ගාලුමුවදොරිනුත් පරිස්සම් වන්න!

Read Time:7 Minute, 12 Second

නිර්පාක්ෂික අරගලය කෙමෙන් ජන මනසින් මැකී යමින් තිබේ. අත්අඩංගුට ගැනීම්, විරෝධය පෑම්, උසාවි යාම් ආදිය නොවන්නට ගාලු මුවදොර යන වචනය පවා ජනතාවට අමතක වන්නට තිබිණ.
අරගලය නැවතත් මගේ මතකයට නැඟුණේ, එහි පෙරටුගාමී භූමිකාවක් ලෙස පෙනුණු චරිතයක් සජිත් ගේ කනට කොඳුරන දසුනක් ප්‍රවෘත්ති විකාශයකින් දක්නට ලැබීමෙනි.

නිර්පාක්ෂික අරගලය සර්වප්‍රකාරව නිර්පාක්ෂික නොවන බවට ඉහත සිදුවීම සාක්ෂි දරයි. ඒපී හෙවත් ඇසෝසියේටඩ් ප්‍රෙස් මග පෙන්නුම් පොත, “වචන භාවිතයේදී පරිස්සම් වනු!” යි මාධ්‍යවේදීන් ට කියන්නේ. අවශ්‍ය තැනට නිවැරදි වචනය භාවිත නො කිරීම ජනතාව නොමඟ යවන්නට හේතු වන නිසාය. කියවන විට ලිවීමේ පුරුද්ද සහිත මෙරට ජනමාධ්‍ය වචන, සිද්ධි, ඔය කොයික ගැනවත් එහෙමට පරිස්සමක් නැත. විකිණීමට හැකි සියල්ලට කැමරා අල්ලන අපේ ජනමාධ්‍ය ඔස්සේ ඕනෑම බොල් පිළිමයකට ගල් පිළිමයක් සේ කැපී පෙනෙන තත්ත්වයට පත් වන්නට හැකියාව ඇත්තේ එහෙයිනි.

ඉහත චරිතය ඇතුළු බොහෝ අයගේ වැඩ රටාව විසින්, අරගලය නිර්පාක්ෂික නොවන විවිධ බලකණ්ඩායම් වල රංචු ගැසීමක් බව තහවුරු වෙම්න් තිබේ. අරගලය විලාසිතාවක් වීම නරක නැති නමුත් එය ඇතැමුන්ට ව්‍යාජ ප්‍රතිරූප ගොඩනඟා ගන්න⁣ට උපකරණයක් වීම අනුමත කළ නොහැකිය.
ගෝඨා පලා යාම, රනිල් අගමැති වීම, නැවත රනිල් ජනපති වීම ආදි අවස්ථාවෙන් අවස්ථාවට අරගල භූමියේ පතුරු ගැලවීම විසින් පෙන්නුම් කෙරුණේ සිස්ටම් චේන්ජ් යන තේමා පාඨය පිටුපස විවිධ අරමුණු සහිත සැඟවුණු අමුත්තන් වෙස් බැඳ සිටි බවය.

ඉහත සඳහන් කළ කනට කෙඳිරීම නිසා අඩුම තරමින්, “නිර්පාක්ෂික අරගලය ගෝඨා ට වඩා සජිත්ට කැමැතියි” වැනි අදහසක් සමාජගත වන්නට නොහැකියාවක් නැත.
නිළිය සජිත්ගේ කනට එබුණු රැළියේ සජිත් කී කතා අතර පාසල් දරුවන්ගේ මන්දපෝෂණය ගැන ද කියැවිණ. ආණ්ඩුවක් පවා නොමැතිව තමා ලක්ෂ ගණනින් ජනතාවට මෙහෙවර කරන බවද කියා ඇති බව පෙනුණි. එසේ උපකාර කරන්නේ හිතවතුන් ගේ සහයෝගයෙන් බවද කියැවිණ.
ඇට අට දීමෙන් පටන් ගෙන මන්දපෝෂණය නැති කරන්නට, ආසියාවේ ආශ්චර්යය ගොඩනඟන්නට, ජනතා දාසයන්ට බලයට එන්නට නළු නිළි මුහුණු තොරොම්බල් කළ දේශපාලකයන් කළ හරිය මෙහිදී මතකයට නඟා ගත යුතුය.

බලය සඳහා සටන් වැදී සිටින පක්ෂයකට උපකාර කරන හිතවතුන් පින් පිණිස එසේ කරනවා යැයි කිසිවකු සිතිය යුතුද? බලයට එන්නට පෙර ගෝඨා ට උපකාර කළ පිරිසට පොහොට්ටු ආණ්ඩුව ස්තුති කළේ සීනි බදු වංචාව, ඇන්ටිජන් වංචාව, ආදියෙන් පටන්⁣ ගෙන ටෙන්ඩර් නැති ඛනිජ තෙල් ආනයන, පුපුරන ගෑස් සිලින්ඩර, චීන අසූචි පොහොර ආදි වචන වලිනි.
විපක්ෂ නායක සජිත්ගේ ජනතා මෙහෙවරට උපකාර කරන සද්ගුණවත් පිරිසට ස්තුති කරන්නට අගමැති හෝ ජනාධිපති සජිත්ට එම පද ම හෝ සමාන පද හෝ උපයෝගි කර ගන්නට සිදු නොවනු ඇතැයි සිතන්නට හේතු තිබේද? උපකාර කරන්නේ පින් සිත් පෙරදැරි ව නම්, සජිත්⁣ට කළත් රනිල්ට කළත් වෙනසක් ඇත්තේ නැත. රනිල්ට නොකරන උදව් සජිත්ට කරන හේතුව පැහැදිලි කිරීමත් කතා පෙන්වන මාධ්‍ය වල වගකීමකි.

ටෙලිෆෝනයට බොහෝ හිතවත් කෙනෙක් වහා කියනු ඇත්තේ,”රනිල්ට වඩා සජිත් හොඳා! වැනි සටන්පාඨයකි. රනිල්ට වඩා සජිත් කොතරම් හොඳද යන්න හෙළි කෙරෙන විගණන වාර්තාව නොදුටු අයකුට එසේ කියන්නන්ට ඇති අයිතිය පිළිගන්නා අතර ම සඳහන් කළ යුතු කරුණු කිහිපයක් ද තිබේ.
එකක් වන්නේ, වත්මන් විපක්ෂ නායකවරයා සංස්කෘතික කටයුතු බාර ඇමැතිව සිටියදී සංස්කෘතික අරමුදලේ ප්‍රධාන අරමුණු වන කැණීම් කිරීම් ආදිය ඉක්මවා පඩිනඩි සඳහා මුදල් වැය කර ඇති බව එම විගණන වාර්තාවේ සඳහන් බවය.. අනෙක එකල ඔහු ආදායම ඉක්මවා වැය කර ඇති බවය.
ආණ්ඩුවේ සල්ලි යොදවා මවුපිය සොහොන් තැනූ ගෝඨා, ජනාධිපති වූ කල වියත් මඟට කීකරු ව දැහැමෙන් සෙමෙන් රට පාලනය කරනු ඇතැයි කී වියත් මඟ සහ සජිත්ට රහස් කොඳුරන්න⁣ට වේදිකාවට නඟින නිළියත් අතර වෙනසක් ඇතැයි සිතන්නට හිතහදා ගන්නට ඉක්මන් නොවිය යුත්තේ එහෙයිනි.

පෙර වැරදි අමතක කර ගෝඨාට හැටනම ලක්ෂයක් කතිර ගසා කළ වරද ම නැවත කළ හොත්, ගෝඨා ගෝ ගමක් වෙනුවට සජිත් ගෝ ගමක් තනන්නට ජනතාවට සිදුවනු ඇති අතර අද ගීතා කුමාරසිංහ රඟන චරිතය කනට කොඳුරන නිළිය එදාට රඟ දක්වන ආකාරය පුංචි තිරයෙන් නැරඹීමට වාසනාව ලැබෙනවා ඇත.

රටේ ප්‍රශ්නවලට සැබෑ හේතුව සිස්ටම් චේන්ජ් නොවීම නොව, සිස්ටම් එක හරි ආකාරව ක්‍රියාත්මක නොවීමය. දේශපාලකයන් කරන බව කියන දේ අසා සතුටු වන ජනතාව කරන ආකාරය කුමක්දැයි ප්‍රශ්න කරන්නට තරමට සබුද්ධික නොවීමය. රටකට අවශ්‍ය වන්නේ යාළුවන් ගේ හයියෙන් කරන නායකයන් නොව රටේත් ජනතාවගේත් සක්‍යතා හඳුනාගෙන ඒවා අනාගත සුබසිද්ධියට යොදවන නායකයන්ය. කවුරු හෝ ලියාදෙන කතාවක් කියවන නායකයන් නොව තමන්ගේ දර්ශනය තමන්ගේ බසින් කියන අවංක නායකයන්ය. “අබේකොනොමි” යන වචනය ශබිදකෝෂයට එක් වූයේ ජපානයේ හිටපු අගමැති ඒ පන්නයේ නායකයකු වූ නිසාය. අපේ රටේ මහින්⁣ද ඉකොනොමි, රනිලෝකමි මෙන් නොව අබේකොනොමි, පත්ව තිබූ අර්බුදයෙන් රට ගලවා ගන්නට හේතු වූ බැවිනි.
මොකක්ද එක සඟවාගෙන වෙන මොකක්දෝ එකකින් අහවල් දේ කරන්නට සූදානම් වන පුද්ගලයන් ගෙන් පරිස්සම් වී ජනතාව සැබෑ නායකයන් සොයා ගත යුත්තේ එහෙයිනි.

අනුර කේ එදිරිසූරිය

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

6 thoughts on “ගාලුමුවදොරිනුත් පරිස්සම් වන්න!

Leave a Reply

Your email address will not be published.

Previous post නාවිකයෙක්මි මම, තොටමුණ පසු නොකළ හැකි!
Next post “අපි මේ රටේ තරුණ ප්‍රජාවට ආරාධනා කරනවා එන්න අපි එක්ක නොමග යන්න”