ඉතාලිය මිල්ලෙ සොයා ආපසු යයිද? ‍

Read Time:14 Minute, 33 Second

ඉතාලියට පළමු වරට කාන්තා අගමැතිනියක් බිහිවන බව දැන් පැහැදිලියි. ඉරිදා (සැප්තැම්බර් 25) පැවති මහා මැතිවරණයෙන් 45 හැවිරිදි ජෝර්ජියා මෙලෝනි ඉදිරියෙන් සිටිනවා. නමුත් ඇයගේ ජයග්‍රහණය ඉතාලියට පමණක් නොව සමස්ත යුරෝපා කලාපයේම භූ දේශපාලනය තුළ යම් තිගැස්මක් ඇති කර තිබෙන බව කියන්නට පුළුවන්.

කෙටියෙන් කිව්වොත් මෙලෝනි යනු පත්වීමට නියමිත එරට පළමු අගමැතිනිය පමණක් නොවෙයි. දෙවන ලෝක යුද්ධයෙන් පසු බිහිවන පළමු අන්ත දක්ශිණාංශික ආණ්ඩුව හදන්නේත් ඇයයි. මෙතෙක් කාලයක් ඉතාලියේ තිබූ සම්ප්‍රදායික දේශපාලනයට ඇය විසින් නැවතීමේ තිත තබා තිබෙනවා. එක් පැත්තකින් නොවෙයි. හැම දිශාවකින්ම පහර දී ඉතාලි දේශපාලනයේ ඝණ වීදුරු සීලිම පුපුරා හැර තිබෙනවා.

මෙලෝනිගේ දක්ෂිණාංශික සන්ධානය මැතිවරණයෙන් ලබාගන්නා ලද ඡන්ද ප්‍රතිශතය 43%ක්. එකී සන්ධානයට ඇයගේ ෆ්‍රතෙල්ලි දි ඉතාලියා (Brothers of Italy) පක්ෂයට අමතරව තවත් පක්ෂ දෙකක් ඇතුළත්.

මත්තේයෝ සල්විනිගේ ලීග් පක්ෂයත්, සිල්වියෝ බෙර්ලුස්කෝනිගේ ෆෝර්ස ඉතාලියා (Forca Italia) පක්ෂයත් මෙ වර මෙලෝනිට සහයෝගය දැක්වූවා. මේ තුන් කට්ටුවේ දක්ෂිණාංශික සන්ධානය සෙනට් සභාවේ ආසන 114ක් දිනාගෙන තිබෙනවා. නමුත් බහුතරය පෙන්වීමට අවශ්‍ය වන්නේ ආසන 104ක් පමණයි.

මේ අතරින් මෙලෝනිගේ Brothers of Italy පක්ෂය කැපී පෙනෙනවා.ඔවුන් 26%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලැබූ තනි පක්ෂය ලෙස ඉදිරියෙන් සිටිනවා. ඉතාලියේ ප්‍රධානතම මධ්‍ය වාමාංශික පක්ෂය වූ Democratic පක්ෂය (PD) මේ වන විට තම පරාජය පිළිගෙන තිබෙනවා.

මෙලෝනිගේ ජයග්‍රහණය ඉතාලිය කෙසේ භාර ගත්තත් ඇයගේ අන්ත දක්ෂිණාංශික නැඹුරුවීම් නිසා සෙසු ලෝකය යම් මිශ්‍ර හා කැළඹිලි සහගත භාවයකට පත්ව තියෙනවා. මැතිවරණ ප්‍රථිපලය කළින්ම අනුමාන කර තිබුණත් යුරෝපා සංගමයේ නායකයන්ටනම් ඉතාලියේ සිදුවෙමින් පවතින මේ වෙනස සුභදායී නැහැ. ඔවුන් ඊට ඒ තරම් මනාපත් නැහැ. දශක දෙකකටත් වඩා වැඩි කාලයක් සංයමෙන් හා සමතුලිතව පවත්වාගෙන ආ යුරෝපා සංගමය මෙලෝනි වගේ දඩබ්බර කෙල්ලෙකු නිසා දෙදරා යෑවිදැයි ඔවුන්ට ඇති සැකය අසාධාරණ නැහැ.

යුරෝපා සංගමයේ සභාපතිනිය වූ උර්සුලා වොන්ඩර් ලෙයන් දැනටමත් තර්ජනාගුලියක් ඔසවා තබා තිබෙනවා.

“හොඳයි බලමු. කට්ටිය වෙන වෙන පැතිවල යනවනම් අපිට ඒවට වෙනස් වෙනස් උපක්‍රම තියෙනවා”

හංගේරියාව හා පෝලන්තය සම්බන්ධයෙන් යුරෝපා සංගමය අනුගමනය කරන උපාය මාර්ග උදාහරණයට දක්වමින් වොන්ඩර් ලෙයන් මැතිණිය පසුගියදා රෝමයේදී පවසා කියා සිටියා.

අගමැති වික්ටර් ඕර්බන් 2010 සිට හංගේරියාව පාලනය කරනවා. ඔහු යුරෝපා සංගමය තුළ ඉන්න ගමන්ම ඔවුන්ව දැඩිව විවේචනය කරන නායකයෙක්. ඒ වගේම ඇමෙරිකානු ව්‍යාප්තවාදයටත්, බටහිර ප්‍රජාතන්ත්‍රවාදයටත් ඔහුගේ ඒ තරම් මනාපයක් නැහැ. ඒ වගේම යුරෝපා සංගමයට අයත් පෝලන්ත‍යේ ජනාධිපති අන්ද්‍රියස් ඩූඩා කියන්නෙත් අන්ත දක්ෂිණාංකික නායකයෙක්. ඔවුන් දෙදෙනාම තමන්ගේ දඩබ්බර සහෝදරයන් විදියට තමා යුරෝපා සංගමය සළකන්නේ. නමුත් කොහොම හරි සියළු දෙනා අවසානයේ පොදු යුරෝපා ආර්ථිකයක් වෙනුවෙන් එක්ව ගමන් කරනවා.

ජෝර්ජියා මෙලෝනි එදා සිටම නව ෆැසිස්ට්වාදී දේශපාලනය කෙරෙහි ආකර්ෂණය වී සිටි බව පැහැදිලියි. ඇය ඉතාලි සමාජ ව්‍යාපාරය හෙවත් මූමෙන්තෝ සෝෂාලේ ඉතලියානෝ (Italian Social Movement -MSI) ට බැඳී ඇත්තේ අවුරුදු 16 දී. MSI කියන්නේ ඉතාලියේ හිටපු ෆැසිස්ට්වාදී ආඥාදායකයාගේ මරණයෙන් පස්සේ ඔහුගේ අදහස් කරපින්නා ගෙන ගිය ගෝල බාලයන් විසින් නිර්මාණය කරපු දේශපාලන ව්‍යාපාරය.

මෙලෝනි දැඩි ජාතිකවාදියෙක්. දේශපාලනයේදී පළමුවත්, මව්බිම,දෙවනුවත් මව්බිම, තෙවනුවත් මව්බිම යනුවෙන් හොඳටම පපුවට ගහගන්නේ මෙලෝනිගේ පක්ෂය තමයි. ඒ නිසාම දේශප්‍රේමයෙන් කුරුවල් වෙච්චි තරුණ පරපුර ඇය වෙනුවෙන්ම ඡන්දපොළට ගියා. 2018 දී සියයට හතරට කුජීත වෙලා හිටපු මෙලෝනිගේ ඉතාලි සහෝදරයෝ අද ආණ්ඩු බලය අල්ලන තැනට ඇවිත්.

මෙලෝනිත් සමඟ එක්ව සිටින ඇයගේ දේශපාලන හවුල්කරුවන් දෙදෙනා අළුත් මුහුණු නෙවෙයි. මත්තේයෝ සල්වීනි ඉතාලියේ පමණක් නොවෙයි යුරෝපාකරයේම කැපී පෙනෙන අන්ත දක්ශිණාංශික නායකයෙක්. ඔහුගේ ලීග් පක්ෂය එක් යුරෝපයක් ප්‍රතිපත්තියට විරුද්ධයි. යුරෝ වෙනුවට මිල්ලෙ සොයා ආපහු යන ගමනක් ගැන ඔහු කියනවා. ඉතාලිය යුරෝපා සංගමයේ නිලබල අධිකාරීත්වයෙන් මුදවා ගන්නා Italy First සංකල්පයක් ගැන ඔහු සිහින දකිනවා. මධ්‍ය වාමාංශික නායකයෙකු වූ ජුසෙප්පෙ කොන්තෙගේ අගමැති ධූරය සහිත සභාග ආන්ඩුවේ උප අගමැති හා අභ්‍යන්තර කටයුතු ඇමති වරයා ලෙස කටයුතු කළේ සලිවිනි. ඒත් බොහෝ අය කියන්නේ ඒ ආණ්ඩුවේ නිල නොලත් නායකයා De facto Leader වුණේ සල්විනි බවයි.

ඒ වගේම ඉතාලිය සාමාන්‍යයෙන් අනුගමනය කරපු ලිහිල් සංක්‍රමණික ප්‍රතිපත්තිටත් ඔහු තදින්ම විරුද්ධයි. Time සඟරාව විසින් වරක් සල්වීනිව හැඳින්වුවේ “යුරෝපයේ නව මුහුණුවර” (New Face of Europe )ලෙසයි. දැන් මෙලොනිගේ තුරුල්ලේ සිටියාට ලීග්වාදීන්ගේ අරමුණ තමන්ගේ අන්ත දක්ෂිණාංශික නායකයා හැකි ඉක්මණින් රටේ අගමැතිවරයා බවට පත්කිරීමටයි.

අනිත් හවුල්කාරයා තමයි සිල්වියෝ බෙර්ලුස්කෝනි. ඹහු හතර වතාවක් ඉතාලියේ අගමැති වුණා. බෙර්ලුස්කෝනි ඉතාලියේ ඉන්න අංක එකේ ධන කුවේරයා වශයෙනුත් සැළකෙනවා. සමහරු ඔහුව Cavaliere කියලත් හඳුන්වනවා. ඉතාලි භාෂාවෙන් එහෙම කියන්නේ සිටුවරයට.ඒ වගේම ඔහු මධ්‍ය දක්ෂිණාංශික Forsa Italia පක්ෂයේ නායකයා. දැන්නම් වයස අවුරුදු 86යි. ඔහුගේ පෞද්ගලික ජීවිතයේ විවිධ කයි කතාන්දර තිබුණත් මේ ලිපියට ඒව ගාව ගන්නේ නැහැ. නමුත් අපචාර චෝදනා හා දූෂණ චෝදනා නිසා කිහිප වරක්ම නීතිය ඉදිරිටය ගියා.

බෙරලුස්කෝනි මහතා පැරදිලා ගෙදර ගිහින් ටික කාලෙකින් ෆීනික්ස් කුරුල්ලා වගේ ආයෙත් උඩට එනවා. ඔහුට අයිති දැවැන්ත මාධ්‍ය ජාලයත්, මුදල් බලයත් නිසා ඔහුව ඉතාලි දේශපාලනයෙන් ඉවත් කිරීම පහසු නැහැ. කෙසේ නමුත් බෙර්ලුස්කෝනිගෙ පාලනයන් යටතේ ඉතාලියේ ආර්ථිකය දියුණු වූ බවත් නොරහසක්.

දැන් ආපසු මෙලෝනිගේ පැත්තට හැරුණොත් ඇයගේ ප්‍රතිපත්ති ශ්‍රී ලාංකිකයන් වු අපටත් දැඩි බලපෑමක් කරන බව පෙනෙන්නට තිබෙනවා.විශේෂයෙන් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට. යුරෝපයේ පැහැදිලි ලාංකික ඩයස්පෝරාවක් ඉන්නේ ඉතාලියේ. ඒ නිසාම ඉතාලිය හා බද්ධ වූ ආර්ථිකයක් අපේ රටේ තිබෙන බව කවුරුත් දන්නවා.

නව අගමැතිණිය දැඩි සංක්‍රමණ විරෝධියෙක් බව ප්‍රසිද්ධයි. මධ්‍යධරණී මුහුද ඔස්සේ තම රටට අනවසර සංක්‍රණිකයන් රැගෙන එන බෝට්ටු හා යාත්‍රා අප්‍රිකානු මහාද්වීපයට හරවා යවන ලෙස ඇය ඉතාලි නාවික හමුදාවට කළින් යෝජනා කර තිබුණා.

විදේශික දෙමව්පියන්ට දාව ඉතාලියේ උපදින දරුවකුට ඉතාලියේ පුරවැසිභාවය ලබාගැනීමට හැකි නීතියක් දැනට තිබෙනවා. මෙලෝනිගේ දක්ෂිණාංශික සන්ධානය මීට දැඩිව විරුද්ධයි. ඒ වගේම ඉතාලියේ ජීවත්වන විදේශිකයන්ට ලැබෙන සුබසාධක පහසුකම් කප්පාදු කිරීමටත් ඔවුන් බලාපොරොත්තු වෙනවා.

යුරෝපා සංගමය සම්බන්ධයෙන් හංගේරියානු අගමැතිවරයාට ඇති නො මනාපය මෙලෝනිට අනුව සාධාරණයි. අනිවාර්යයෙන්ම මේ දෙදනා ඉදිරියේදී යුරෝපා සංගමය තුළ එක්ව කටයුතු කරාවි. එම තත්ත්වය යුරෝපා සංගම් නායකයන්ටනම් දැඩි හිසරදයක්. ඉතාලිය කියන්නේ හංගේරියාව නොවෙයි. එය යුරෝපයේ තුන්වැනි ආර්ථිකය. ඒ වගේම ලොව ප්‍රමුඛ පෙළේ කාර්මික රටක්. G7 කණ්ඩායමේ ද සාමාජිකයෙක්. මෙලෝනි දිගින් දිගටම කියන්නේ යුරෝපා සංගම් (EU) ප්‍රතිපත්ති ඉතාලියේ අභිලාෂයන් අභිබවා නොයා යුතු බවයි.

මෙලෝනිගේ Brothers of Italy පක්ෂ නිල ලාංජනයේ ඉතාලි ජාතික කොඩියේ ඇති රතු,සුදු හා කොළ පාට තුනෙන් නිර්මාණය කරන ලද ගිනි දැල්ලක් දක්නට ලැබෙනවා. මෙම ගිනි දැල්ල උකහා ගෙන තිබෙන්නේ Italian Social Movement -MSI) සංවිධානයේ ලාංජනයෙන්. මෙම ජාතිවාදී ගිනි දැල්ලෙන් නිරූපනය කරන්නේ දෙවියන් පවුල සහ පීතෘභූමිය (God, Family, Fatherland) යන පැරණි ෆැසිස්ට්වාදී සංකල්පය. ගාඩියන් පුවත්පත වාර්තාකරන ආකාරයට ඇය එම සංකේතය තම පක්ෂයේ නිල ලාංජනයෙන් ඉවත් කිරීම තදින්ම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

“මම සාමාන්‍ය පවුලට එකගයි. සමලිංගික (LGBT)පවුල් කන්න ඉඩදෙන්නෙ නැහැ. ලිංගික අනන්‍යතාවයට එකගයි. ස්ත්‍රී පුරුෂවාදයට ඉඩක් නැහැ. දේශසීමා ආරක්ෂාවට ප්‍රමුඛතාව දෙනවා. නමුත් ඉස්ලාම් ප්‍රචණ්ඩත්වයට කිසිදු ඉඩක් දෙන්නේ නැහැ. මහා පරිමාණ සංක්‍රමණවලට ඉඩක් නැහැ. මහා පරිමාණ ජාත්‍යන්තර මූල්‍ය වැඩක් නැහැ. බ්‍රසල්ස් (EU) අධිකාරීවාදයටත් මින් පසු අපෙන් ඉඩක් නැහැ”.

මෙලෝනියා මැතිරවරණ රැළියකදී දැඩිව ප්‍රකාශ කර තිබුණා.

කෙසේ නමුත් මෙලෝනිගේ ආණ්ඩුව රඳා පවතින්නේ සල්විනිගේ හා බෙර්ලුස්කෝනිගේ සහයෝගය මතයි. ඒ දෙදනොම ඉතාලි දේශපාලනයේ හොදින්ම තෙම්පරාදු වූ අංකූරන් දෙදෙනෙක්. බෙර්ලුස්කෝනි වයසට ගියත් තවමත් මුල් පුටුවට පැමිණීමේ අදහස අතහැරලා නැහැ. නමුත් වඩාත් තීරණාත්මක සාධකය තමයි මත්තේයො සල්විනි. ඔහු බෙර්ලුන්කෝනි මෙන් මධ්‍යස්ථ නායකයෙක් නොවෙයි. මෙලෝනිටත් වඩා අන්ත දක්ෂිණාංශික නායකයෙක්. කාලයක් ඔහුව “රජුන් තතන්නා”යන අනවර්ථ නාමයෙනුත් හැඳිනිවූවා. සල්වීනි මුළු යුරෝපාකරයේම දක්ෂිණාංශික පාලනයක් ඇතිකිරීම කෙරෙහි දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කරන බව පෙනෙනවා.

යුක්‍රේන-රුසියා අර්බුදය සම්බන්ධයෙන් සල්විනි හා බෙරුලුස්කෝනි දරන්නේ මෙලෝනිට පරස්පර මතයක්. ඒ දෙදෙනාම දැඩ් පූටින් වාදීන් ලෙසයි සැළකෙන්නේ. යුරෝපා සංගමය විසින් රුසියාවට පනවන ලද ආර්ථික සම්බාධක වහාම ඉවත් කර ගත යුතු බවයි සල්විනි හා බෙර්ලුස්කෝනි පවසන්නේ. නමුත් මෙලෝනි තවමත් යුක්‍රේනය වෙනුවෙන් දැඩිව පෙනී සිටිනවා. අනිත් පැත්තෙන් ඉතාලියේ සම්ප්‍රදායික නායකයන් ඉවතට විසි වීමටත් යුක්‍රේන අර්බුදය විසින් ඇති කළ ආර්ථික හා බලශක්ති පීඩනය තදින්ම බලපා ඇති බව කියන්න පුළුවන්.

සල්විනි හරහා ඉතාලිය තමන් වෙත නංවා ගැනීමට රුසියානු ජනාධිපතිවරයාට යම් ඉඩකඩක් විවර වී තිබීම තමා මෙහි නොපෙනෙන පැතිකඩ. මුසොලිනී මෙන් ප්‍රබල නායකයෙකු ලෙස ගොඩනැගීමට සල්විනීගෙ ඇති කැමැත්ත පූටින් විසින් නිරීක්ෂණය කර ඇති බවට සැකයක් නැහැ. ඒ ඔස්සේම එක් යුරෝපයක් ප්‍රතිපත්තියට බාධා එල්ල කිරීමට ඉතාලියේ අන්ත දක්ෂිණාංශික ආණ්ඩුවේ හවුල්කරුවන් භාවිතා කිරීමට රුසියාවට පුළුවන්.

කොහොම නමුත් ඉතාලියේ කලින් ආණ්ඩු වගේම මේ හවුල් ආණ්ඩුවත් කෙතරම් කලක් පැවතේදැයි කියන්න බැරි තරම්.

ශානක ලියනගම (ලෝකය එකම යායක්)

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

One thought on “ඉතාලිය මිල්ලෙ සොයා ආපසු යයිද? ‍

Leave a Reply

Your email address will not be published.

Previous post අධි ආරක්ෂක කලාප නම් කිරීම නීති විරෝධියි ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්
Next post සැප්තැම්බර් 24 ගැන ජනතාවාදී සාක්කියක් !