“සංචාරක රැකවරණ අරමුදලක් තිබීම වැදගත්, අපි ඒක කරනවා”

Read Time:15 Minute, 32 Second

ගලදාරි හෝටලයේ පැවති සංචාරක ව්‍යවසායක හමුව – 2022.09.27 දින පති අතර තම පාලනයක් යටතේ ජාතික ආර්ථිකය ගොඩනැඟීමේදී සංචාරක ක්ෂේත්‍රයට ප්‍රමුඛත්වයක් ලබාදෙන බව
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මෙහිදී පැවසීය. එහිදී කළ සම්පුර්ණ කතාව මෙසේය,

“සංචාරක ක්ෂේත්‍රයේ යම් ගැටලු පිළිබඳව මෙයට පෙර අපව හමුවී සාකච්ඡා කළ පිරිසක් වගේම පළමු වතාවට හමුවන විශාල පිරිසක් ඉන්නවා, අපිත් එක්ක සාකච්ඡා කරන්න, සංවාදයේ යෙදෙන්න. මේ අවස්ථාවට සහභාගි වන සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මෙහිදී ඔබට වැඩියෙන් ඇහුම්කන් දෙන්න බලාපොරොත්තු වන අතර අපේ දැක්මට අදාළ කරුණු කිහිපයක් කෙටියෙන් ඉදිරිපත් කරනවා.

කෝවිඞ් වසංගතයට සහ පාස්කු ප්‍රහාරයට පෙර ආර්ථිකයේ කුමන තැනක්ද සංචාරක ව්‍යාපාරයට තිබුණේ. ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් ආවේ 2018 වසරේදී. මිලියන 2.3ක් වගේ ප්‍රමාණයක් ඇවිත් ඩොලර් බිලියන 4.3ක පමණ ආදායමක් ඉපයූවා. දළ ජාතික නිෂ්පාදිතයට 4.9%ක පමණ දායකත්වයක් ලබාදුන්නා. ඍජු සහ වක්‍ර රැකියා ලක්ෂ හතරක පමණ ප්‍රමාණයක් ලබාදී තමන්ගේ ජීවනෝපාය බවට පත්කර ගෙන සිටියා. කුමන පැත්තකින් බැලුවත් ආර්ථිකයේ වැදගත් ස්ථානයක් සංචාරක ක්ෂේත්‍රය උසුලන බව මේ සංඛ්‍යා දත්ත, තොරතුරුවලින් පැහැදිලි වෙනවා. අපේ ආර්ථිකයේ මූලික කරුණු ගණනාවක් අතර, සංචාරක ක්ෂේත්‍රය ස්ථානගත කරන්නේ කොතැනද කියලා නිරාකරණය කර ගන්න ඕනෑ. එහිදී අපේ ආර්ථික උපාය මාර්ගය වැදගත් වෙනවා. අපේ ආර්ථික උපාය මාර්ගය හදනකොට සැලකිය යුතු ක්ෂේත්‍ර කිහිපයක් පවතිනවා. අපේ රටේ පිහිටීම, මේ රටේ ස්වභාවික සම්පත්, මානව සම්පතේ ස්වභාවය, භූ දේශපාලනයේ ස්වභාවය සහ මේ රට ගොඩනැගුණු ශිෂ්ටාචාරය යන කරුණු පහ මූලික වශයෙන් ඉතාම වැදගත් බව අපි විශ්වාස කරනවා.

මේ ක්ෂේත්‍ර අතරින් සංචාරක ව්‍යාපාරය අයත් වෙන්නේ රටේ ස්වභාවික සම්පත් තිබෙන ක්ෂේත්‍රයට බව අපි හිතනවා. අපේ රටේ ඉතාමත් හොඳ වෙරළ තීරයක් තිබෙනවා. දේශගුණික කලාප ගණනාවක්, විශාල ජෛව විවිධත්වයක්, පෞරාණික උරුමයන් රැසක් තිබෙන සහ ජනතාවගේ ආගන්තුක සත්කාර පිළිබඳව ඉහළින් ඔසවා තබා තිබෙනවා. අපේ රටේ ස්වභාවික සම්පත් මත ගොඩනැගෙන සංචාරක ව්‍යාපාරය වැදගත්ම ක්ෂේත්‍රයක්. අපි මේ මොහොතේ මුහුණ දී තිබෙන දිගු කාලයක් අනුගමනය කළ ආර්ථික ප්‍රතිවිපාකයන් මඟින් ප්‍රධාන ගැටලු දෙකකට කේන්ද්‍රගත වී තිබෙනවා. ඩොලර් හිඟය වගේම රුපියල් හිඟයකුත් ඇති වී තිබෙනවා. වැඩිපුරම කතා කෙරෙන්නේ ඩොලර් හිඟය ගැන. නමුත් රට තුළ භාවිතා කෙරෙන රුපියල් පවා හිඟවී තිබෙනවා. 2021දී අපේ විදේශ වෙළඳාමේ පාඩුව ඩොලර් බිලිය 8.2යි. ණය වාරික ගෙවීමට ඩොලර් බිලියන 6.7ක් වැය වෙනවා. ඒ කියන්නේ ඩොලර් බිලිය 14.8කට වැඩිය අතිරේක මුදලක් මේ කරුණු දෙක සඳහා පමණක් අවශ්‍ය වෙනවා. එය පියවා ගැනීමට විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් බිලියන 7කට ආසන්න මුදලක් ලැබෙමින් තිබුණා. සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 4කට ආසන්න මුදලක් ලැබුණා. ඒ තත්වය තුළ ඩොලර් බිලියන 3.5කට ආසන්න හිඟයක් මේ ක්ෂේත්‍ර දෙක සඳහා පමණක් පවතිනවා.

අපේ රට මුහුණ දී සිටින ඩොලර් අර්බුදය විසඳීමේදී සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීම තුළින් යම් උත්තරයක් සොයා ගත හැකියි. නමුත් ඩොලර් අර්බුදයට වඩා විශාල අර්බුදයක් රුපියල් සම්බන්ධයෙන් තිබෙනවා. 2021 රජයේ මුළු ආදායම ටි්‍රලියන 1.4යි. ණය වාරික ගෙවීම හැර රජයේ මුළු වියදම ටි්‍රලියන 3.5යි. තව විදිහකින් කියනවා නම් භාණ්ඩාගාරයට රුපියල් 40/-ක් ලැබෙන විට ආණ්ඩුව රුපියල්100/-ක් වියදම් කරනවා. ඒ කියන්නේ 60%ක ආදායම් හිඟයක් තිබෙනවා. රජයේ ආදායම්වලින් විශාල පංගුවක් ලැබෙන්නේ බදුවලින්. බදු ආදායම් ඉහළ යන්නේ ආර්ථිකය ප්‍රසාරණය වීමෙන්. ආර්ථිකය හැකිළුනොත් භාණ්ඩාගාරයට ලැබෙන ආදායම් පහත වැටෙනවා. මූල්‍ය අරමුදල සඳහන් කර තිබෙන්නේ මේ වර්ෂයේදී අපේ ආර්ථිකය ඍණ 8.7%කින් හැකිළෙන බවයි. ඒ කියන්නේ ජාතික ආදායම ඩොලර් බිලියන 72කට හැකිලේවි කියලා පුරෝකථනය කරනවා. එවිට භාණ්ඩාගාරයට ලැබෙන ආදායම තවත් පහත වැටෙනවා. රුපියල් අර්බුදය විසඳා ගැනීමේදීත් සංචාරක ව්‍යාපාරය පැතිරීම වැදගත් වෙනවා.

අපේ කෘෂිකර්මාන්තයට භූමියෙන් 11%ක් යොදවා තිබෙනවා. මේ භූමිය ආරක්ෂා කර ගැනීම ප්‍රධානම අභියෝගයක්. කෘෂිකර්මාන්තය වෙනුවෙන් භූමිය වර්ධනය කර ගැනීමට නොහැකි තත්වයක් තිබෙන්නේ. මේ නිසාත් ආර්ථිකයේ පළල් කර ගත හැකි ක්ෂේත්‍රයක් සංචාරක ව්‍යාපාරය. ජන ජීවිතය තුළ ග්‍රාමීය දුප්පත්භාවය සහ ග්‍රාමීය තරුණ තරුණියන්ට නව ආර්ථික අවස්ථා අහිමිවීම බරපතළ තත්වයක්. මේ නිසා ලක්ෂ දහයකට ආසන්න පිරිසක් ත්‍රී විලරය තමන්ගේ ආර්ථික ජීවනෝපාය බවට පත්කරගෙන තිබෙනවා. මෙතනට ලක්ෂ දහයක් ඇදී ගියේ ඒ තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථාවන් නිර්මාණය කිරීමට අසමත් වීමෙන්. ඒ පැත්තෙන් ගත්තත් සංචාරක ක්ෂේත්‍රය රැකියා අවස්ථා ග්‍රාමීය වශයෙන් ලබාදීමට වැදගත්. දැන් අපි ඇවිත් තිබෙන්නේ කොළඹ කේන්ද්‍රකර ගත් ආර්ථිකයේ උපරිමයට. මේ නිසා ග්‍රාමීය ජනතාව දක්වා ආර්ථිකය ප්‍රසාරණය කරන්න සිදුවෙනවා. ඒ වෙනුවෙන් වැදගත් ක්ෂේත්‍රයක් සංචාරක ව්‍යාපාරය. රටපුරා සංචාරක ගම්මාන ලෙස ප්‍රවර්ධනය කළ හැකි ගම් සහ නගර විශාල ප්‍රමාණයක් තිබෙනවා. අපේ ආර්ථිකය සංචාරක ආර්ථිකයක් දක්වා වර්ධනය කිරීම වැදගත් වෙනවා.

ඒ වෙනුවෙන් සංචාරකයන් ගෙන්වා ගැනීම අවශ්‍යයි. ඊට අදාළව ස්වභාවික සෞන්දර්යය, ශිෂ්ටාචාරය ගොඩනැගීම පිළිබඳ අධ්‍යයනය, ජෛව විවිධත්වය පිළිබඳ අධ්‍යයනය වගේ ක්ෂේත්‍ර තිබෙන අතර, ඒ වෙනුවෙන් පළමු කොටම ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රතිරූපය ඉතාම වැදගත්. දැන් තිබෙන්නේ ඉතාම නරක චිත්‍රයක්. ලෝක බැංකුවෙන් පොහොර ගේන්න ණය මුදලක් ලබාදී එයින් හොරකම් කරනවා ද බලන්නත් කණ්ඩායමක් එවන බව කීවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ පවතින සාකච්ඡාව තුළ සිවිල් හා මානව අයිතිවාසිකම් රැකගැනීමට ආර්ථික අපරාධවලින් තොරවීම පිළිබඳවත් කතා වෙනවා. ඒ නිසා ඔවුන් ආර්ථික අපරාධ ගැන සොයා බලනවා. යුරෝපා පාර්ලිමේන්තුව, එංගලන්ත පාර්ලිමේන්තුව අපි ගැන කතා වෙන්නේ මොනවාද? කෙන්යාවේ කතා වෙන්නේ මොනවාද? බංගලිදේශයේ අගමැතිතුමිය අපි ගැන කීවේ මොනවාද? සංචාරක ව්‍යාපාරයට මොනතරම් හිතවත් පරිසර පද්ධතියක්, සම්පත් පද්ධතියක් තිබුණත් ශ්‍රී ලංකාව හැටියට යහපත් ප්‍රතිරූපයක් නැති නම් සංචාරක ව්‍යාපාරයට බලවත් පහරක් වදිනවා. මේ නිසා සංචාරක ව්‍යාපාරයට සම්බන්ධව ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රතිරූපය අපි ගොඩනඟනවා. පළමුවෙන් කළ යුත්තේ එයයි.

දෙවනුව ආර්ථිකයේ ඇතිවන ඕනෑම චලනයකදී මේ ක්ෂේත්‍රය ආරක්ෂා කර ගත යුතුයි. උදාහරණයක් හැටියට ඉන්ධන හිඟය අපේ රටේ කර්මාන්ත පද්ධතිය ඇතුළු සියලු ක්ෂේත්‍රයන්ට බලපානවා.
එහෙම වුණත් සංචාරක ව්‍යාපාරය ආර්ථික උපාය මාර්ගයේ වැදගත් කොටසක් නම්, ප්‍රමුඛතාවය මේ ක්ෂේත්‍රයට දිය යුතුයි. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබුණත් පවතින තත්වය යටතේ ඩුබායිවලට ගෙන ගියා. නමුත් මේ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට්වලට අමතර ඩොලර් මිලියන 2ක් ලැබුණු බව ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා කියා තිබුණා. ක්‍රිකට් සම්බන්ධයෙන් පමණක් හිතුවොත් ඒක වැදගත්. නමුත් රටක් විදිහට හිතුවොත් සංචාරකයෙකුට එන්න බැරි ප්‍රශ්නයක් තිබුණේ. ආසියානු කුසලානයට කණ්ඩායම් අටක් විතර ලංකාවට ආවා නම්, දැන් ලංකාව සුරක්ෂිතයි කියන ප්‍රතිරූපය ගොඩනැඟෙනවා. නමුත් ඊට පස්සේ සිදුකළේ ඩුබායිවල මැච් එක ගහලා “විසිට් ශ්‍රී ලංකා” කියලා දැන්වීම් පළ කරනවා. සංචාරකයාට අවශ්‍ය සුරක්ෂිතභාවය ලබාදීම පිළිබඳවයි ක්‍රිකට් තරගාවලිය අතරේ පෙන්වන්න තිබුණේ. ක්‍රිකට් ආයතනය ගැන විතරක් හිතනවා නම්, ඩුබායිවල මැච් එක පැවැත්වීම ලාභයි. නමුත් රටේ සමස්ත ආර්ථිකයේ කොටසක් සංචාරක ව්‍යාපාරය ලෙස හිතනවා නම්, මැච් එක මෙහෙ ගහන්න ඕනෑ. ටීම් අටක් සම්බන්ධයෙන් නවාතැන්, ප්‍රවාහන පහසුකම්, ලබාදී කළමනාකරණය කර ගන්න බැරි නම් රටේ ප්‍රතිරූපය මොකක්ද? සංචාරක ව්‍යාපාරය ආර්ථිකයේ වැදගත් ක්ෂේත්‍රයක් නම්, ඕනෑම කැලඹීමකදී මේ ක්ෂේත්‍රය ආරක්ෂා කර ගැනීමට ප්‍රමුඛතාවය දෙන්න ඕනෑ.

තුන්වනුව ඉතාමත් කැලඹීම් තිබෙන සංවේදී ක්ෂේත්‍රයක් සංචාරක ව්‍යාපාරය කියන්නේ. පාස්කු ප්‍රහාරය, වැනි ලංකාව තුළ තත්වය වගේම ලෝකයේ ඇතිවන තත්වයන් අනුව මේ ක්ෂේත්‍රය උච්ඡාවචනය විය හැකියි. අන්න එවැනි අවස්ථාවලදී ස්ථායී රැකවරණයක් ලබාදීමට රැකවරණ අරමුදලක් පිහිටුවිය යුතුයි. 2007 දී එක්සත් ජනපදයේ මූල්‍ය වෙළඳපොළ තුළින් ඇතිවූ ආර්ථික කඩා වැටීමෙන් බැංකු පද්ධතියම අනතුරට පත් වුණා. නමුත් ඇමෙරිකානු රජය බැංකු පද්ධතියට ඩොලර් බිලිය 700ක් මුදා හැරියා. සාමාන්‍ය පුරවැසියන් අර්බුදයකට පත්වී සිටියදී බැංකු පද්ධතිය බේරා ගන්න මේ මුදල වියදම් කිරීම ගැන විශාල විවේචනයක් ආවා. නමුත් ආර්ථික පද්ධතිය සුරක්ෂිත කර ගැනීම සඳහා ඒ ආණ්ඩුව වැය බරක් දැරුවා. සංචාරක ව්‍යාපාරයත් මේ ලෙස ආරක්ෂා කර ගැනීම අපගේ වගකීමක්. මෑත කාලයේ සංචාරක ව්‍යාපාරයට බලපෑ අර්බුදයන් වැනි තත්වයන්වලදී සංචාරක රැකවරණ අරමුදලක් තිබීම වැදගත්. කෝවිඞ් වසංගතයේදී සෑම රටක්ම වාගේ තමන්ගේ ආර්ථිකයන් රැකගන්න භාණ්ඩාගාරයෙන් මුදල් යෙදවූවා. මෙවැනි තත්වයන්ට මුහුණ දෙන්න රැකවරණ අරමුදලක් අපි ඇති කරනවා.

සංචාරක ව්‍යාපාරය පටු ක්ෂේත්‍රයකට සීමාවී නැහැ. ප්‍රවාහනය, සෞඛ්‍යය, විනෝදාස්වාදය, වගේ ක්ෂේත්‍ර ගණනාවක එකතුවක්. මේ නිසා සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් මධ්‍යගත මධ්‍යස්ථානයක් ඕනෑ. ඒ නිසා මේ සියලු ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි සංචාරක කොමිෂන් සභාවක් පත්කරන්න ඕනෑ. ඒ වගේම මේ ක්ෂේත්‍රයේ නියැලී සිටින කණ්ඩායම් නියෝජනය වන කොමිෂන් සභාවක් ඕනෑ. මේ ක්ෂේත්‍රයේ අභ්‍යන්තර ගැටුම්, වෙනස්කම් සමනය කර ගැනීමට මේ වැනි කොමිෂන් සභා අවශ්‍යයි. ඒ වගේම මේ ක්ෂේත්‍රයේ 99%කට වඩා වැඩි ප්‍රමාණයක් රඳා පවතින්නේ පෞද්ගලික අංශයේ. එහෙම නම් ඊට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කර දීම අපේ මූලික කාර්යභාරයක්. සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් අපේ දැක්මේ පස්වැනි ස්ථානය මේ වෙනුවෙන් යොමුකර තිබෙනවා. හයවෙනුව අපේ ඉතිහාසයේ සංචාරක ව්‍යපාරය ගැන ඇතිවී තිබෙන ආකල්පය වෙනස් කරන්න ඕනෑ. මේ ක්ෂේත්‍රයේ කාන්තාවන්ගේ නියැලීම 6%ක් වගේ සීමිත ප්‍රමාණයක සීමා වෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් තිබෙන ආකල්පය යහපත් එකක් නොවෙයි. ඒ ආකල්ප වර්ධනය කිරීමට අදාළ අධ්‍යාපනයක්, සාහිත්‍යයක් ඇති කරන්න ඕනෑ. සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි සම්බන්ධ වෙන්නේ මේ ක්ෂේත්‍ර හය තෝරාගෙන.

රටේ ප්‍රතිරූපය ගොඩනැංවීම, ක්ෂේත්‍රයේ අර්බුද විසඳීමට මැදිහත්වීම, මූලික කරගත් කරුණු හය මූලික සංවර්ධනය කරගත් සංවර්ධනයත් අපේ පාලනයක් යටතේ ස්ථාපිත කිරීමේ දැක්මක් අපට තිබෙනවා. 2030 වන විට මේ ව්‍යාපාරය කොතැනකට ගෙන යා යුතුයි ද කියන දැක්මක් අපට තිබෙනවා. ඒ වෙනුවෙන් ඉලක්ක සම්පාදනය, යටිතල පහසුකම් සම්පාදනය, ආකල්පමය වෙනස්කම් ඇති කිරීම, මූල්‍ය පහසුකම් ලබාදීම සහ නීතිමය රෙගුලාසි සම්පාදනය අපේ කාර්යභාරයයි. මේ වෙනුවෙන් විවෘතව අදහස් දක්වන්න, සංවාද කරන්න අපි සූදානම්.”

lankaweb.lk
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

7 thoughts on ““සංචාරක රැකවරණ අරමුදලක් තිබීම වැදගත්, අපි ඒක කරනවා”

Leave a Reply

Your email address will not be published.

Previous post සුබ්‍රමනියම් ස්වාමි – ඥානසාර – ගෝඨාභය තවත් අපරාධ රැසක් අත ළඟ ?
Next post “පුතත් ගහලා පුතාටත් ගහලා තියනවා – පුතා රජයේ වාහනයක් ගෙනිහින්”