2022 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පිළිබඳව පසුවිපරමක්!

Read Time:11 Minute, 17 Second

2022 – වර්ෂයේ සැප්තැම්බර් මස ( සාහිත්‍යය මස ) පවත්වන ලද කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඊයේ(25) දින නිමාවට පත්වූයේ ය. එහි සාර්ථකත හෝ අසාර්ථකත්වය පිළිබඳව කිසිවක් කීමට මම නොදනිමි. එනමුත් එයින් විශද කරන සාධනීය හා අසාධනීය කරුණු කාරණා කීපයක්ම තිබෙන බව නම් සැබෑය. ඒ පිළිබඳව කෙරෙන පසුවිපරමකි මේ … !!

පළමුව මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඉතා සාර්ථක ආකාරයෙන් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා පොත් ප්‍රදර්ශකයන්ගේ සංගමයට අපගේ ගෞරව ප්‍රණාමය පුද කළ යුතුය.ඔවුන් මෙවර එය සංවිධානය කරන ලද්දේ අවිනිශ්චිතයි දේශපාලන, සමාජීය හා ආර්ථික පසුබිමක හිඳ බව කාටවත් අමුවෙන් කිවයුතු නැත. එහිලා මහත් අභියෝග හා දුෂ්කරතා මධ්‍යයේ වුවද ඔවුන් විසින් එය ඉතා ඉහළින් සංවිධානය කිරීමම වෙසෙසින්ම අගය කළ යුතු කාරණාවක් වන්නේ ය.

තවත් ආකාරයකින් මෙරට සුවහසක් සාහිත්‍යය ලෝලීන්ට දිගු නිහැඩියාවකින් ඉක්බිතිව අත්විඳින්නට තිබුණු වටිනා අවස්ථාවක් වශයෙන් ද මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සදහන් කිරීම යුක්ති-යුක්ත වන්නේ ය. 2020 වර්ෂයේ ජනවාරි මාසයේ සිට ලෝකය මෙන්ම රටක් හා ජනතාවක් වශයෙන් අප ගෙවා දමන ලද්දේ පියවි ඇසට නොපෙනෙන එසේම අප ජීවිතයේ දී අන් කවරදාවත් අත් නොදුටු ඉතා භයානක විෂබීජයකට මහත් බයකිනි. එය තවත් අතකින් අපගේ ජීවිතයත් මරණයත් අතර දෝලනය වන කාලවකවානුවක් විය. එවන්වූ ඉතා බැරෑරුම් කාලවකවානුවක් තුළ කුටුම්භගත ජීවිතයක් ගතකළ අපට ඉක්බිතිව මුහුණු දෙන්නට සිදුවූයේ ලොව කිසිදු රටකට පශ්චාත් කොවිඩ් 19 සමය තුළ මුහුණදෙන්නට සිදුවූ නොවූ මහා දේශපාලන චණ්ඩ මාරුතයකට ය. එය කුමක්ද යන්න එකින් එකට විස්තර කිරීමට මා කාලය මිඩංගු නොකරන්නේ එය ඉතා අමිහිරි අත්දැකීම් සමුදායක එකතුවක් නිසාත් ඒවා එකින් එක සදහන් කිරීමෙන් මෙම සටහන අනවශ්‍ය ආකාරයෙන් දිගුවන නිසාත් ය.

මෙම දේශපාලන චණ්ඩ මාරුතය හමුවේ අපගේ සංස්කෘතික මිනිසා ජීවත් කරවීම තියා අපේ දෛනික ජීවිතයවත් හරිහැටි ගැටගසා ගැනීමට නොහැකි තත්වයකට අප ඇඳවැටුණි. කෑම-බීම ඇතුළු අත්‍යාවශ්‍යය ද්‍රව්‍යය පසයා ගැනීමට අමතරව අපට ඉන්ධන-ගෑස් පෝලිම්වල දින-පැය ගණනින් තැපීමට සිදුවිය. පාරවල් පුරා පෝලිම් අපගේ දෙනෙතට සුලභ දසුනක් විය. කෙටියෙන් කිවහොත් පුරුවේ කළ පිනකට කොවිඩ් 19 අපගේ පණ කෙන්ඳ බේරා ගත්තද රටක් හා ජාතිකයක් වශයෙන් අප වැටුනේ කබලෙන් ලිපට බව කිවයුතුය. .

මෙරට සාහිත්‍යය හා කලාව එදා මෙදාතුර පෝෂණය කරන ලද්දේ මධ්‍යපාන්තික ප්‍රජාව විසින් බව මා නිතර කියන කාරණාවකි.එය සතාථ කරනු පිණිස අටුවාටික-ටිප්පනි අවශ්‍ය නැත. මෙරට ඇතිවූ මහා කඩාවැටීම් හා හෙටදින පිළිබඳව අවිනිශ්චිතභාවය හා ව්‍යකූලත්වය තුළ එම ප්‍රජාවට මුහුණ දෙන්නට සිදුවන ආර්ථික පීඩනය සුළුපටු නොවේ.කෑම- බීම, බෙහෙත්- එහෙත් යන තම මූලික අවශ්‍යතා සපුරා ගැනීමම අපට මහත්වූ අභියෝගය වූයේ ය. කෑම – බීම හා බෙහෙත්- එහෙත්වල මිල ගණන් ඉහළ ගියේ ඒවායේ නව මිල ගණන් අසනවිට අපට එළොව පොල් පෙනෙන තරමිනි. එවන් වූ වාතාවරණයක් හමුවේ පොතපත ප්‍රමුඛ තම සංස්කෘතික මිනිසා නඩත්තු කිරීම තියා ඒ පිළිබඳව සිතීමටවත් ආපට කිසිදු ඉස්පාසුවක් නොවීය .

මෙන්න .. මෙවන් වූ ඉතා ව්‍යකූල හා අභියෝගාත්මක කාලවකවානුව තුළ තමයි 2020 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ආරම්භ වන්නේ !!.

මෙම පොත් ප්‍රදර්ශනය අන් කවරදාටත් වඩා වෙළද හා පාඨක යන දෙපිරිසටම මහත් අභියෝගයක් වූ බව ආයේ පුනපුනා කිවයුතු නොවේ. එහිලා පාඨකයන්ගේ පැත්තෙන් බලන කල්හි පොත් ප්‍රදර්ශනයට සහභාගී වීමම මහත් අභියෝගයක් වූ බව නිසැකය. මෙය වඩාත්ම බලපෑවේ බස්නාහිර පලාතෙන් පිට පලාත්වල වෙසෙන පාඨකයන්ට බව පෙනේ.

පසුගිය ඉරුදින පුරා දින දහයක් තිස්සේ පවත්වන ලද කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය. නිමාවට පත්වූයේ ය. එහිලා පෙරදී තරම් මහා සෙනගක් නොපැමිණියත් රටේ තොටේ උද්ගතව ඇති අයහපත් වාතාවරණය හමුවේ මෙවර පැමිණි සංඛ්‍යාව කුමන අගයක් ගත්තද, එහි ඉතා ඉහළ වටිනාකමක් තිබෙන බව මම පෞද්ගලිකව විශ්වාස කරමි.

ඒ අනුව අපට නිගමනය කළ හැක්කේ මෙය හුදෙක්ම සංවිධායකයන්ගේ හා පාඨකයන්ගේ පැත්තෙන් විශාල ජයග්‍රහණයක් ලෙසිනි.මා මෙහිලා වඩාත් සංවේදී වන්නේ ද විශේෂ අවධානයක් යොමුකරන්නේ ද මෙරට සුවහස් පාඨකයන් කෙරෙහිය. ඔවුන් මෙවර තම ආර්ථික පීඩනය හමුවේ පොතපත මිලදීගන්නා ලද්දේ පුළුවන් කමකට නම් නොවේ.ඔවුන් බොහෝ දෙනෙකු අතේ මිටේ වූ මුදලට පොතපත මිලදී ගන්නට ඇත. එසේම තමන් සිතාගෙන සිටි පොතපත මිලදීගන්නට නොහැකි වන්නට ඇත. ඊටත් වඩා ඔවුන් තම ගෙවල්-දොරවල් කරා යන්නට ඇත්තේ කුසට නිසි අහරක් තියා තේ කෝප්පයක්වත් බී දැයි කියා මට නම් සැකය. එහෙත් .. මේ සියලුම අසීරුතා තම විසින් මිලදී ගන්නා ලද පොතපත තුළින් ඇති කරන ලද ඉහළ මානසික තෘප්තිය විසින් යටපත් කරන්නට ඇති බව නම් මම ඉරහඳ සේ දනිමි. මොකද .. ඒ මමත් දෙස් / විදෙස් පොත් ලෝලියකු වන බැවින් එම මානසික තෘප්තිය කුමක්ද යන්න ඉතා හොදින් දන්නා බැවිනි.

මෙරට පිටපලාත්වල පාඨකයන් බොහෝ දෙනෙකු මෙවර පොත් ප්‍රදර්ශනයට සහභාගී නොවූයේ සිතකින් නම් නොවේ. ඒ ඒසා වූ දුර ගමනක් යෑමට සැලකිය යුතු ගමන් ගාස්තුවක් වියපැහැදම් කිරීම ඔවුනට අසීරු කාර්යයක් වූ බැවිනි. එනමුත් ඔවුහු මෙම සාහිත්‍යය මාසය තුළ පොතපත ගැනීමට අමතක නොකළහ. ඔවුහු කොළඹට යෑමට යන ගමන් වියදම් ද ඉතිරි කරගෙන ඒ මුදල හා ඊට තවත් මුදලක් එක්කර පොතපත මිලදී ගත්හ. එය බොහෝවිට මා වැඩ වෙසෙන මහනුවර හා ඊට තදාසන්න ප්‍රදේශවල පාඨකයන් තුළින් ඉතා මැනවින් විද්‍යාමට විය . අප කවදාවත් මෙවන් වාතාවරණයක් නොපැතුවද රටේ පාලකයන් විසින් සුවහසක් ජනතාව හා මෙහිලා කතාබහ කරන සුවහසක් පාඨකයන් එවන් තත්ත්වයක් ඇඳ තිබේ. අප කැමති වුවද අකමැති වුවද ඒ තත්ත්වය අප කෙසේ හෝ මුහුණු දිය යුතුවන්නේ ය.

මෙපරිදි මෙරට සුවහස් පාඨකයන් විසින් මහා කැපකිරීමක් කරන ලද්දේ අන් කිසිවක් නිසා නොව ඔවුන් විසින් පොතපත පිළිබඳව දක්වන අපිරිමිත සෙනහස හා ලෙන්ගතුකම නිසාය. එය පාඨකයන්ගේ පැත්තෙන් මෙරට සාහිත්‍යය වෙනුවෙන් තවදුරටත් පාඨකයන් රැඳී සිටිනවා යන්නට කදිම උදාහරණයක් වන්නේ ය.

මෙවර පොතපත මිල ගණන් අහස උසට නැග ඇති බව පෙනේ. එයට අප කිසිවිටකත් ප්‍රකාශකයන්ට චෝදනා කිරීම යුක්ති-යුක්ත නොවන්නේ ය. වර්තමානයේ ප්‍රකාශකයන් හමුවේ වුවද තම පොත් කර්මාන්තයේ පැත්තෙන්
මහත් වූ අභියෝග රාශියක් නිර්මාණය වී ඇත්තේ ය. එහිලා කඩදාසි, තීන්ත ඇතුළු වෙනත් අමුද්‍රව්‍ය සේම මුද්‍රණ වියපැහැදම් ඉහළ ගොස් ඇති බව පෙනේ. ඊට රුපියල දිනෙන් දින බාල්දුවීමත් ඇමෙරිකානු ඩෝලරයේ අගය දිනෙන් දින ඉහළ යෑමත් මූලිකව බලපාන කරණා වන්නේ ය. එවන් වූ වාතාවරණයක් හමුවේ එතරම්ම ලාබ ලබන ව්‍යාපාරයක් නොවන පොත් ව්‍යාපාරය එක අතකින් ලංකාව වන ආර්ථික පීඩනයක් සහිත අවිනිශ්චිත අනාගතයක් සහිත රටක් තුළ ඉදිරියට පවත්වාගෙන යෑමම පුදුමයට හේතු කාරණාවක් වන්නේ ය.

අප මේ ගෙවාදමන්නේ වර්තමාන දේශපාලඥයන් විසින් තාවකාලික පැලැස්තර ගසන ලද ගිණිකන්දක් උඩය . සැබෑ තත්වය හා එයින් ජනිත කරවන ලද මහා පිපිරීම වැඩි ඈතක නොවේ. එවන් වූ පිපිරීමක් හමුවේ මෙරට පොත් ව්‍යාපාරය ද අනෙකුත් ව්‍යාපාර මෙන්ම හෝ ඊට වඩා දරුණු ආකාරයෙන් කඩා වැටෙනු ඇත. ඉක්බිතිය උදාවන තත්වය පොත් කර්මාන්තය අරබයා ඉතා අහිතකර තත්ත්වයක් නම් නොවන්නේ ය. මෙමගින් මෙරටේ සුළු පරිමානයේ පොත් ව්‍යාපාරිකයන් නැත්තටම නැතිවී ගොස් මුල්පෙලේ පොත් ව්‍යාපාරිකයන් කීප දෙනෙකු පමණක් යාන්තමින් හෝ ඉතිරිවනු ඇත.

කරුණු කාරණා එසේ බැවින් මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය තුළින් ප්‍රකාශක හා පාඨක යන මේ දෙපාර්ශවය තුළින් ප්‍රකට කරන ලද කැපවීම ඉතා සුවිශේෂී අගයක් ගන්නා බව විශේෂයෙන් සදහන් කරනු වටී.

එය සාහිත්‍යයේ අනාගතය පිළිබඳව මහා ලොකු විශ්වාසයක් නොව කිසියම් වූ සුබවාදී බලාපොරොත්තුවක් තබා ගැනීමට හේතු කාරණා වන්නේ ය. එනමුත් එහිලා සාහිත්‍යය ක්ෂේත්‍රය තුළින්ම ජනිවූ එක්තරා බාධාවක් තිබෙන බව පෙනේ. එය කුමක්ද යන්න ඔබට මෙහි දෙවැනි සටහන කියවා අවසන් වත්ම උදාහරණ සහිතව අවබෝධ වනු ඇතැයි කියා සිතමි.

(මතු සැබැඳේ)

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

2 thoughts on “2022 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පිළිබඳව පසුවිපරමක්!

Leave a Reply

Your email address will not be published.

Previous post “අපි ඔයගොල්ලන්ගෙ අකුරු වලට ඒ තරමටම ආදරේ කරනවා”
Next post පෝරිසාදයා , විශ්වවිද්‍යාලය සහ කැනිබලිසම්: