“භාෂාවෙන් වචන නෙළාගෙන බුහුටි යාතුකර්මයක් කරන ‘චෙරි කුසුම'”

Read Time:7 Minute, 19 Second

“ඉදගන්න පාවෙල්,
එන්න මේ පැන් බොන්න
මේ ළපටි කොළ කන්න
පිස්තෝල අගුල් ඇර
සෝක ගී සියල්ලෙම
අඟුරු බිම බාවන්න”

චතුරිකා දාබරේ පාවෙල්ව වාඩි කරගෙන, පැන් පොවලා, ළපටි කොළත් කවලා, පිස්තෝලවලත් අගුල් පියවා ගන්නවා. ඒ විතරක්ම නෙවෙයි සෝක ගී සියල්ලම දවා අළු කරවලා ඒවායේ අඟුරු පවා බිමට බාවනවා. මේක එතකොට මායාකර්මයක් වගේ එකක්ය කියලා සිතුවිල්ලක් අපේ හිතේ විදුලි කොටන්න ගන්නවා. කවියක අභ්‍යන්තරයේ කවියා හෝ කිවිඳිය විසින් හංගපු ඒ විදුලි කෙටිලි ගැන මගේ උනන්දුවක් තියෙනවා. අපි කවියකට කැමති වෙන්නෙ, පොතකින් ඒක උදුරලා අරන් අපේ ගෙමිදුලක හිටවාගන්නේ මෙන්න මේ වගේ තමන්ට අනන්‍ය වුණ යම්කිසි හේතුවක් මත.

වචන හැම තැනම දූවිලි වගේ විසිරිලා තියෙද්දි මල් කඩනවා වගේ ඒ වචන නෙළාගෙන, ඒවායෙන් වැඩ ගැනීම වෙනත් භාෂාත්මක යාතුකර්මයක්. ඒ යාතුකර්මයෙන් ආතුරයොන්ටයි වැඩක් තියෙන්නෙ. ඉතිං අපි වැනි කියවන්නො අයත් වෙන්නෙ ආතුරයො කියන කැටගරියට.

දාබරේගේ භාෂා වැඩපොළේ ඒ, ඒ කාරියට අදාළ වෙනත් බහාලුම් නිතර දකින්න ලැබෙනවා. ඒක කවිය විෂයෙන් හුදෙකලා කරන්න බැහැ. නමුත් කවිය ඇතුළට ආවට පස්සෙ මට හිතෙනවා දාබරේගෙ භාෂා වැඩකර්මය බොහොම බුහුටි වෙනවා කියලා. මේ මුලින්ම උපුටලා දක්වපු කවිය; ‘සියල් රූබල් ඔබටය’ මම මුලින්ම කියෙව්වෙ රාවයෙ කවි පිටුවකින් වගෙයි මතක. අන්න එදා ඒ කවිය මට මතක හිටියා. ඒක තනිකරම පෞද්ගලික කැමැත්තක්. කෙනෙක් තවත් කවියෙකුට කැමති වෙන මේ පෞද්ගලික කැමැත්ත තරමක් ලස්සනයි. ඊගෝ සහිතව ජීවත් වන සාහිත්‍යකරුවන් ඕනෑම කෙනෙකුගේ හිතේ වෙනත් සාහිත්‍යකරුවෙක් කෙරෙහි ඇතිවෙන මේ කැමැත්තෙන් තමයි ඔහු හෝ ඇය ඇතුළේ දැනුවත්ව හෝ නොදැනුවත්ව වැඩෙන ඊගෝවට හානි වෙන්නෙ.

මම කැමති වෙන්නෙ ‘මාව ඉක්මවා ගිය යමකටය: කියන හේතුවෙන් ඒක වෙන්නෙ. නිරුත්සාහිකව වෙන ඒ ඉක්මවීම් නිතර, නිතර සිදුවීමෙනුයි අපිට අනෙක් අයව වැළඳගන්න පුළුවන් වෙන්නෙ.

පරිකතා පැත්තකින් තියලා ආයෙත් ‘පෙමාතුර චෙරි කුසුම’ පැත්තට හැරුණොත් මේ කවි පොතේ මම ආස මොකක්දෝ අමුතු ලාලසාවක් තියෙන බව පහුගිය සතිය පුරාවටම මම හිතමින් උන්නා. ඒත් ඒ කුමනාකාරයේ ආශක්තවීමක්ද කියලා අද වෙනකන් මට ලිහාගන්නත් බැරි වුණා. සමහර විට ඒකෙ නොලිහුණ ගතියට මම යටි හිතින් කැමතිත් ඇති.

“වීත්යා,
ඔය අඳෝනා නෙමෙයි වැලපෙන්න
ඔඩෙස්සා නගරයෙදි
අසරුවො ගම පෙළට හිටවං වද දිදී බිම දිගේ ඇද ආ
අපෙ සහෝදර සෙර්යෝෂා
මතකයිද ඌ එදත් කීවා
මැරෙන්නට පෙර
සිපිරිගෙයි බිම මෙහෙම ලිව්වා
මං ආවෙ පණිවිඩය දෙන්නයි
“වීත්යා,
නිල් ඇස් ඇති කෙල්ලේ
සියල් රූබල් ඔබටය
නැතක් පැන්සා අපටය”

දාබරේ තමන්ගේ සාහිත්‍යමය වැඩීම ඇතුළේ තමන්ගෙ කවිය තිර රේඛාවක් දිගේ අරගෙන යනවා. ඒක හරියට සිතියම් ලකුණු කිරීමක් වගෙයි. ඔබට යමක් මතක් කරමිනුයි ඈ හැම තිස්සෙම තමන්ගෙ කවිය ක්‍රාෆ්ට් කරන්නෙ. වචන ඉදහිට වැඩිව වගේම ලුහුඬුව පාවිච්චි වෙනවා. මම කැමතියි ඈ තවත් ලුහුඬුවෙන් වචන පාවිච්චි කළා නම්. කීමේ සෞන්දර්ය වගේම නොකියා සිටීමේ අධිපතිභාවයෙන් කවියට යම් බලයක් ලැබෙනවා.

“කොහිද මා තැනු චරිතවාදී
ජාති ආලේ මහා ගංගා
කියා බලනා සෙයකි මැදහත්
දෑත කිහිලේ ගන්වා
ගල් විහාරේ සිටින බුදුරුව”

මට මෙතන කැමතිම හිතෙන්නෙ අත් බැදගෙන ඉන්න බුද්ධ රූපය කවියට ගෙන්නුව විදිහයි. ‘අනේ උඹලා ඉගෙනත් ධර්මය’ වගේ යමක් කියමින් තැනූ බුදු රුව අත බැදන් බලන් ඉන්නවා. ජීවමාන හාමුදුරු වර්ගයා මුසල්මානුවන්ගෙන් රෙදිපිළි ගැනීමෙන් වළකින්න කියලා දේශනා කරනවා. දාබරේ තමන්ගෙ කවියේ භූමිය අඳුනගෙන කරන මේ වැඩවලට මම කැමතියි. වචන එක්ක කරන සෙල්ලම ඈ ටක්කෙටම දන්නවා. එහෙම නොදැන දෙපැත්ත මුවහත් පිහියක් එක්ක සෙල්ලම් කරන්න බෑ. ඉතිං ඈ දෙපැත්තේම මුවහතින් සීරීමක්වත් නොලබාම ශිල්ප දක්වනවා.

“ෂැංහයි නුවර මල් පූදින ඉසව්වේ
දිගැස් කිරිල්ලක් සිහිනෙක තොටිල්ලේ
නුවන් කැට අයා මිණි වැටි ඇසිල්ලේ
සිනා බුදුන් ෆෙංෂුයිවද මැවිල්ලේ”

පෙමාතුර චෙරි කුසුම කවියෙ කොටසක් මම ඉහළින් උපුටලා තියෙන්නෙ. වචන ළඟ, ළඟින් වාඩි කරවලා ‘හා…දැන් ඔය දෙන්නා අඳුනගෙන යාළු වෙන්න’ කියන මේ ටෝන් එකට මම කැමතියි. ‘ඔයා මට ගැලපෙන්නෑ. මට බෑ, මං යන්න යනවා’ නොකියන්න මේ අයව හාද කිරිල්ලෙදි දාබරේ හරිම සූක්ෂමයි.
‘බීර තුඩු වැකුණු රත්සර ගොමුව’
ඉතිං දැං ජංජාලයයි නේද?

පෝසිලේන් දීසියක ළසෝව කවියෙ මෙන්න මෙහෙම තැනක් තියෙනවා.

” නීල මල්කම් මුදුන
ශ්වේත බොකු වක් නැමුව
බුහුටි පිරිමැදුම් ලද
දිදුල නාරටි සියලු
නෑනගෙ නෑඹිලියෙ
අත්පාද මෙහෙවරින්
තූ තූව කැබලි වී මල්ගොමුව දෙකඩ වී
චීන ගෙවිලියකගේ
හැඬූ නෙතින් ඔප වැටී
මහවත්තෙ ඇළ පහළ
පස්ගොඩක ඉසුඹු ලනු
මියෙන නුවනින් දුටිමි”

ඉතිං දැන් පෝසිලේන් දීසියට පණ ඇවිත් නොවේද? හිස් මුදුනෙ මල් ලියකම්, ශ්වේත බොක්කක්, දිදුලන නාරටි, ඒ මදිවට නෑනගෙ නෑඹිලියෙනුත් කරදර. කුඩු සංසාර වුණ පෝසිල්න් දීසියෙන් එළියට පැන්න චීන ගෙවිලිය. ඔක්කොමත් හරි මෙන්න දැන් චීන ගෑනියෙකුත් අඬනවා.
දාබරේ; කවි පොත අගෙයි!!

කාංචනා අමිලානි

(මුහුණුපොතට ලියනලද සටහනක්)

සමුද්‍රදේවි දුම් රථයේදීය.

සමුද්‍රදේවි දුම් රථයේදීය.
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post අවසානයක ආරම්භය සනිටුහන් කරමින් 23 වන පොත් ප්‍රදර්ශනය අදින් අවසන්
Next post විශ්වවිද්‍යලය යනු කුමද? අමරකීර්ති සහ රනිල් වික්‍රමසිංහ