කිරිඳිවැලදී නිතර හමුවෙන ජයකොඩි මහත්තයා

ජනප්‍රිය සිංහල නවකතාව දෙවුරමත තබාගෙන පරෙස්සමින් පැමිණි සමාජ විශ්ලේෂකයා හෙවත් ජයකොඩි සෙනෙවිරත්න නම් සූර කතන්දරකරුවා.

ජයකොඩි සෙනෙවිරත්න යනු ශ්‍රී ලාංකේය ජනප්‍රිය නවකතාවේ සිංහ සෙය්යාවෙන් සැරූ ප්‍රවීණතමයෙකි. ශ්‍රී ලංකාවේ ජනප්‍රිය නවකතාකරුවන් එක් ලැයිස්තුවකට සංගෘහිත කළහොත් ඔහුගේ නම එහි ලියැවෙන්නේ සිංහලයේ මහානවකතාකරු ඩබ්ලියු.ඒ. සිල්වාට යටින් මුත් කරුණාසේන ජයලත්ට සමමට්ටමින් වියයුතු බව මගේ පෞද්ගලික කල්පනාවයි.
ජයසේන ජයකොඩි, එඩ්වඩ් මල්ලවාරච්චි, කුමාර කරුණාරත්න, කරුණාරත්න සපුතන්ත්‍රී ආදීන්ද ඒ සමීපයෙන් ස්ථානගත වනු ඇත.

එහෙත් එම පරපුරෙන් පසුව ලංකාවේ ජනප්‍රිය නවකතාව නමැති සාහිත්‍යාංගයට හිමිව තිබූ වැදගත් බව හික්මුණු බව මෙන්ම කිසියම් දුරකට කතන්දර කලාවේ අඩංගුව නවකයින් අතින් ගිලිහී යමින් අවසානයේ එය හුදු ලිංගික කරුණු සංගෘහිත මොකක්දෝ අමුතු ලියවිල්ලක් බවට පරිවර්තනය වන්නට වූ මුත් ජයකොඩි සෙනෙවිරත්නයන් ශ්‍රී ලංකා ජනප්‍රිය නවකතාවේ වැදගත් මුහුණුවර අවසානය දක්වාම සුරැකගත්තේ ඔහුටම ආවේනික සුහුරුබවකින් යුතුවය.

එනයින් බලන කල ඩබ්ලියු.ඒ. සිල්වාට මෙන්ම කරුණාසේන ජයලත්ට මුහුණ පෑමට නොවූ අභියෝගයක් ජයකොඩි සෙනෙවිරත්නයන්ට මුහුණ දීමට සිදුවූ බව අතිශයෝක්තියක් නොව සැබෑ සත්‍යයක් බව මගේ වැටහීමයි.
ස්වකීය අවසාන නවකතාවෙන්ද එකී ජීව ගුණය සුරැකලූ ඉතා සූර නවකතාකරුවෙක් වූ ජයකොඩි සෙනෙවිරත්න වෘත්තියෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකි.

මා දන්නා පරිදි පානදුර ඔහුගේ ගමටත් වඩා වැඩි කාලයක් ඔහු සේවය කළ ගම්පහ කිරිඳිවැල ප්‍රදේශය ඔහුගේ ජීවිතයට කොතරම් සමීප වීදැයි කිවහොත් ඒ ප්‍රදේශයෙන් ස්වකීය ජීවන සහකාරියද සොයාගත් ඔහු කිරිඳිවැල නුගහේනවත්ත තම ස්ථිර වාසයට තෝරාගත්තේද මීට අවුරුදු 40 කට හෝ 50 කටත් වඩා වැඩි කාලයක පටන්ය.

ඔහුගේ සමුගැන්ම සටහන්වන මේ මොහොතේ ජයකොඩි සෙනෙවිරත්න නමැති ජනප්‍රිය නවකතාකරුවා ගැන බොහෝ දේ ලියැවෙනු ඇත. එහෙයින් මෙහි පහත සටහන් කරන්නේ ඔහු ගැන බොහෝ දෙනෙක් නොදනිතැයි මා කල්පනා කරන කරුණු ස්වල්පයකි.

ඒ හරියටම මීට අවුරුදු 33 කට හෝ 34 කට පෙර 1988 රාජ්‍ය භීෂණයේ උපරිම අවස්ථාව පැවති කාලවකවානුවය. කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලයේ මගේ සිංහල ගුරුතුමා වූ ජයරත්න සමරසේකරයන්ගේ කිරිඳිවැල නගරයට මඳක් එපිටින් වූ නුගහේනවත්තේ නිවසේදී ජයකොඩි සෙනෙවිරත්න නමැති මහා ලේඛකයා දැනහඳුනා ගැනීමේ භාග්‍යය මට ලැබිණි.
එදා පටන් මේ කෝවිඩ් වසංගතයෙන් අප සමාජය බෙදා වෙන්කොට අපි එකිනෙකා හුදෙකලා මිනිසුන් බවට පත්වෙන තුරුම අපි නිතර මුණනොගැසුණත් ගජ මිතුරන් වුණෙමු.

හමුවූදා සිට ‘ජයකොඩි මහත්තයා’ යි ඉතාමත් ගෞරවණීය ලෙස ඔහු ඇමතූ දුහුනු මට ‘අලගියවන්න මහත්තයා’ යි කටපුරා ඇමතූ සෙය්යාව මේ ලියන දැනුදු මගේ මතකයේ ඇඳෙයි.

නිතරම සිනාවෙන් පිරි ඔහුගේ ළතෙත් මුහුණ ඒ ළතෙත් බව යට කොට යෝධයෙක් ලෙස තිරසරව නැඟුණු ඔහුගේ අනම්‍ය දේශපාලන මතවාද අපගේ සොඳුරු ඇසුරට කවර කලෙකවත් බාධාවක් නොවීය.

උග්‍ර ශ්‍රී ලංකාකාරයෙක් වූ ජයකොඩි මහත්තයා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට මෙන්ම චන්ද්‍රිකාට ගෞරවයක් දැක්වුවද සමහර අවස්ථාවල චන්ද්‍රිකාගේ අමන වැඩවල පතුරු ඇරියේ අප හිතමිතුරු සමාගම්වලදීය.

පසුකලෙක මහින්ද රාජපක්ෂ කෙරේ දෑස් දල්වාගෙන සිටි ඔහු මහින්දගේ වංචා දූෂණ ගැන බෙහෙවින් කලකිරී ‘යහපාලනය’ උදාකර ගැනීමේ සටනේ පතාක යෝධයෙක් ලෙස ඉදිරි පෙළ කටයුතු කළේය.

අනතුරුව ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරකම් දෙසද ආසාවෙන් බලා ගෙන සිටි ජයකොඩි මහත්තයා තමාගේ එකම අපේක්ෂාව වූ ‘සාධාරණ ජනසමාජයක්’ ඉදිකිරීමට ඔහුට දිය හැකි සෑම සහයෝගයක්ම ලබාදුන්නේ කිසිඳු ප්‍රතිලාබයක් අපේක්ෂාවෙන් නොවෙන බව කැටතියා කිව හැකිය.

ස්වකීය ප්‍රධාන මාධ්‍යය වූ නවකතාවේ ජනප්‍රිය දහරාවේ මුදුන් පෙත්තටම නැඟි ඔහු සම්භාව්‍ය සාහිත්‍යයේ හිනිපෙත්තද ස්පර්ශ කළේ මගේ මතකයේ හැටියට 1986 තරම් ඈතදීය. ඒ ‘කුමාරිහාමි’ නවකතාව වෙනුවෙන් රාජ්‍ය සාහිත්‍යය සම්මානය හිමිකර ගනිමිනි.

ඔහු ලියූ සිය ගණනක් ජනප්‍රිය නවකතා අතරින් බොහොමයක් සිනමාවට මෙන්ම රූපවාහිනියටද නැඟුණු අතර ජයකොඩි සෙනෙවිරත්න සිනමා හා රූපවාහිනී තිරකතාද ලියුවේය.

මේ සියල්ල ඉටු කිරීමට ඔහු දවසේ වැඩි කාලයක් යොදාගත් අතර කොළඹ යාමට හෝ වෙනත් උත්සව සම්භාෂණ ආදියට සහභාගී වීමට ඔහු කාලය වෙන් කළේ කිසියම් පිළිවෙලකටය.

ඔහුගේ අත් පිටපත් ඉතා පිළිවෙලට ලියූ ඒවාය. සමහරවිට ජයකොඩි මහත්තයාගේ පිළිවෙල තවත් ලේඛකයෙක්ට ඔහු පිළිබඳ ඊර්ෂ්‍යා හිතෙන තරම්ය. එසේම ඔහුගේ ගෙදරද, ඔහුගේ නිර්මාණද, නිර්මාණ පිළිබඳ පළවූ පුවත්පත් වාර්තා, ලිපි ආදී සියල්ලක්ම අතිශයින්ම පැහැදිළිය. එමෙන්ම පිළිවෙලය.
ඔහු කතාබහ කළේද ඉතා විනීතව හා ලෙන්ගතුවය. ඔහුගේ ඇසුර ඒ තරම්ම ප්‍රියමනාපය.

කිරිඳිවැලදී නිතර හමුවෙන ජයකොඩි මහත්තයා මා කොළඹ පැමිණි පසු අතරමඟකදී හමුවුවද අතින් අල්ලාගෙන තොරතුරු විමසීම ඔහුගේ පුරුද්දකි. කිරිඳිවැල ප්‍රේමතිලකගේ පත්තර කඩේදී හෝ දෙල් ඕවිට බේකරිය ළඟදී ඔහු හමුවූ සෑමවිටම මට පෑ ලෙන්ගතුකම ආදරණීය බව මනුෂ්‍යත්වයෙන් පිරී තිබුණේය.

කලාතුරකින් දිනක මා තනිව හෝ එසේත් නැත්නම් බිරිඳ හා දියණිය සමඟ ඔහුගේ නිවසට ගියවිට ලැබුණේද මනුෂ්‍යත්වය සපිරි ඔහුගේ සුපුරුදු ලෙන්ගතුකමමය.

සමහර අවස්ථාවක ඔහුගේ අලුත් නවකතා කිහිපයක් අත්සන යොදා බිරිඳගේ අත තබන්නේ ‘මේ අහන්ඩකෝ දුවේ, මම දන්නවා දුවේ, ඔයා අලගියවන්න මහත්තයා වගේ නෙමෙයි ඔයා මගේ පොත් කියවන බව. එයාට ඉතින් ඔය මගේ ජනප්‍රිය නවකතා කියවන්න වෙලාවක් නෑනේ. ලෝකෙම වැඩ කරේ තියාගෙනනෙ එයා ඉන්නෙ…’ යනාදී ලෙස පවසමින් මදෙස බලා උස් හඬින් හිනැහෙමින් මට උසුළු විසුළු කරමින්ය.

ඒ මුහුණේ තිබූ දීප්තිය දැනුදු මගේ සිත ඔහුගේ අමරණීය මතකයන් වෙත ගෙන යයි.

මේ හැරුණුවිට ජයකොඩි සෙනෙවිරත්න සූරීන් ස්වකීය නිර්මාණ සඳහා තැබූ නම්ද අති සුවිශේෂ බව මගේ කල්පනාවයි.
ඉතා කෙටියෙන් එක්කෝ එක් වචනයකින් එහෙමත් නැත්නම් වචන දෙකකින් යුතු ඔහුගේ නවකතා නාමාවලිය පමණක්ම වුවත් දුහුනෙකුට ස්වකීය ශාස්ත්‍රාලීය පර්යේෂණයක් සඳහා යොදාගත හැකි විෂය ක්ෂේත්‍රයක් බව මගේ අදහසයි.
‘නෑනා, වක්කලම, කස්තිරම, කුමාරිහාමි, චූටි නැන්දා, අනුත්තරා, පාළොස් පැය, අක්වැල්ල, තණවිලවත්ත, සොල්දර ගෙදර, මල් මැණිකේ, පංච කල්‍යාණි, සුදාරි, දෙමස්සිනෝ, සහෝදරයෙක්, දිසාපාමොක්, කොලනිය, සුළිය, රන තිසරු, දීපා, රූමතිය, මිහිදුම් සළු, චූටි වෙදරාළ, රූබර දෝණි, ටිකිරිහාමු, මිනිස්සු, නොමිනිස්සු, පිනි පලස, රමණි, රාං කිරිල්ලි, වෙද මැඳුර, මිහිරාවිය, ඇස් බැන්දුම, හිතුවක්කාරි, වජිරපාණි, පටලැවිල්ල, කැලේ ගහ, අම්මයි දුවයි,අතවැසියෝ, කඩුපුල් මල්, පියගැටපෙළ…’ යනාදී සිය ගණනක් වූ ඔහුගේ නවකතා දෙස විමසුමෙන් බලන කවරෙකුට වුව මා මතු කරන කරුණු මැනවින් වැටහී යනු නිසැකය.

එසේම අන් ජනප්‍රිය නවකතාකරුවන් කිසිවෙක් නොකළ ලෙස ඔහු ළමා සාහිත්‍යයටද අතගැසුවේය. එක්වරටම ඒවායේ නම් මගේ මතකයට නො ආවත් ඒවාද අතිශය අපූරු නිර්මාණ වූ බව මට මතකය. ඒවාට බොහෝවිට සිතුවම් ඇන්දේ ජයරත්න සමරසේකර සූරීන් හෝ සුනිල් ශාන්ත මිතුරාය.

කිරිඳිවැලදී ඔහුගේ අසල්වැසියන් වූවේ කවීන්, චිත්‍ර ශිල්පීන්, භාෂා විද්වතුන් මෙන්ම නවකතා හා කෙටිකතාකරුවන්ය. නුගහේනවත්ත ආශ්‍රිතව පදිංචිව සිට නැසීගිය පියදාස නිශ්ශංක, ජයරත්න සමරසේකර, දො.ඩ.ඩයස්, කේ.ජී. කරුණාසේන ඒ අතර ප්‍රධානය.

එසේම නැසීගිය ජයවඩුවිතාන, ඔරුවල බන්දු, කේ. ජයතිලක, ජයසේන ජයකොඩි, ඇරැව්වල නන්දිමිත්‍ර, දෙල්තොට චන්ද්‍රපාල, පියසිරි විජේරත්න, කුලසේන ෆොන්සේකා වැනි ප්‍රවීණයින් ඔහුගේ සුමිතුරන්ව සිටි බවත් ඔවුන් සමඟ වරින්වර කිරිඳිවැල සිදු කළ හමුවීම් වල රසබර මතකයන් චිත්‍රපට රූපරාමු පෙළක් සේ මේ ලියන මගේ මතකය අවදි කරයි.

තවද අප සංවිධානය කළ කලා කටයුතුවලදී ප්‍රේමසිරි මාහිංගොඩ, ජේ.කේ.කුමාරදාස, කේ.ජී. ප්‍රේමරත්න, සේනාරත්න වීරසිංහ, ඩබ්ලියු. ජයවර්ධන, ඩබ්ලියු.ඒ. අබේසිංහ, රත්න ශ්‍රී විජේසිංහ, කරුණාරත්න අමරසිංහ, කමල් පෙරේරා, ටෙනිසන් පෙරේරා, සරත් විජේසූරිය, ජයතිලක කම්මැල්ලවීර, කාරියවසම් ජීවන්දර, ඒ.එම්.ඒ. ගුණතිලක, සුනිල් ශාන්ත, සරත් ප්‍රේමතිලක, රූ.පෙ. විජේසිංහ, යසවර්ධන බද්දෙවිතාන, සුසිල් දසනායක වැනි අප සුමිතුරන් හා ඔහුගේ තිබූ ලෙන්ගතුකම අතිශයින්ම ආස්වාදජනක මතක සටහන් රැසක් ලෙස මසිත රැඳී ඇත.

අද උදාසන ඔහුගේ නික්මයාම සැලවූ මොහොතේ හාන්සි පුටුවේ වැතිරගෙන ඔහු පිළිබඳ මගේ මතකය මෙලෙස සටහන් කළේ සම්පූර්ණයෙන්ම මගේ මතකයෙන් පමණක් නිසා සමහර කරුණු නිවැරදි නොවන්නට පුළුවන.
එසේ වී ඇත්නම් දින වකවානු හෝ නම් ගම් පමණි. කරුණු හා සිදුවීම කිසිසේත් වැරදිය නොහැකි හෙයින් මෙය මේ මොහොතේම පළ කරන්නේ තම යුතුකම් සියල්ල නිමකොට සතුටින් නික්ම යන මගේ වැඩිහිටි මිත්‍රයා වෙනුවෙන් මා කළ යුතු බලවත්ම යුතුකමක් නිසාය.

එහෙයින් මේ සටහනේ අසම්පූර්ණ බවට පාඨකයෝ කමත්වා.
අපි ආයෙත් කෙදින හෝ හමුවෙලා කතා කරමු ජයකොඩි මහත්තයෝ. එතෙක් ඔබට සුබ ගමන්.

කුමාර අලගියවන්න

2022.09.22 දින පෙ.ව.9.30 ට

සබැඳි

Leave a Reply

Your email address will not be published.