට තම කුඹුර බිරින්දෑ මෙනි. කුඹුර අහිමිවීමෙන් පසු ඔහුට දැනෙන වේදනාව සිය බිරින්දෑ දුකට වේදනාවට පත් වූ කළෙක තමන්ට දැනෙන වේදනාවක් මෙනි.

‘ඒකි ගොඩක් දුකින් ඇති..’ ඔහුට ආයෙමත් කල්පනා වුණා. ඒ හඬ, වැලපීම, අඬගැසීම නෑසෙන තරම් දුරකට යන්න හිතුවට නැවත නැවත මතු වන මතකය නිසා තෙමෙන කම්මුල්ඇල පාරෙ තියෙන කොච්චරවත් වතුරට හේදෙන කළුගල් දෙක වගේ වියලී නොයන තෙතමනයක් දරාගෙන හිටිය……’
(කලු උස මනුස්සයෙක් II පි. 71)

ඒකි කියන්නෙ තමන්ට අහිමි වුණු කුඹුර. ඒකි තමන්ට අහිමි කරන්නෙ තමන්ගෙ සහෝදරය. තමන්ට හිඟමන තෝරා ගැනීමට කරුණු කාරණා සකස් කරන්නේ තමන්ගෙ සහෝදරය. මේ ක්‍රමය තුළ ක්‍රමය විසින් ගොඩනගන පාරිභෝගික මිනිසාට සියලුම සදාචාර බැඳීම් නොවැදගත් දේවල් බවට පත් කිරීම විසින් තවත් පීඩිතයෙකු නිර්මාණය කිරීමේ ඛේදය හසු කරගත් කතාවකි. කෙටිකතාකරුවාගේ වදන් පිස්තෝලය නිතරම ඉලක්කය අල්ලන්නේ පීඩිතයාගේ පීඩනය ප්‍රතිනිර්මාණය කිරීමටය.
‘අසූ නවයට පස්සෙ’ කෙටිකතාව තුළ දී අපට සම්මුඛ වන්නේ විශ්‍රාමික ගුරුවරයෙකි. සමස්ථ කතාවම ඔහුට ඔහුගේ සිසුවෙකුගෙන් ලැබෙන ලියුමක් වටා කේන්ද්‍රගත වේ. මේ ක්‍රමය තුළ ගුරුවරයාට අටවා ඇති සදාචාර උගුලේ පරිමාව වරෙක සදය උපහාසයකින් යුතුවද වරෙක ආවේගයකින් යුතව ද ඉදිරිපත් කර ඇති. වෛවර්ණ භාෂා ශෛලීන්ගේන් යුතුව තම සිසු සිසුවියන්ට ආදරය උගන්වන ගුරුවරයාටම, ඒ දරු දැරියන්ගේ ආදරයට වෙඩි තබන්නට, ආදරය කුඩු පට්ටම් කරන්නට, වේවැල අතට ගන්නට බල කෙරී ඇත.

‘සර්ම තමයි මාව කුල්මත් කළේ. තෙත් වෙච්ච යට ඇඳුම්වලින් මට ගෙදර යන්න සැලැස්සුවෙ. සර්ම තටු දීල එක දවසක උදේ රැස්වීමෙදී ඒ තටුවලට ගිනි තිබ්බෙත් සර්ම තමයි. ඒත් අත්තනායක සර් ඒහෙම නෙවෙයි. අපිට විද්‍යාව ඉගැන්නුවෙ මුළු විෂයම එපා වෙන විදියට. ෆේල් වෙන එක වෙනම කතාවක්. ඒත් අත්තනායක සර්ගෙ ඉගැන්නිල්ලෙ හොඳකම නිසා අපි කවදාවත් හඳට යන්න උත්සාය කළේ නැහැ. ඒ නිසා එෆ් එකක් එක්ක වුණත් අතපය නොකැඩි ආරක්ෂා වුණා……’
(අසූ නවයට පස්සෙ’පි.141)

අද පවා ලංකාවේ බොහෝ පාසැල් වල විනයභාර ගුරුවරුන් ලෙස පත් කරන්නේ සාහිත්‍ය විෂයභාර ගුරුවරයාය යන්න බොහෝ දුරට සත්‍යයට ආසන්න නිරීක්ෂණයකි. පෙම්වතුන් ආලිංගනයේ යෙදෙන රූප රාමු සහිත සිනමා පට, නාට්‍ය රූපවාහිනී නාලිකාවල පෙන්වීම තහනම් කිරීමට උපාය උපක්‍රම සහ නීති රීති හදන ආණ්ඩුව මිනීමැරීම්, මංකොල්ල කෑම් සජීවීව පෙන්වීම වැළැක්වීම වෙනුවෙන් කටයුතු නොකිරීම සහ සාහිත්‍ය ගුරුවරයා‌ට ඊනියා සදාචාර වේවැලක් අතට දී ඔහු ඔහු තුළම දෙබිඩ්ඩෙකු බවට පත් කිරීම අතර ඇත්තේ පරස්පරයක් නොවන බව පැහැදිලිය.

මේ සටහන සඳහා තෝරා ගත්තේ කෙටි කතා කිහිපයක් වුවද ඒ තොරා ගත් කෙටි කතා වලට වුවද මවිසින් සිදු කරන්නේ බලවත් අසාධාරණයකි. මන්ද මේ කතාවල එකිනෙකිහි ඇති සුවිශේෂිතා පෙන්වීම සදහා මේ අවකාශය කිසිසේත්ම ප්‍රමාණවත් නැත. නමුත් ඔබ තවමත් මේ සටහන කියවමින් සිටින්නේ නම්, මේ සියලුම කෙටිකතා ඔස්සේ අපට සම්මුඛ කර ඇති පීඩිතයාගේ පීඩාවන් හඳුනා ගන්නට උත්සාහ කරන්න යයි ඔබෙන් ඉල්ලමි.

ප්‍රින්ස් මෙහිදි සිය කෙටි කතා සමස්ථයම එක් ස්තානයක රඳවා ගැනීමට උත්සාහ කරන බව පෙනේ. තේමාත්මක වශයෙන්ද කෙටි කතා අතර ද ඇත්තේ සමිප ඥාතීත්වයකි. ඔහු සුවිශේෂී වන්නේ නිර්මාණකරුවෙකු වශයෙන් කතාවෙහි ගැටුම කුළු ගැන්වීමට වඩා ගැටුම තුළ මුනුෂ්‍යත්වය ඇද දමා ඇති අඳුරු ආගාධයේ පතුළ අප වෙත පෙන්වීම සඳහා ඉසියුම් ලෙස මානවීයත්වය ස්පර්ෂ කරන ආකාරය නිසා යයි සිතේ. සමුදයාර්ථයෙන් බලන විට සමස්ථ කෘතිය හරහා කියවන්නාට දරිත හරහා තමා ප්‍රතිනිර්මාණය කර ගැනීමට අවකාශ සැලසීමට ද ඔහු අමතක නොකරයි.

සෝමසිරි ඒකනායක

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

4 thoughts on ““කළු උස මනුස්සයෙක්” අපගේ සමීපතමයා අපට සම්මුඛ කරන්නේද !!

  1. 👉 $5,000 FREE EXCHANGE BONUSES BELOW 📈 👉 PlaseFuture FREE $3,000 BONUS + 0% Maker Fees 📈 + PROMOCODE FOR NEWS USERS OF THE EXCHANGE 👉 [M0345IHZFN] — 0.01 BTC 👉 site: https://buycrypto.in.net Our site is a secure platform that makes it easy to buy, sell, and store cryptocurrency like Bitcoin, Ethereum, and More. We are available in over 30 countries worldwide.

Leave a Reply

Your email address will not be published.

Previous post ‘ගිරිජා’ කියවීමට වටිනා ප්‍රවේශයක්….
Next post SpaceX Crew – 5 මෙහෙයුම හෙට දිනයේ පිටත් වීමට සියල්ල සූදානම් !