මෙය ප්‍රොමිතියස් දූපතකි. ඔහු ගේ කාව්‍ය ග්‍රන්ථයේ නාමය ද හැඟවුම්කාරකයකි

Read Time:3 Minute, 57 Second

ප්‍රොමිතියස් දූපත (එරික් ඉලයප්ආරච්චි)

ඈත – මෑත මිනිස් ජීවිතත් ද්‍රව්‍යමය ලෝකයත් කිසියම් දැණුම් පද්ධතියක තබා අභ්‍යාස කිරීමක් බඳුය එරික් ගේ කවිය. ස්වයංසාධක අනුභූතීන් මත යැපෙන්නට කවියා දක්වන්නේ අඩු කැමැත්තකි. ඒ වෙනුවට ඔහු කරන්නේ දේශසීමාවන්ගෙන් තොර ලෝකයේ ඇති ජීවී අජීවී ද්‍රව්‍ය මෙන්ම සිදුවීම් ද තමන් ගේ ඥාණ මණ්ඩලය තුළ කළතා අර්ථ සම්පාදනයක නියැලීමකි.
එහිදී ඔහු භාෂාව විසංයෝජනය කරයි. එනයින් හෙතෙම සිදු කරන්නේ පාඨකයාට පහසුවෙන් අර්ථ ග්‍රහණයට ඉඩ නොදී භාෂාව සමග වෙහෙසකර ක්‍රීඩාවකට ඇද දැමීමකි. පද බෙදීමේදීත් කවිය තුළ වචන පිහිටුවීමේදීත් ඔහු එම විසංයෝජනීය ක්‍රීඩාශීලීත්වය මතු කරයි. එමගින් පාඨකයාව සන්දිග්ධාර්ත පඨිතමය කියවීමකට කැඳවයි.

දෙවියන්ට පමණක් අයිතිව තිබූ ගින්දර සොරාගෙන මිනිසුන්ට ලබාදුන් වරදට(?) දෙවියන් ගේ ප්‍රධානියා වූ සියුස් විසින් ප්‍රොමිතියස්ට අත්කර දුන් සදාතනික වේදනා බර ඉරණම බඳු ඉරණමකට මුහුණ දීමට මේ කුඩා දූපතේ මානවවාදී මිනිසුන්ට ද සිදුව තිබේ. එනයින් මෙය ප්‍රොමිතියස් දූපතකි. ඔහු ගේ කාව්‍ය ග්‍රන්ථයේ නාමය ද හැඟවුම්කාරකයකි.
ඉලයප්ආරච්චි ගේ කවිය, හුදු සරලමතික හැඟීම් සමුච්ඡයක් නොවේ. එය වටහාගත හැක්කේ දීර්ගව ඒ හා කෙරෙන පොරබැදීමකිනි. ඔහු උක්තීන් පමණක් නොව අන්තර්ගතය ද වක්‍රව පිහිටුවන්නෙකි.
තැලෙන පෑගෙන මිනිස් ජීවිත කෙරෙහිත් ස්වාභාවික පරිසරය කෙරෙහිත් දයාර්ද වන මෙම රොමෑන්තික කවියා හැඟීම්බරව වැළපෙන්නෙක් නොවේ.

ඔහු ගේ කවිය කෙබන්දක් ද ඔහු පතන පාඨකයා කෙබන්දෙක් ද යන්න පිළිබඳ සංඥා මෙම කෘතියේ ඇතැම් කවිවල දී හමු වේ. ඊට හොඳම නිදර්ශකය වන්නේ ‘ඔන්ඩච්චී පාඨකය!’ නම් කවිය යි. එම කවිය උපුටා දක්වමින් මම මේ සටහන නවතමි.

ඔන්ඩච්චි පාඨකය!

විදුලකර සරසවියේ පැවතුණු 71 අප්‍රියෙල් සිරකරුවන්ගේ පුනරුත්ථාපන කඳවුර වසා දැමූ පසු එහි පැමිණි මයිකල් ඔන්ඩච්චි බිත්තිවල තිබූ කුරුටු කවි පිටපත් කළේ ය.

මිය නොගොස් ඉතිරි වුණු
දිළොස් මහ පරපුරක
අවජාත කවියන්ට
ඉඩ නොදෙන අදිටනින්
හුනු ගායි පාපිෂ්ඨ
විදුලකර බුරුසුවක්

ඔන්ඩච්චි එහි තබයි
බරට බර කඟවේන
අඟ සහිත ඇඟෙන් එන
දරුණු රයිනෝ දෙඅත්

හුනු දියර බිම හැලී
කැත කෙරුණු සිමෙන්තිය
ඇඟිලි සලකුණු ගනියි
ඔන්ඩච්චි කකුල්වල

තරුණ ඔන්ඩච්චි අත
ඔහු වැනිම තරුණයන්
දරුණු කවි කොටා ගිය
බිත්තියේ පිටපතකි

ඔන්ඩච්චි පාඨකය, තොප සැබෑ තිරිසනෙකි
විදුලකර බිත්තියක කවි දකින්නට කැමති

මා පතන පාඨක ද කව් ගිලින තිරිසනෙකි
වමාරා කෑ කවිය දිරා ගිය පසු සිතෙහි
කඟවේන ගොම විලස හඬ දෙමින් බිම හෙළන,
කඟවේන පාඨකය, උරුමකොට දෙමි තොපට
විදුලකර සිර බිමේ ඔන්ඩච්චි ගොම ගොඩින්
ගොම බෝල රැගෙන යන නොලස කුරුමිණි දිවිය.

අනිල් නිශාන්ත ලොකු ගමරාල

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

8 thoughts on “මෙය ප්‍රොමිතියස් දූපතකි. ඔහු ගේ කාව්‍ය ග්‍රන්ථයේ නාමය ද හැඟවුම්කාරකයකි

Leave a Reply

Your email address will not be published.

Previous post රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් අභාවප්‍රාප්ත වෙයි
Next post න්‍යෂ්ටික ප්‍රහාරයක අවදානමක්