‘ආපුටුංගෝ මාපුටුංගෝ’ කෘතිය හෙට (23) BMICH හිදී

හෙට (23) උදේ 10.00ට පොත් ප්‍රදර්ශන භූමිය තුළ ඔබත් ඉන්නවා නම් වටිනවා.
ආපුටුංගෝ මාපුටුංගෝ කෘතිය නිල වශයෙන් එළිදැක්වීමේ උත්සවය හෙට 23 වෙනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේ දී පැවැත් වෙනවා. මටත් ඒ උත්සවයට වේලාව නොවරදවා සහභාගි වෙන්න වෙලා තියෙනවා.
‘ආපුටුංගෝ මාපුටුංගෝ’ කෘතියේ තියෙන්නේ බෙහෙවින් රසවත් කතාවක්.

එය ඇයගේ කතාවයි. ජීවිතය විඳින්නට පුරුදු වූ සාමාන්‍ය ගැහැනියකගේ කතාව යි. සැර විදුහල්පතිවරයකුගේ දියණියක වශයෙන් ද, පිස්සු නටන කෙල්ලක ලෙසින් ද, උපාධි අපේක්ෂිකාවක් වශයෙන් ද, උසස් පෙළ පංතිවලට විද්‍යාව උගන්වන ගුරුවරියක වශයෙන් ද, ගුවන් විදුලියෙන්, රූපවාහිනියෙන් ඔබට රස කතා කියන ඔබ දන්නා හඳුනන කෙනකු විදියට මං ඇය ගැන කියන්නට කැමතියි.

පොතේ අන්තර්ගතය ගැන වැඩි යමක් ලියන්නට යන්නේ නෑ.
‘ආපුටුංගෝ මාපුටුංගෝ’ කියන්නේ මොකක්ද කියලා කුතුහලයක් ඇති නේ. ඒ ගැන පමණක් ලියන්නම්.

උපුටනය – ආපුටුංගෝ මාපුටුංගෝ කෘතියෙන් …

පක්ෂීන් ගැන කියන විට අපේ පොඩි නැන්දා, කුඩාවුන් නිදි ගන්වන්නට, වටු කිරිල්ලියක ගැන කී අපූරු කතා පුවත සිහිපත් වන්නේ නිතැතිනි.

ගල්පැල්මක් අතරට වැටුනු බිත්තරය බේරා ගන්නට ඇය අපමණ වෙහෙසක් දරන්නී ය. මිනිසුන් වන අප පමණක් නොව, සියලු‍ සතුන් මෙලොවට ගැට ගසා තබන, ඒ සවිමත් යදම දරු සෙනෙහස යි.
බිත්තරය බේරා ගන්නට මහත් වැර වෑයමක් දරන වටු කිරිල්ලිය අනතුරුව ගල්වඩුවා සොයා යන්නී ය.

“ආපුටුංගෝ මාපුටුංගෝ
මොකදෑ බොල කිරිල්ලියේ
මෙහෙ ආවෙ?
“මට ආපුටුංගොත් එපා
මට මාපුටුංගොත් එපා
ගල්වඩු මාමේ,
මං ගලක් උඩ බිත්තරයක් දැම්මා.
ඒක ගල්පලහිල අස්සෙ ගියා.
ඒක ගන්ටයි මං ආවේ”
“අනේ බොල කිරිල්ලියේ
රටටත් ගමටත් තියෙන්නෙ ඔය ගල විතරයි!
ඒක නම් කඩන්ට බෑ”‍

ඉනික්බිති කිරිල්ලිය ටිගොල සොයා යන්නී ය. මේ ටිගොල් කටුවලට අප කියන්නේ තිබොල් කියා ය.’ තිබොල් කටු පොළොවට පතිත වූ විට, කටු තුනක් පොළොවට සමබර ව සිටින සේ, කනප්පුවක් සේ පා තුනකින් සිටගෙන, එක් කටුවක් උඩුහුරු කොටගෙන’ බලා සිටින්නේ’ කාගේ හෝ යටි පතුලක් ඉලක්ක කරමිනි.

“‘ආපුටුංගෝ මාපුටුංගෝ
මොකදෑ බොල කිරිල්ලියේ
මෙහෙ ආවෙ ?’ ටිගොල අසන්නේ ය
‘මට ආපුටුංගොත් එපා
මාපුටුංගොත් එපා
ගල්වඩු මාමේ,
මං ගලක් උඩ බිත්තරයක් දැම්මා.
ඒක ගල් පල හිල අස්සෙ ගියා.
ගල්වඩු මාමට ගල බිඳින්ට යි කීවා.
උන්දෑ බෑ කිව්වා.
උන්දෑ ගේ යටි පතුලේ ඇනීයන්”‍”
මෙහි ‘ගල්පලහිල’ යනු ගල පැලී යාම නිසා ස්වාභාවිකව ඇතිවූ සිදුරක් විය හැක.
“අනේ බොල කිරිල්ලියේ
රටටත් ගමටත් ඉන්නෙ ඔය ගල්වඩු මාමා විතරයි!
ඒක කොරන්ඩ’ බෑ”‍

අම්මාවරු ලෙහෙසියෙන් අදහිරියට පත්වන්නේ නැත.
ඉතින් කිරිල්ලිය ගින්දර සොයා ගොස් ටිගොල’ පුච්චන්නට කියන්නී ය. ගින්දර ඊට අකමැති වන විට ගින්න නිවා දමන්නට වතුරට ආරාධනා කරන්නී ය. වතුර, ගිනි නිවන්නට අකමැති වන විට අලියාට, වතුර සියල්ල බී අහවර කරන්නට කියන්නී ය. අලියා ඊට අකමැති වන්නේ ය. සියල්ලන්ගේ උත්තරය වන්නේ මේ රටටත් ගමටත් ඇත්තේ එවැනි සම්පත්’ එකක් බව ය.
මේ දීර්ඝ සංවාදය අවසානයේ ඇයට පිහිට වන්නේ ඈ මෙන් ම කුඩා සතෙකි. ඇය ද මාතාවකි.

අලියාගේ හොඬ තුළට රිංගන්නට මී අම්මාගෙන් ඉල්ලා සිටි විට මී අම්මා’ ඊට එකඟ වන්නේ වටු කිරිලි අම්මාගේ දරුදුක වැටහෙන නිසා විය යුතු ය.

සොඬයේ රිංගා ගනිතැ’යි බියෙන් මී අම්මාට බියවන අලියා වතුර බොන්නට යන විට වතුර, ගින්දර නිවන්නට එකඟ වන්නේ ය. එහෙයින් ගින්දර, ටිගොල පුච්චන්නට කැමැත්ත පළ කරන්නේ ය. ටිගොල වඩු මාමාගේ පයේ ඇනෙන්නට යන්නේ ය. බියට පත්වන ගල්වඩු මාමා ගල පලා කුරුලු‍ අම්මාට බිත්තරය රැගෙන දෙන්නේ ය.
හුදෙක් ලාභය පමණක් පතා, විශාල ගල් පර්වත වෙඩි බෙහෙත් ලා පුපුරුවා කුට්ටි කරන විට, “අනේ බොල කිරිල්ලියෙ, රටටත් ගමටත් තියෙන්නෙ ඔය ගල විතරයි”‍ කියමින් එදවස ගල කැඩීම ප්‍රතික්ෂේප කළ ගල් වඩු මාමා සිහියට නැගෙන්නේ ය.
උපුටනය අවසන්.

මේ කෘතිය බිම තියන්නට හිතෙන්නේ නැති එකක්.

මහින්ද ගුණවර්ධන

සබැඳි

Leave a Reply

Your email address will not be published.