2022 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පිළිබඳව පසුවිපරමක් – 2 !!

Read Time:21 Minute, 22 Second

[ පසුගිය සටහන සමගින් බැඳේ ]

2022 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සාධනීය හා අසාධනීය කරුණු කාරණා තිබෙන බව මවිසින් මෙහි පළමු කොටසේ ආරම්භයේ දීම සදහන් කරන ලදි. දැන් මා අවධානය යොමු කරන්නේ එතුළින් මතූවූ අසාධනීය ලක්ෂණ පිළිබඳව ය.
මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී ඉතා පසුගාමී හා නොමේරූ ක්‍රියාකාරීත්වයක් ප්‍රකට කරන ලද්දේ මෙරට නූතන ලේඛන කලාවේ නිරතව සිටින ඇතැයි පුද්ගලයන් විසිනි. මා මෙසේ කියන්නේ ඇයි? අපි ඒ පිළිබඳව මෙම සටහනින් සවිස්තරව සාකච්ඡා කරමු.

වර්තමානය වනවිට මෙරට සාහිත්‍යය ක්ෂේත්‍රය තුළ අන් කවරදාටත් වඩා විවිධ කල්ලි හා ගෝත්‍රි නිර්මාණය වී ඇත්තේ ය. එය ඉතා මැනවින් මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය තුළින් විද්‍යාමාන වීම සැබවින්ම කණගාටුදායක කාරණාවක් වන අතර එය නොවිය යුත්තක් ද වන්නේ ය. එපමණක්ද නොව වර්තමානයේ අමුතු තාලේ “ලුම්පන් ලේඛක” ප්‍රජාවක් සාහිත්‍යය තුළ නිර්මාණය වී තිබීම ඊට වඩා බරපතල කාරණාවක් බව පෙනේ. මා මෙසේ කියන්නේ ඇයි?
වර්තමානයේ අප මේ දිවිගෙවන සමාජය තුළ වංචාව-දුෂණය- විකෘතිය – -කඩාවැටීම හා අර්බුදය හැරණු කොට වෙනත් කිසිවක් නොමැති තරම් ය. මෙරට තුළ අපට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සතුටුවිය හැකි හා හදවතින්ම වින්දනය කළ හැකි කිසියම් දෙයක් වෙත්ද ඒ දෙස් / විදෙස් කලාව පමණි. ඉන් හැරණු කොට අපට විඳ ගැනීමට වෙනත් කිසිදු දෙයක් මෙරට තුළ ඉතිරි වී නොමැති අතර විඳවීමට නම් බොහෝ දේ ඉතිරිව ඇත්තේ ය.

එවන් වූ පසුබිමක් තුළ “දේශීය කලව” වශයෙන් ගත් කල්හි වේදිකා නාට්‍ය , සිනමාව හා ටෙලි නාට්‍ය යන මෙරට සංස්කෘතික මිනිසා පොෂණය කරන ලද කලා මාධ්‍යයන් ත්‍රිත්වයම මේවනවිට මුළුමනින්ම කඩා වැටී ඇත්තේ ය. අපි මොන මති- මතාන්තර දැරුවද, අපගේ දෑත් මානයේ දිස්වන යථාර්ථය එයයි. එසේ වී නම්, වර්තමානයේ මෙරට සංස්කෘතික මිනිසා යාන්තමින් හෝ පෝෂණය කරන කලා ප්‍රභේදය වශයෙන් ඉතිරිවී ඇත්නම්, ඒ ඇත්තේ සාහිත්‍යය කලාව පමණි.එය ආරක්ෂා කර ගැනීමත් එය යහමින් පවත්වාගෙන යෑමත් මෙරට ලේඛක , පාඨක හා චිචාරක යන මේ ත්‍රිකෝණාකාර වූ සුසංයෝගයේ ප්‍රබල වගකීමක් ද වන්නේ ය.

ලොව කුමන හෝ සාහිත්‍යයක් නවතින්නේ ලේඛක – පාඨක – විචාරක යන මේ ත්‍රිකෝණාකාර වූ සංයෝගය හෙවත් ව්‍යුහය මතය. වර්තමානය වනවිට මෙරට මෙම මෙම ව්‍යුහය දෙදරා ගොස් මේ ත්‍රිත්වය ගමන් කරන්නේ දිශාවන් තුනක බව පෙනේ.ලේඛකයන් සිතන්නේ තමන්ගේ නිර්මාණය නිසියාකාරව විචාරයට ලක් නොවන බවත් මෙරට විචාරය අවිචාරවත් බවත් ය. මේ අතර විචාරයේ පසුගාමීත්වය හෝ බෙලහීනත්වය නිසා අඳුරේ අතපතගාන පාඨක පිරිසක් ද තවත් විටෙක ලේඛකයාට හා විචාරකයාට ඉදිරියෙන් සිටින පාඨක පිරිසක්ද ( මොවුන් ද්විභාෂාවෙන් පොපත පරිශීලනය කරන ජාත්‍යන්තර පාඨකයන් වශයෙන් හැදින්විය හැකිය.)
වෙති. විචාරකයන් සිතන්නේ තමුන් විසින් කරන කියන විචාරය සාධාරණ හෝ අසාධාරණ වේවා ලේඛකයන් දොහොත්මුදුන් දී පිලිගත් යුතුය යන්නයි. එසේ වී නම්,මෙතැනින් ඔබ්බට අපේ සාහිත්‍යය කොතැනටද යන්න පිළිබඳව සිතා බැලීමට දැන් කාලය එළැඹ තිබේ.
ලෝකයේ කිසිවක් සදාකාලික නැත.

එය අප මෙහිලා කතා කරන සාහිත්‍යය කලාවටද පොදු ය. එසේම යුගයෙන් යුගයට නව පරම්පරා නොඑසේනම් තරුණ නිර්මාණ ප්‍රජාව සාහිත්‍යය ක්ෂේත්‍රයට එක්විය යුතුය. ඒ පිළිබඳව කිසිදු තර්කයක් නොමැත. එම කාරණාව මත පිහිටා කතාකරන්නේ නම්, මෙරට සාහිත්‍යයට බහුතරයක් නොවුණද, කිසියම් වූ නිර්මාණශීලීත්වයකින් හෙබි දක්ෂ තරුණ පරපුරක් අවතීර්ණ වී සිටින බව පෙනේ. ඔවුන් බුද්ධිමත් ය. එනමුත් පසුගාමී ය. මෙම පසුගාමීත්වය නිසාම ඔවුන් පරයා පොරවල් වීමට වෙර දරණ මවිසින් ඉහත සදහන් කරන ලද “ලුම්පන් ලේඛන කුලකය”ට බඩපිණුම් ගැසීමට සරුපසක් නිර්මාණය වී ඇත්තේ ය.

මොවුනට සාහිත්‍යය කියවීම් කිසිවක් නැත.එසේම කුමන හෝ කියවීමක් කිරීමට කැමතක් හෝ උනන්දුවක් ද නැත. මොවුනට අවශ්‍ය වන්නේ එක පොතකින් “පොර චරිත” නොඑසේනම් “සාහිත්‍යය තරු” වීමට පමණි.

මෙන්න .. මේ ලුම්පන් ලේඛක කුලකය විසින් රඟමින් මහා චරිත ( එනම් පොරවල් ) වීමට ඳගලන ආකාරය
මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ
දී මැනවින් කැපී පේන්නට විය. ඔවුන් විසින් එහිදී තම පොතපත විකුණා ගැනීම පිණිස ඉතා පහත් ආකාරයෙන් “ගරිල්ලා මාකටින්” ව්‍යාපෘතියක් ගෙන ගිය බව රහසක් නොවේ. ඇතැම් පුද්ගලයෝ සෑම දිනකම උදේ සිට රාත්‍රිය දක්වා පොත් කුටි තුළ රැඳෙමින් පාඨකයන්ට ව්‍යාජ ලෙන්ගතුකමක් පෙන්වමින් “මේ මගේ අලුත් පොත කියවන්නකෝ” යයි කියමින් පොතපත බලෙන්ම අහිංසක පාඨකයාගේ ඇඟේ ගසන ක්‍රියාවලියක නිරත වූහ. ඊට පාඨකයන් සමගින් ෆෙල්පි ඡායාරූප ගසා තමා මහා පොරක් යයි ලේබලය ගසා ගැනීමට ද ඔවුහු අමතක නොකළහ.තවත් ආකාරයකින් මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වූ කලී “සෙල්ෆි පුරයක්” බවට පත්වූ බව පෙනේ. මෙහිද කප්පිත්තන් වූයේ ලුම්පන් කුලකයේ ලේඛක-ලේඛිකාවන් ය .මා මේ කියන කාරණය ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගියත් -නොගියත් ඔබ විසින් මුහුණු පොත ඔස්සේ දැක ඇතිවාට කිසිදු සැක නැත.සැබවින්ම එය විකාරයක් තරමටම වර්ධනය වූවක් බව පෙනේ.

Frankfurt Book fair London Book Fair

ලොව පිළිගත් සම්මතයට අනුව පොත් ප්‍රදර්ශනයක් තුළ ලේඛකයන්ට කරන්න කිසිදු කෙංගෙඩියක් නොමැත. එහිදී ලේඛකයාද පාඨකයකු වන්නේ ය. සැබවින්ම එහිදී සිදුවන්නේ ප්‍රකාශකයා හා පාඨකයා අතර කෙරෙන “බුද්ධිමය හා වාණිජ” ගනුදෙනුවක් පමණි.
මෙහිලා මා දුටු විශේෂත්වය වන්නේ මෙරට පිළිගත් ක්‍රියාවලියක් ඔස්සේ එනම්, දිගු කාලයක් සිට පෞද්ගලික හැදෑරීම් කොට පුවතපත්වලට ලිපි-ලේඛන රචනා කරමින් මෙරට සාහිත්‍යකරණයට පිවිසි කිසිදු ලේඛක- ලේඛිකාවක් මෙම සෝබන නාටකවලට සහභාගි නොවීමයි. ඒ ඔවුන්ගේ අභිමානය යි නොඑසේනම් බුද්ධිමහිමය යි. ඔවුනට මගේ හිතේ ඇත්තේ අප්‍රමාණ සෙනෙහසකි. “පිරුණු කලේ දිය නොසැලේ”කියල අපේ පුරාණ ජන කියමනක් තියෙනවානේ .. !!
මා ලොව බොහෝ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයවලට ගිහි / පැවිදි යන මේ අවස්ථාවන් දෙක තුළදීම කරක් ගසා තිබේ . එම “සුන්දර රස්තියාදුවෙන්” මා දැනකියා ගත් හා උගත් දේ අපමණය.
ඒ පිළිබඳව වර්තමානයේ වූවද ඇත්තේ වචනයෙන් කිව නොහැකි තරම් අප්‍රමාණ සතුටකි.

NewYork Book Fair

ලෝකයේ විශාලතම ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන වශයෙන් ජර්මනියේ Frankfurt Book fair , එංගලන්තයේ London Book Fair හා ඇමෙරිකාවේ NewYork Book Fair හදුන්වා දීමට පුළුවනි. මේ කිසිවක් තුළ පාඨකයෝ සෙල්ෆි ඡායාරූප ගැනීමට තම කාලය මිඩංගු නොකරති. මෙහි යටිපෙළ අරුථ වන්නේ “මුළු හදවතින්ම පොතපත පිණිසමයැ” යන්න යි. එසේම එක් පාඨකයකු තවත් පාඨකයකු

කිසිවිටෙකත් බාධාවක් නොවන ආකාරයෙන් හැසිරෙන්නේ ය. අඩුම තරමින් පොත් ප්‍රදර්ශනය ඇතුළත දුරකතන ඇමතුමක් වත් නොගැනීමට ඔවුහු වගබලා ගනිති. යමෙකුට දුරකතන ඇමතුමක් ගැනීමට අවශ්‍ය නම් ඊට ආදාල ස්ථාන සංවිධායකයන් විසින් වෙන්කර තිබේ. කිසියම් පාඨකයකුට මතක සටහනක් වශයෙන් ෆෙල්පි ඡායාරූපක් ගැනීමට අවැසි නම් ඒ සදහා පොත් ප්‍රදර්ශනයේ ආලින්දයේ හෝ දැන්වීම් පුවරු සහිත ඉදිරිපස අවසර දී ඇත්තේ ය.
අපේ රටේ මිනිස්සු ලෝකයේ අනෙක් මිනිස්සුන්ට වඩා බොහෝ වෙනස් ය . එසේම විෂමය.එහෙයින් ලොව කොහේ කොහොම සිදුවූවත් මෙහෙ එසේ සිදුවන්නේ නැත. කෙටියෙන් කියන්නේ නම් ජනාධිපති පොතපත එකතු කළත්, පොත් ප්‍රදර්ශනයට පැමිණියත් ඔහු තුළ ද සංස්කෘතික මිනිසා නිර්මාණය වී නොමැත. ඉතින් අන්‍යයන් පිළිබඳව කවර කතාද ?
අපේ රටේ සමස්ත ගිහි / පැවිදි මේ දෙපිරිසගෙන් බොහෝ පිරිසකගේ හැදියාව නොඑසේනම්

“ආචාර-ධර්ම”
( Attitudes ) පිළිබඳව බරපතල ප්‍රශ්ණයක් ඇත්තේ ය. එසේ නොවී නම් ,
අප මෙහිලා කතාබහ කරන සාහිත්‍යය ක්ෂේත්‍රයේ පමණක් නොව සමස්ත රටම
මීට වඩා බොහෝ සෙයින් සුන්දර රටක් බවට පත්වනු ඇත.
වර්තමානයේ නල්ලමරේ විචාරක අම්මණ්ඩිලා කීපදෙනෙකු ද සාහිත්‍යය විචාරිකාවන් සේ ලේබල් ගසාගෙන මෙම ලුම්පන් ලේඛන කුලකය සමගින් අත්වැල් බැඳගෙන සිටියි. මෙරට එක්තරා රූපවාහිනී සංගීතමය වැඩසටහනක් මෙරට විචාර කලාවට දැන හෝ නොදැනගෙන කරන්නේ මහා විනාශයකි. රූපවාහිනී සංගීත වැඩසටනක් තුළ කිසිවකුගේ කවියක හෝ සිංදුවක හෝ පද කීපයක් කියවා පසුදා “සාහිත්‍යය විචාරිකාවක්” වශයෙන් ද තවත් දින කීපයකින් “ප්‍රවීන” යන ලේබලය ගසා ගන්නා මේ අම්මණ්ඩිලාගෙන් වැඩි දෙනෙකු කිසිදු දිනෙක විචාරය හෝ විචාර කලාව සම්බන්ධයෙන් රචිත පොතපතක්වත් කියවා නොමැති බව පෙනේ. අඩුම තරමින් මෙරට ජාතික පුවත්පතකට හෝ මුහුණු පොත අරබයා විචාරයක්වත් කර නොමැත. එනමුත් “ප්‍රවින” ය. එසේම ඔවුන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “සෙල්ෆි රැජිනයන්” ය. එයට කම් නැත . එය ඔවුන්ගේ පෞද්ගලික කාරණාවකි. අප මෙහිලා කතාකරන්නේ ඔවුන්ගේ ව්‍යාජ සාහිත්‍යය භාවිතය පිළිබඳව මිස පෞද්ගලිකත්වය පිළිබඳව නම් නොවේ. මෙම අම්මණ්ඩිලා කීප දෙනෙකුගේ ඕලාරික රැඟුම් කීපයක් ද මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය තුළින්
දැකගන්නා ලදි.
(අප සාහිත්‍යය තුළින් නව බුද්ධිමය ලොවක් කරා පියනගත්ද , මෙවන් දේ කිසිවිටෙකත් සිදුනොවිය යුතු වන්නේ ය. )

පසුගිය දිනෙක මෙහිලා කියැවෙන එකතරා ප්‍රවීන විචාරක අමණ්ඩියක් විසින් කිසියම් පොතක් ජනගත කිරීමේ උත්සවයක් අරබයා කරන ලද දේශනයක කොටසක් මුහුණු පොතේ මිතුරකු විසින් මවෙත එවන ලදි. අප්පොච්චියෝ .. එහෙම විචාරයක් නම් මා ජීවිතයට අසා නොමැත. විචාරයේ ඇත්තේ තමන්ගේ වෘත්තිය, එහි ඇයට පැවරී ඇති කාර්යභාරය හා තමා මවක් නිසා දරුවන් නතිකර දමා කොළඹ වන් දුරබැහැර ප්‍රදේශයකට පැමිණිම යනාදී කරුණු කාරණා ය. ඕනෑම විචාරකයදී පෞද්ගලිකත්වය බැහැර කොට පොදු කියන කාරණාව ඉස්මතු වන්නේ ය. විචාරයේ මූලීක සිද්ධාන්තවත් මෙම විචාරක අම්මණ්ඩිය නොදනී.මෙන්න … තත්වය.( මීට වඩා ඉහළ විචාරයක් ශිෂ්‍යත්ව විභාගය සදහා සූදානම් වන දරුවකු විසින් කරනු ඇතැයි මට සිතේ. )
ලේඛකයාත් ,පාඨකයාත් ඊටත් වඩා විචාරකයාත් විමංසන බුද්ධියෙන් පොහොසත් විය යුතුය . බුද්ධි හීන මෙවන් විචාරිකාවන් කියාගත් අමණ්ඩිලාගේ සත්‍යය අසත්‍යය මෙන් ද රසය නිරසය මෙන් ද ගැඹුරින් ධාරනය වේ.මෙවන් වූ කිසිදු ශාස්ත්‍රීය පදනමක් නොමැති තුට්ටු දෙකේ විචාරවලින්
හෑල්ලුවට ලක්වන්නේ ද ඉරිතලා යන්නේ ද මෙරට සාහිත්‍යයේ විචාර පක්ෂය නොවන්නේද ?
මෙරට සාහිත්‍යය විචාරයේ ඉතිහාසය යුග වශයෙන් බෙදා වෙන් කර දක්වන්නේ නම්, නූතන යුගයේ ප්‍රථම භාගය 1977 ඉක්බිතිව නිමාවට පත් වන්නේ ය. එහිලා මහා විචාර සම්ප්‍රදායක් බිහි නොවුණත් මහා ප්‍රාමාණිකයන් පිරිසක් විචාර කලාවේ නිරතව සිටි බව පෙනේ. ඔවුන් අතර මාර්ටින් වික්‍රමසිංහ, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මහාචාර්ය සරච්චන්ද්‍ර වික්‍රමසූරිය, මහාචාර්ය හේමපාල විජේවර්ධන, මහාචාර්ය සිරි ගුණසිංහ, මාධ්‍යවේදී රෙජී සිරිවර්ධන, ආචාර්ය ජී .එස්.බී සේනානායක,මහාචාර්ය ඒ.වී සුරවීර, ආචාර්ය ගුණදාස අමරසේකර,
මහාචාර්ය කේ.එන් .ඕ ධර්මදාස,
මහාචාර්ය සුචරිත ගම්ලත් , මහාචාර්ය පියසීලී විජේගුණවර්ධන හා මහාචාර්ය විමල් දිසානායක යනාදිහු කැපී පෙනෙති. ඔවුහු බටහිර කලා විචාර ක්‍රමවේද , භාරතීය සංස්කෘතික කලා විචාර ක්‍රමවේ ද හා මාකස්වාදී හා ට්‍රොස්කිවාදී කලා විචාර ක්‍රමවේද භාවිතා කරමින් මෙරට විචාර කලාව පෝෂණය කරනු පිණිස වැදගත් වැඩ-කොටසක් ඉෂ්ට සිද්ධ කළහ.
මෙවන් ප්‍රාඥයන් සිටි විචාර කලාවක වර්තමාන තත්වයක් කෙබඳුද? ඒ පිළිබඳව වැඩිදුර කල්පනා කිරීම මම ඔබට බාර කරමි.
විශ්ව විද්‍යාලවල කලා විෂයයන් හදාරන දැයේ උගත් දරු දැරියන් තම පසුගාමීත්වය පසෙකලා තව තවත් විචාර කලාව අධ්‍යනය කර මෙරට විචාර කලාව පෝෂණය කරනු පිණිස පැමිණිය යුතුය . එසේ ඔබ නිහඩව සිටින තාක් ඕලාරීක චරිත බඩ පිනුම් ගසනු ඇත. එසේම ඔවුන් පාඨකයන්ගේ බුද්ධියත් සමගින් සෙල්ලම් කරනු ඇත.
වර්තමානයේ වන විට අතේ මිටේ යහමින් මුදල්-හදල් හා මිත්‍ර සම්බන්ධතා ඇත්නම් පොතක් පතක් මුද්‍රණය කරවා ගැනීම එතරම් කජ්ජක් නොවන්නේ ය. මෙමගින් ඉතා අවර ගණයේ පොතපතින් මෙරට සාහිත්‍යය ක්ෂේත්‍රය වැසී ගොස් ඇත්තේ ය. මෙන්න .. මේ නිසාම වර්තමානයේ තමා “කොයි පොතද මිලදී ගන්නේ ද” යන උභතෝකෝටික ප්‍රශ්නයට බහුතර පාඨකයෝ මැදිවී සිටිති. ඊට නිසි විචාර කලාවක් නොමැති වීමද මහත් සේ බලපා ඇති බව පෙනේ. එවන් වූ වාතාවරණයක් තුළ අවරගණයේ පොතපත ඉතා ලේසියෙන්ම පාඨකයාගේ ඇගේ ගසා ගැනීමට මෙම ලුම්පන් ලේඛක කුලකයේ බහුතරයකට ලේසියෙන්ම හැකිය. වර්තමානයේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය
කේන්ද්‍රගතව සිදුවන්නේ එයද එයයි.

කිනම් හෝ පොත් ප්‍රදර්ශනයක් තුළ පාඨකයාට රිසිසේ සැහැල්ලුවෙන් තම අතේ මිටේ තියෙන මුදල් ප්‍රමාණයට අනුව පොතපත ගැනීමට ඉඩ අවස්ථාව ලබාදිය යුතුය. එහිදී ලේඛකයාට කිරීමට කිසිදු කෙංගෙඩියක් නොමැත. ලේඛකයාට තම නිර්මාණයේ ගුණාත්මක පක්ෂය පිළිබඳව ඉහළ විශ්වාසනීයත්වයක් ඇත්නම් පාඨකයා විසින් එම පොතපත අනිවාර්යෙන්ම මිලදී ගනු ඇත. අපේ රටේ නොවුණද ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයක ක්‍රමවේදය වන්නේ එයයි.
වර්තමානයේ කුමන ප්‍රකාශකයෙකු වෙත්ද, ඔහු විසින් අනිවාර්යෙන්ම තමා
ප්‍රකාශයට පත් කරන ඕනෑම පොතක් කිසියම් පිළිගත් සමීක්ෂණ මණ්ඩලයකට යටත් කළ යුතු වන්නේ ය.
එය ප්‍රකාශකයාගේ හා පාඨකයාගේ සුබ සිද්ධිය පිණිසත් සාහිත්‍යයේ ගුණාත්මක
ප්‍රවේශය පිණිසත් ඉතා යහපත් වන්නේ ය.
අනෙක් කාරණාව නම්,මෙරට පොතපත්වලට පෙරවදන් හා පසුවදන් ලියන ජේෂ්ඨ සාහිත්‍යකරුවන්ට හා මහ ඇඳුරන්ට ද ප්‍රබල වගකීමක් පැවරී තිබේ. ඒ කුමක්ද ? එනම් ඒ තමා පෙරවදන හෝ පසුවදන ලියන පොත හා එහි කතුවරයා පිළිබඳව කිනම් හෝ කියවීමක් කිරීමට තමාට කාලය පැමිණ ඇති බවයි. වර්තමානයේ ඔවුන් විසින් එසේ නොකරන බව ඇතැම් පොතපතට තබා ඇති සටහන්වලින් පෙනේ. එක්කෝ ඔවුන් එසේ කරන්නේ මුදලටය නැතිනම් වෙනත් පළ ප්‍රයෝජන පිණිස ය. ( ලුම්පන් ලේඛක කුලකය විසින් තම පොතපත අහිංසක පාඨකයාගේ කරේ ගැසීමට පෙරවදන හා පසුවදන බොහෝ සෙයින් ආභරණයක් කරගන්නා බවද කිවයුතු වන්නේ ය. )
මේවනවිට මෙරට සංස්කෘතික මිනිසා පොෂණය කරනු පිණිස ඇති එකම කලාව වනුයේ සාහිත්‍යය කලාවයි. අනෙක් සියළුම කලාවන් තුළින් වින්දකයා ඉවත්ව ගොස් ඇත්තේ ය. අපේ වාසනාවකට තවමත් කුමන බාධක, කම්කටොළු පැමිණිය ද මෙරට අහිංසක පාඨකයා සාහිත්‍යය අතහැර ගොස් නැත. මෙරට සාහිත්‍යය තුළ නිර්මාණකරුවා , ප්‍රකාශකයා යන මේ දෙකොටසම ස්ථිරසාර පැවැත්මක් ඇත්තේ පාඨකයා ආරක්‍ෂා කර ගැනීම තුළ පමණි. එය මෙරට කොයි කව්රුන් අවබෝධ කර ගැනීම තම තමන්ගේ නිර්මාණකරණයේ අනාගතයට ඉතා සුවදායක බවත් එය 2020 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය තුළින් අපට දෙන විශාලතම පණිවිඩය බවත් මෙහිලා මතක්කර දෙමින් මෙම දිගු සටහනට නැවතීමේ තිත තබමි.
මෙරට බොහෝ දේ ඇති වෙනවාට වඩා නැතිභංගස්ථාන වීමේ සම්භාවිතාව ඉතා වැඩිය. එහෙයින් ලේඛක, පාඨක හා විචාරක යන මේ ත්‍රිකෝණාකාර වූ සුසංයෝගයේ එකමුතුව හා අවධානය අන් කවරදාටත් වඩා වර්තමාන සාහිත්‍යය වෙත යොමුවීම ඉතා වැදගත් වන්නේ ය. නොඑසේනම් උදාවන හෙට මෙරට සාහිත්‍යයට වන්නේ ද අනෙකුත් කලාවන්ට සිදුවූ නස්පැත්තියම බවද සිතට ගැනීම වඩා යහපතකි.
සහෘද ඔබේ බුද්ධියේ විමසුමට…..!!
[ මවිසින් දක්වන ලද කරුණු කාරණා පිළිබඳව කව්රුන් එකඟ නොවූවත් එය මට කිසිසේත් අදාල නොවේ. දකින් දේ එතුළින් සිතට දැනෙන හා හැඟෙන දේ නිර්ව්‍යාජව ලියා තැබීම ලොකු බරකින් නිදහස් වූවා සේය . ඒ තෘප්තිය කොයි දේටත් වඩා ඉතා වටී. ]

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

සබැදි පුවත්(ලිපියේ මුල් කොටස පහතින් )

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

4 thoughts on “2022 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පිළිබඳව පසුවිපරමක් – 2 !!

Leave a Reply

Your email address will not be published.

Previous post “පුතත් ගහලා පුතාටත් ගහලා තියනවා – පුතා රජයේ වාහනයක් ගෙනිහින්”
Next post ලිවීම පිළිබඳ ඇති අවංකභාවය ‘සෝබනකාරයා’ ගේ පිටුවක් නෑර මුණ ගැසෙයි