ආණ්ඩුව මර බයේ – අධි ආරක්ෂක කලාප ඒ නිසයි.

Read Time:10 Minute, 49 Second

විදුරගේ වැකිය………………….

ආණ්ඩුවේ තරම දැන් හොඳටම තේරුම් ගත හැකිය. ආණ්ඩුව දැන් හොඳටම හෙම්බත් වී ඇති බවත්, මර බියෙන් පසුවන බවත් පැහැදිලිය. එල්ලෙන්නට වැල් නැති ආණ්ඩුව ‘කණා පල්ලන් ගසන්නා සේ‘ හතර අතේ වැටි වැටී යන්නේ ඉමක් කොණක් නො‍පෙනෙන ප්‍රපාතයකට ය.

ඒ බව ඔවුන් නොදන්නවා යයි සිතිය නොහැකිය. දැන් එයින් බේරෙන්නට ඔවුන් විවිධ උපක්‍රම තෝරන බව පෙනේ. අධි ආරක්ෂක කලාප යෝජනාව එයට හොඳම නිදසුනකි. අධි ආරක්ෂක කලාප ප්‍රකාශයට පත් කරන්නේ ම බිහිසුණු යුද්ධයක් පවතින විටෙක බව, සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනෑම අයෙකුට වැටහෙන දෙයකි.

එල්.ටී.ටී.ඊ යුද්ධය පැවති තිස් අවුරුදු යුද සමයේ දී අධි ආරක්ෂක කලාප රාශියක් උතුරු නැගෙණහිර පමණක් නොව, දකුණේ ද ප්‍රකාශයට පත් කර තිබූ බව අපට මතකය. දැන් එවැනි බිහිසුණු යුද්ධයක් නැත. යුද්ධයක ඡායා මාත්‍රයක් වත් පෙනෙන්නට නැත. එසේ නම් ආණ්ඩුව පසුව හකුලා ගත්තා වුණත්, අධි ආරක්ෂක කලාප කුමකටද? දැන් ඇති යුද්ධය කවරක්ද?

දැන් ඇති යුද්ධය වූ කලි, ආණ්ඩුව ජනතාව සමග කරන ඒක පාර්ශවීය යුද්ධයයි. විකෘති ජනාධිපතිවරයෙකු හා ආණ්ඩුවක් විසින් ජනතාවට එරෙහිව දියත් කර ඇති නොනිල යුද්ධ යයි. ‘විකෘති ජනාධිපතිවරයෙකු හා ආණ්ඩුවක්‘ යනු කවරක්දැ යි ඔබට යම් විචිකිච්චාවක් ඇති විය හැකිය. එය මදක් විග්‍රහ කර බැලීම වටී.

2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පත් වූ නව ආණ්ඩුවේ මන්ත්‍රී සංයුතිය සැකසී තිබුනේ පොදුජන පෙරමුණ හා එයට සම්බන්ධ වී සිටි පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන්ගෙනි. එහෙත් එම තත්ත්වය වර්තමානයේ බොහෝ සෙයින්ම වෙනස් වී ඇත. අරගලයෙන් පසු කැඩී බිඳී ගිය ආණ්ඩුව යළි අටවා ගත්තේ ඉමහත් අපහසුවෙනි.

පුරවැසි අරගලයේ ප්‍රතිඵලයක් වශයෙන් එවකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුලු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් විය. ඉන් අනතුරුව ජනාධිපති ගෝඪාභය රාජපක්ෂ පැදුරටත් නොකියාම පලා ගියේය. ජනතාවගේ ඒකායන ඉල්ලීම වූයේ ආණ්ඩුව විසුරැවා හැර මහ මැතිවරණයකට යන ලෙසයි. එහෙත් එම ඉල්ලීමට ආණ්ඩුව කන් දුන්නේ ම නැත.

ඒ වෙනුවට ආණ්ඩුව කල් මරමින් සිට ව්‍යවස්ථා විරෝධී ලෙස අගමැතිවරයෙක් පත් කොට අසම්පූර්ණ කැබිනට්ටුවක් ද පත් කළේය. වැඩබලන අගමැතිවරයා වූයේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා වූ රනිල් වික්‍රමසිංහය.
අනතුරුව ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත්කර ගත්තේ ද ඔහු මය. එහෙත් ඔහු මහජන චන්දයෙන් පාර්ලිමේන්තුවට පත් වූවෙක් නොවන බවත්, ඔහු එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු බවත් ජනතාවගෙන් වසං කරන්නට ආණ්ඩුව අසාර්ථක ප්‍රයත්නයක් දැරීය. එසේ කළේ රනිල් වික්‍රමසිංහගේ පත් කිරීම සාධාරණීය කිරීම පිණිස මෙන්ම රාජපක්ෂවරුන්ට ඇත්තේ රනිල් ගේ පිහිට පමණක් ම බව ජනතාවගෛන් වසං කිරීමටය.

රනිල් වික්‍රමසිංහ වූ කලි, 2020 මහ මැතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන විරුද්ධවාදී තරඟකරුවාය. එම මැතිවරණයේ දී රනිල් වික්‍රමසිංහට සිය මැතිවරණ ආසනය ද අහිමි විය. එ මතු නොව, එය ජය ගැනීමට ඉඩ නොතබමින් ජනතාව විසින් නිර්දය ලෙස ඔහු ප්‍රතික්‍ෂේප ක‍ළේය. ඔහුගේ පක්ෂයට එකදු ආසනයක්වත් දිනා ගැනීමට නොහැකි විය.

එහෙත් ඒ සියල්ල අභිබවා 2022 දී ඔහු රටේ විධායක ජනාධිපතිවරයා විය. රනිල් – රාජපක්ෂ මිතුරු හවුලේ අසීමිත බල අධිකාරිය මෙයින් පිළිබිඹු නොවන්නේද? ඇත්තෙන් ම මෙය දේශපාලන විකෘතියක් නොවන්නේ නම් අන් කරවරක්ද?

ඒ එක් පැති කඩකි. අනෙක් කරුණ වන්නේ කිසිදු ජන වරමක් නැති රනිල් වික්‍රමසිංහ විධායක ජනාධිපතිවරයා ලෙස පත්කර ගනු ලබන්නේ පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රීවරුන්ගේ චන්දයෙන් වීමත්, ඒ අතර මහින්ද රාජපක්ෂ ඇතුලු අනෙක් රජපක්ෂවරුන්ගේ ආශීර්වාදය ද ඔහුට හිමි වීමත්ය. රාජපක්ෂවරුන්ගේ පරම හතුරා රාජපක්ෂවරුන්ගේ ගැලවුම්කරුවා බවට පත්කර ගෙන, පොහොට්ටුවේ පාරිශුද්ධ ජලයෙන් රනිල් වික්‍රමසිංහගේ දෙපා දෝවනය කොට, ජනපති සිංහාසනය මත හිඳුවා, ඔහු ගේ දෙපා සිප ගන්නට රාජපක්ෂවරුන් ඇතුලුව පොහොට්ටු පන්ත්‍රීවරුන්ට සිදු වීම, අනේ අපොයි! දෛවයේ සරදමක් මිස අන් කවරක්ද?

ජාතික ජන බල වේගය ප්‍රධාන වෘත්තීය සමිති සංවිධානය විසින් මුලු මහත් දිවයින පුරා ඇති කරන ලද දැවැන්ත ආණ්ඩු විරෝධී මහජන රැල්ල කූටප්ප්‍රාප්ත වූ‍යේ නොසිතූ විරූ පරිදි අරගලය හරහා ගෝල්ෆේස් පිටියෙනි. ආණ්ඩුව කෙරේ තිබූ අති දැවැන්ත මහජන කළකිරීම, අප්‍රසාදය හා දැඩි කෝපය ජනතාව පළ කළේ සැබවින් ම නිරායුදවය. එය එසේ වුවද, ආණ්ඩුවට උවමනා වූයේ සන්නද්ධ කරැල්ලක් සේ එය මර්ධනය කිරීමටය. එයින් ඔවුන් අපේක්ෂා කළේ ජනතාව තව තවත් පීඩනයට පත් කොට ඔවුන් අනීතික ක්‍රියාමාර්ග වලට යොමු කොට රටට හා ජාත්‍යන්තරයට වෙනස් චිත්‍රයක් නිර්මාණය කොට පෙන්වීමටය. වාසනාවකට මෙන් අරගලකරුවන් ආණ්ඩුවේ උගුලට කිසි විටෙකත් හසු වුයේ නැත.

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ අදෘශ්‍යමාන හස්ථය මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ බව හෙළිදරව් වි අවසානය. රනිල් නැටවෙන්නේ මහින්දලාගේ නූල් සූත්තරයට මිස, රනිල්ට ඕනෑ හැටියට නොවේ. ඔහු ඉටු කරමින් සිටින්නේ මහින්දලාගේ ඕනෑ එපාකම්ය. අධි ආරක්ෂක කලාප යෝජනාව ද නියත වශයෙන් ම එවැන්නකි. මහින්ද ගේ ආණ්ඩුව බිඳ හෙලීම ගැන රාජපක්ෂලා තුළ ජනතාව කෙරේ ඇත්තේ නොසංසිඳෙන පලි ගැනීමේ චේතනාවක් බව දිනෙන් දින සිදුවන දෙයින් මොනවට පැහැදිලි වේ. රටේ ජනතාව හාමතෙන් මිය ගියත් බලය රැක ගෙන, සිය පරම්පරාව ගොඩදා ගැනීම රාජපක්ෂවරුන්ගේ අභිලාශය බව කාට වුව පැහැදිලිය.

කොළඹ නගරයේ ජනතාව නිරන්තරයෙන් ගැවසෙන ස්ථාන අධි ආරක්ෂක කලාප ලෙස නම් කරන්නේ කුමකටද? වෘත්තීය සමිති, ශිෂ්‍ය සංගම් ,පොදු ජනතාව හා දේශපාලන පක්ෂ යම් නිශ්චිත කරුණක් සඳහා එක් රොක් වී ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ පැවැත්වීම වැළැක්වීමටය. ඒ ආකාරයේ සාමකාමී උද්ඝෝෂණ වැළැක්වීමට ආණ්ඩුව යත්න දැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මුලු මනින්ම පටහැනිය. ප්‍රජාතන්ත්‍ර විරෝධීය. ජාත්‍යන්තර මානව හිමිකම් උල්ලංගනය කිරීමකි.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂම ද ඒ බව පෙන්වා දී තිබේ. ජාත්‍යන්තර ක්ෂමා ආයතනය ද ශ්‍රී ලංකාවේ සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා ආණ්ඩුවේ මර්ධනකාරි පිළිවෙත අවස්ථා කිහිපයක දී විවේචනයට ලක් කොට තිබේ. දැනටමත් ත්‍රස්තවාදය වැළක්වීමේ පණතේ යම් යම් වගන්ති ක්‍රියාවට නංවා ඇත. අත් අඩංගුවට ගන්නා ශිෂ්‍ය ක්‍රියාකරීන්ගෙන් ඇතැමෙක් ත්‍රස්තවාදය වැළැක්වීම් පණත යටතේ දින අනූවක් දක්වා රඳවා තබා ඇත. මෙවැනි මෙලේච්ච ක්‍රියාවන් ගැන ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වල අවධානය දැඩි සේ යොමු විය යුතු කාලය එළඹ තිබේ.

පසුගිය කාලයේ පුරවැසි ජනතාව පාරට බැස්සේ ඉසිළිය නොහැකි ජීවන වියදම,ගෑස් හිඟය, භූමිතෙල් හිඟය, තෙල් හිඟය ආදී දහසක් අවශ්‍යතාවන් වෙනුවෙන් ආණ්ඩුවේ අවධානය යොමු කිරීමේ අටියෙන් උද්ඝෝෂණය කිරීමට මිස ආණ්ඩු පෙරළන්නට නොවේ. එහෙත් පීඩාවට පත් ජනතාව දහස් ගණනින් එක් රොක් වන විට ආණ්ඩුව කැරළි මර්ධන ඒකක කැඳවා මර්ධනය ආරම්භ කළේය. ලක්ෂ හැට නමයක ජනතා චන්දයෙන් පත් වූ ආණ්ඩුවක් , එම ජනතාවම කෑම ඉල්ලා වීදි බසින විට පොලිසිය ලවා ඔවුන්ට පහර දී සිරභාරයට ගැනීම මොන තරම් පහත් මෙලේච්ච ක්‍රියාවක්ද? කන්න දුන්න අත හපා කන්නා සේ සිය චන්ද දායකයා වෙඩි උණ්ඩයෙන් මර්ධනය කිරීමට යත්න දැරීම නීච ක්‍රියාවකි.

මහත්මා දේශපාලනය ගැනම කට මැත දොඩවන ටයි කෝට් පැළඳ විද්‍යූත් මාධ්‍ය හරහා මුනත් තහඩුව පෙන්වන මැති ඇමති ලොක්කන්ට නොහොබිනා ක්‍රියාවකි. එහෙත් නිරන්තරයෙන් සිදු වන්නේ ද එයමය.
ලජ්ජා නැතිකම වල් බල්ලෙකු ගේ අහවල් එකට සම කළත් හිතට මදිය යි කෙනෙකු කීවේ මෙවැනි දෑ සිදුවනු දැකීමෙන් විය හැකිය. අඳෝමැයි! මේ නම් රාජපක්ෂවරුන්ගේ ගැල විජ්ජාවට අටවා ගත් අවජාතක ආණ්ඩුවක් නොවන්නට කිසිදු හේතුවක් නැත.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

4 thoughts on “ආණ්ඩුව මර බයේ – අධි ආරක්ෂක කලාප ඒ නිසයි.

Leave a Reply

Your email address will not be published.

Previous post “සංචාරක ආර්ථිකයක් කරා” ජාතික ජන බලවේගය ඊයේ ගලධාරී හෝටලයේ දී
Next post “දඩුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන්න” සනත් නිශාන්තට සිතාසි