නීතිවිරෝධී ලෙස ගෙන ආ දුම්වැටි තොගයක් කටුනායක දී අත්අඩංගුවට

රුපියල් හැත්තෑ හත් ලක්ෂ අනූ දෙදහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් තිදෙනකු අද (23) උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

හලාවත සහ මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් වයස අවුරුදු 30 , 36 සහ 42 පසුවන්නන් වන බව ආරක්‍ෂක අංශ වාර්තා කරයි.

මොවුන් ඕමානයේ මස්කට් නුවර සිට ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි.- 371 දරන ගුවන් යානයෙන් අද (09/23) උදෑසන 07.40 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මොවුන් සිය ගමන් මලු තුළ සගවා ගෙන ” මැන්චෙස්ටර් ” වර්ගයේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 77,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 487 ක් නීතිවිරෝධී ලෙස කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .

මේ පිළිබඳව පැවති විධිමත් රේගු පරීක්ෂණයේදී මෙසේ රැගෙන විත් තිබූ දුම්වැටි සියල්ලම රාජසන්තක කර මෙම ව්‍යාපාරිකයන් තිදෙනාට දඩ මුදලක් ද ගෙවන ලෙස නියෝග කර තිබේ .

සබැඳි

Leave a Reply

Your email address will not be published.