ඉතාලියේ බලය අල්ලන මාර බඩු තුන

Read Time:6 Minute, 53 Second

බෙනිටෝ මුසොලීනි කියන්නෙ කවුද කියල කවුරුත් දන්නවා. ඉතාලියේ පැසිස්ට් ආඥාදායකයා. හිට්ලර්ගෙ බොක්ක. හිට්ලරුයි, මුසොලීනියි, ජපානයේ හිරෝහිතෝයි එකතු වෙලා ලෝකය තුනට බෙදා ගන්න තමා ඒ කාලෙ හිතන් හිටියේ.
මුසොලිනීගෙ සෙවණැලි දැන් ආපහු ඉතාලි දේශපාලනයේ හොල්මන් කරනවා. කොටින්ම කිව්වොත් මුසොලීනිගෙන් පස්සෙ ඉතාලියේ බිහිවන පළමු අන්ත දක්ෂිණාංශික ආණ්ඩුව මේ ඉරිදා (සැප්තැම්බර් 25) මැතිවරණයෙන් පස්සේ බිහිවීමට නියමිතයි. බොහෝ දුරට ඒ අනාවැකිය හරි යනු ඇති.

එහෙම වුණොත් හෙටින් පස්සේ ඉතාලියේ පළමු කාන්තා අගමැතිනිය බිහිවනු ඇති. ඒ තමයි 45 හැවිරිදි ජෝර්ජියා මෙලෝනි. කාන්තාවක් වුණත් ඇය තමා “ඉතාලියේ සහෝදරයෝ” (Brothers of Italy) පක්ෂයේ නායිකාව. මෙලෝනි නෝනාගේ පක්ෂය තනිකර නව ෆැසිස්ට්වාදය ගුරු කොට ගත් දේශපාලන බලවේගයක්. මුසොලීනිගෙ මී මුණුබුරාත් මෙලෝනිගෙ පක්ෂයෙන් ඡන්දෙ ඉල්ලනවා.

මෙලෝනි නෝනා එක්ක සෙට් වෙලා ඉන්නෙත් මාර බඩු දෙකක්. එක්කෙනෙක් තමා මත්තේයෝ සල්විනි. උන්නැහේ ගැන මම 2019 දි දිවයින පුවත්පතට ලිපියක් ලිව්වා. ඒ කාලෙ සල්විනි ඉතාලියේ උප අගමැති. ඒ වගේම අභ්‍යන්තර කටයුතු ඇමති. ඒ කාලෙත් ඉතාලියට එන Diplomat ලා උත්සාහ කළේ අගමැති ජුසෙප්පෙ කොන්තෙ මුණගැහෙන්නට වඩා සල්විනිව හම්බ වෙන්න.

සල්වීනි ඉතාලියේ පමණක් නොවෙයි යුරෝපාකරයේම කැපී පෙනෙන අන්ත දක්ශිණාංශික නායකයෙක්. ඔහුගේ ලීග් පක්ෂය එක් යුරෝපයක් ප්‍රතිපත්තියට විරුද්ධයි. යුරෝ වෙනුවට මිල්ලෙ සොයා ආපහු යන ගමනක් ගැන ඔහු කියනවා. ඉතාලිය යුරෝපා සංගමයේ නිලබල අධිකාරීත්වයෙන් මුදවා ගෙන Italy First සංකල්පයක් ගැන ඔහු සිහින දකිනවා.

ඒ වගේම ඉතාලිය සාමාන්‍යයෙන් අනුගමනය කරපු ලිහිල් සංක්‍රමණික ප්‍රතිපත්තිටත් තදින්ම විරුද්ධයි.Time සඟරාව විසින් වරක් සල්වීනිව හැඳින්වුවේ “යුරෝපයේ නව මුහුණුවර” (New Face of Europe )ලෙසයි. දැන් මෙලොනි නෝනා එක්ක සෙට් වෙලා හිටියට ලීග්වාදීන්ගේ අරමුණ තමන්ගේ අන්ත දක්ෂිණාංශික නායකයා හැකි ඉක්මණින් රටේ අගමැතිවරයා බවට පත්කිරීමටයි.

අනිත් උන්නැහේ තමා ඉතින් අපි කවුරුත් දන්න සිල්වියෝ බෙරලුස්කෝනි මහත්තයා.
බෙරලුස්කෝනි ඉතාලියේ හතර වතාවක් අගමැති වුණා. එයා තමයි ඉතාලියේ ඉන්න අංක එකේ සල්ලිකාරයා. සමහරු මිනිහව Cavaliere කියලත් හඳුන්වනවා. ඉතාලි භාෂාවෙන් එහෙම කියන්නේ සිටුවරයට.
ඒ වගේම ඔහු මධ්‍ය දක්ෂිණාංශික Forsa Italia පක්ෂයේ නායකයා. දැන්නම් වයස අවුරුදු 86යි. ළමයි 5ක් ඉන්නවා. කාන්තා සම්බන්ධතා ඉවරයක් නැහැ. එක පාරක් තමන්ගෙ පුතාටත් වඩා ලාබාල යුවතියක් කරකාරෙට ගත්තා. බෙරලුස්කෝනිගෙ අලුත්ම සහකාරියගෙ වයස අවුරුදු 32යි.

බෙරලුස්කෝනි පැරදිලා ගෙදර ගිහින් ටික කාලෙකින් ෆීනික්ස් කුරුල්ලා වගේ ආයෙත් උඩට එනවා. එයාට අයිති දැවැන්ත මාධ්‍ය ජාලයෙනුත් මිනිහව නාවලා උපාසකයා කරල ගන්නවා. ඒකයි හතර වතාවක්ම අගමැති වුණේ. මිනිස්සුම තමා ඡන්දෙ දීලා පත්කර ගන්නේ. මොන හෙයියන්මාරු තිබ්බත් හැබැයි බෙරලුස්කෝනිගෙ කාලෙ ඉතාලියේ ආර්ථිකය දියුණු වුණා.
බෙරලුස්කෝනි දැන් යුරෝපා පාර්ලිමේන්තුවේ ආසනයක් අල්ලන් සයිඩ් ගහලා හිටියට ආයෙත් ඉතාලි මුල්පුටුව ඩැහැගන්න කරන කුරුමාණම නවත්වලා නැහැ.

හෙට අනිද්දා ඉතාලියේ අගමැති වෙන්න නියමිත මෙලොනි නෝනා ගැන ඕනෑවට වඩා ලියන්න ඉක්මන් වෙන්නෙ නැහැ. මොකද මෙලොනිට මුවා වෙලා ආයෙත් ඉතාලියේ බලය අල්ලන්නේ සල්විනි අයියයි, බෙරලුස්කෝනි මහත්තයයි හින්දා. බෙරලුස්කෝනි දැන් වයසයි. ඒ නිසා සල්විනි තමයි ඉතාලියේ ඊළඟ මුසෝලිනී.

නව ෆැසිස්ට්වාදය කිව්වම හැබැයි කවුරුත් ඒ තරම් කළබල වෙන්න එපා. ඒක අර දෙවන ලෝක යුද්ධ කාළෙ තිබුණු මිනී මරණ ෆැසිස්ට්වාදය නොවෙයි. අන්ත දක්ෂිණාංශික සුදු අන්තවාදී ජනප්‍රිය සංකල්ප මත ගොඩනැඟුණු දේශපාලන දහරාවක්.
ඉතාලියේ දේශපාලන වෙන්ස්වීම් ගැන වැඩිය කවුරුත් කතා නොකළාට ඒව අපේ රටට හොඳින්ම දැනෙනවා. යුරෝපයේ පැහැදිලි ශ්‍රී ලාංකික ඩයස්පෝරාවක් ඉන්නේ ඉතාලියේ තමයි. දැන් මෙලොනි නෝනා ආවම ආණ්ඩුවේ සහනාධාර ප්‍රතිපත්ති අනිවාර්යයෙන් ආපසු හරවනවා. ඒ වගේම දැඩි සංක්‍රමණ විරෝධී ප්‍රතිපත්තිත් අනුගමනය කරාවි. ඒව කෙළින්ම අපේ ආර්ථිකයට බලපෑම් කරනවා.

ඉතාලියේ අළුත් අගමැතිනිය ගැන ඡන්දෙන් පස්සේ දීර්ඝ ලිපියක් ලියන්නම්. දේශපාලන අනාවැකි හැම තිස්සෙම හරි යන්නෙත් නැහැනේ. ඒව වරදින්නත් ඉඩ තියෙනවා.

මෙලෝනි, සල්විනි,බෙරලුස්කෝනි තුන්කට්ටුවේ සන්ධානයේ පොදු සතුරා තමා හිටපු අගමැති ජුසෙප්පෙ කොන්තෙ. පෞද්ගලිකව මම කැමතියි කොන්තෙ මහන්තයා බලයට එනවට. ඔහු හොඳ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්. සල්විනිල වගේ නාහෙට නාහන දක්ෂිණාංශික තරුණ දේශපාලඥයන් බැලන්ස් කරගෙන ඔහු ආණ්ඩුවක් කරන් ගියා. කොරෝනා වසංගතයෙන් ඉතාලිය බේරාගත්තා.

ඒත් පේන විදියට ඉතාලියේ මී ළඟ අගමැති ජෝර්ජියෝ මෙලෝනි තමා.

ශානක ලියනගම (ලෝකය එකම යායක් )

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
100%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

3 thoughts on “ඉතාලියේ බලය අල්ලන මාර බඩු තුන

Leave a Reply

Your email address will not be published.

Previous post මහින්ද ඉන්න B 20 නිවස ගෝඨාභය ඉල්ලයි
Next post SYU විරෝධතාකරුවන් 85 ක් අත්අඩංගුවට