සැප්තැම්බර් 24 ගැන ජනතාවාදී සාක්කියක් !

Read Time:7 Minute, 38 Second

ලිප්ටන් වටරවුමට ජනයා පෙළගැසෙමින් සිටියා. පක්ෂ භේදයකින් තොර සත්‍යවාදී යව්වන යව්වනියන්ගේ සිනාවන් රැව් දුන්නා. ආදරණීය සෙල්ෆි සේයා රූ ජංගම දුරකථන මත සටහන් වෙමින් තිබුණා. සමාජවාදී තරුණ සංගමයේ නායකයන් සංවිධාන කටයුතුවලට යුහුසුළු වන අතරේ, ඊට ප්‍රතිවාදීව මිලිටරි බල ඇණි සතර වටින් තර කරනු ලබමින් තිබුණා.
පස්වරු 3.00 පහුවෙනකොට පෙළපාලිය ඇරඹුණා. සටන් පාඨ පුවරු එසවුණා. බැනරයන් දිගහැරුණා. යව්වන සිහින වළ දැමූ, රටම වළපල්ලට අද දැමූ රනිල් – රාජපක්ෂට එරෙහි සටන් පාඨවලින් ඇස්වාට්ටුව වටරවුමට ඉහළ අහස ගිගුම් දුන්නා. ඩීන්ස් පාරේ ටික දුරක් යන විට මිලිටරි වළල්ල පාර අවහිර කළා. මේ අවනීතික අවහිර කිරීමේ පදනම කුමක්දැයි ප්‍රශ්න කිරීමට වගකිවයුතු නිලධාරියෙක් සිටීදැයි එරංගලා වටගලලා විමසමින් සිටින අතරේ…
අනපේක්ෂිත මොහොතක ප්‍රහාරය එල්ල වුණා.

මහපාරේ සටන පටන් ගත්තා. ආයුධ සහ නිරායුධ මිනිස් පවුරු දෙකක් එකිනෙක ප්‍රතිමුඛව සිටියා. පළමු වටයේ අධිබලැති ජල ප්‍රහාර එල්ල වුණා. දෙවැනි වටයේ කඳුළු ගෑස් ඊට එක්වුණා.එහෙත් ධෛර්යවන්ත මනුස්ස පොකුර පසුබැස්සේ නැහැ. නිරායුධ අරගලයට පහර දෙන්න එන්න එපා ! අපි කෑ ගැහුවා. ඊට පිළිතුරු ලෙස ම්ලේච්ඡ බැටන් ප්‍රහාරය ආරම්භ වුණා.
තාරක බස්නායක ගත්ත මේ පින්තූරයේ ඔරලෝසුව බලන්න. වෙලාව, 3.35 යි. පෙළපාලිය ආරම්භ වී පැය භාගයක් යන්නට මත්තෙන්, ඊනියා අධි ආරක්‍ෂිත කලාප රකින්නට යැයි කියමින් – තිරිසන් ලෙස ප්‍රහාර එල්ල කරමින් – විරෝධතාකාර සොයුරු සොයුරියන් පොකුරු පිටින් අත්අඩංගුවට ගැනීමට පටන් ගත්තා. මේ මොන යුක්තියක්ද ? අපි කෑ ගැහුවා. ඊට පිළිතුරු ලෙස බස් රථවලට පටවනු ලැබුවා.

කොම්පඤ්ඤ වීදිය, මරදාන, වෙරළබඩ, කොටුව යන පොලිස් ස්ථාන හතරක් සටන්කාමී මිනිසුන්ගෙන් පිරී ඉතිරී ගියා. තුවාල ලැබූවන් රෝහල්ගත කෙරුණා. නීතිඥ සහෝදරත්වය ඇතුළු සකලවිධ දේශපාලන සහෝදරත්වය අත්අඩංගුවට පත්වූවන් ගැන ඉතා උවමනාවෙන් සොයා බැලුවා. පොලිසිය ගැසූ ආකාරය ගැන පොලිසියම කට උත්තර ගත්තා.
සාහසික පොලිස් ප්‍රහාරය සිදු වූ හැටි ගැන මොහොතක් නෑර හැම සහෝදරයෙක්ම සහෝදරියක්ම කොන්ද කෙළින් තියාගෙන දුන්න කට උත්තර, පොලිසි හතරක නිලධාරීන් නිලධාරිනියන් කොන්ද නමාගෙන අකුරක් නෑර ලියාගත්තා. එකම පන්තියක් ගැන එකම කතාවක් එක් පිරිසක් කියන විට අනෙක් පිරිස ලියාගත්තා. එක් පිරිසකගේ ඇඟිලි සලකුණු මතු ප්‍රයෝජනය පිණිස අනෙක් පිරිස තියාගත්තා.

රාජ්‍ය මර්දනයේ ලේ වැකි ඉතිහාසය එක්ක ගත්තම මේ පැය 24 ඉතා පුංචි බව අපි දන්නවා. ලෝකය වෙනුවෙන් ජීවිත පුදදුන් මිනිස්සු ඉතිහාසයේ ඉන්නවා. වසර ගණන් සිරබත් කෑ මිනිස්සු ඉතිහාසයේ ඉන්නවා. ඒ ධෛර්යවන්ත යෝධ මිනිසුන්ට හිස නමන අතරේ අපිත් වර්තමානයෙන් යමක් ඉගෙන ගන්නවා.

සටනක සාමුහිකත්වය වගේම මර්දනයේදී නිර්මාණය වන විස්මිත සාමුහිකත්වය විසින් අපට ජීවිතය උගන්වනු ලබනවා.
මිනිසුන්ට මිනිසුන් ලෙස පැයක්වත් ගතකළ නොහැකි දුගඳ හමන අපිරිසිදු සිර මැදිරි, දෑතට දැමූ මාංචු සහ දරුණු අපරාධකරුවන් ලෙස සළකමින් හරව හරවා ගත් ඡායාරූප, අපේ මතකයන්වල තියෙනවා. කොම්පඤ්ඤ වීදිය ස්ටේෂමෙන් පිටත්වෙන දුම්රියවල නළා හඬ පවා අපේ මතක ගබඩාවල තියෙනවා.

තොරතුරු තාක්ෂණය මෙතරම් දියුණු කාලයක, එකම තොරතුර සිය සැරයක් කඩදාසිවල ලියා ගන්නා ගතානුගතික රාජ්‍ය යාන්ත්‍රණය ගැන සජීව අද්දැකීම් අපේ මතකයන්වල තියෙනව.

දහතුන් දෙනෙකු 12×12 වැනි ඉඩක් සහිත කූඩුවක දැමූ පසු, නිදිවර්ජිත රාත්‍රියක පැය හයක් එකදිගට, පොලීසියක් හොල්ලමින් සමූහයක් හැටියට ගී ගයන්නේ කෙසේදැයි මේ ලියුම්කරු ඉගෙන ගත්තා. අපේ කූඩුවේම ස්වේච්ඡාවෙන් සිරගතව සිටි කැරපොත්තන් සහ මීයන් ඒ ගී හඬට කැමති වුණාදැයි අප දන්නේ නැහැ. හැබැයි, දවස් ගණනක් තිස්සේ එකදිගට සිරගතව සිටින වසන්තලා කන කට්ට ගීතයක් තරම් සුන්දර නැති බව අපි දන්නවා.

මහා මෙරක් ලෙසට හිතේ උපන් බරට හඬා දොඩා පළ නොලබන හින්දා, උදා ළහිරු විලස සිනාමලක් මුව අද්දර රන්දාගෙන පෙනී ඉන්න පුළුවන් විදිහෙ සාමුහික ධෛර්යවන්තකමක කොටස්කාරයෝ වෙන්න අපට පුළුවන් වුණා. මොකද, විදු නැණයෙන් අබිසෙස් ලබන ලෝකයක අපට පමණක් එක තැන කැරකෙන්න බැරි හින්දා.

නිදිවර්ජිතව සිට ඇත්තේ අප පමණක් නොවන බව දැනුණේ තේරුණේ එළියට ආ පසුයි. නාඳුනන සොයුරු සොයුරියන් ගත් සේයා රූ වීඩියෝවලින් සමාජ මාධ්‍ය ජාල පිරී ඉතිරී ගොස් ඇති බව දැනගත්තේ පසුවයි. අප වෙත ආදරය දැක්වූවන් සටනට ආදරය දැක්වූවන් ලියූ සියගණනක් සටහන්වලින් සමාජ මාධ්‍ය ජාල පිරී ඉතිරී ගොස් ඇති බව දැනගත්තේ පසුවයි. ම්ලේච්ඡ ප්‍රහාරය හෙළාදකිමින් දෙස් විදෙස් දහස් සංඛ්‍යාත සහෝදරත්වය හඬ නගා ඇති සැටි දැක ගත්තේ පසුවයි.

ඒ සියලු සහෝදර සහෝදරියන්ට හිස නමා ගෞරවාදරය පුදකරන්නට හොඳම අවස්ථාව මේක. දැන් මේ සාක්කිය අවසන් කරන්නට ඉඩ දෙන්න. ගැරහුම්වලින් අහේතුකව වැහැරෙන්නේ නැතුව ඉන්න වගේම ඇගැයුම්වලින් නිස්කාරණේ පිම්බෙන්නේ නැතුව ඉන්න එකත් එක වගේ වැදගත් බව අපි දන්නවා. වීරත්වය සාමුහිකයි. ඒ අවබෝධය සහිතව, යුක්තිය සාධාරණය පැත්තේ හෙටත් අපි හිටගන්නවා. එක දශමයකින් ආපසු හැරෙන්නේ නැහැ !

හදවතේ උතුරන ආදරය හැර වෙනත් වත්කමක් අප සතුව නැහැ. ඉතින්.. ආදරණීය මිනිසුනි, වෙන මොනවා නැතත් ආදරය දෙන්නම් ඕන තරම් ! ළඟට එන්න.. අපට ඔබව වැළඳගන්න ඕන.. උණුසුම්ව වැළඳගන්න ඕන !! ඔව්.. අපි මේ සටන දිනමු !!!

විමල් කැටිපෙආරච්චි

2022 සැප්තැම්බර් 27

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

7 thoughts on “සැප්තැම්බර් 24 ගැන ජනතාවාදී සාක්කියක් !

Leave a Reply

Your email address will not be published.

Previous post ඉතාලිය මිල්ලෙ සොයා ආපසු යයිද? ‍
Next post අයි එම් එෆ් එකඟතා මත ව්‍යාපෘති අධීක්ෂණ කමිටුවක් !