සිංහල නවකතාව සෙවන කළ වෘක්ෂයක බිඳ වැටීම

අප ප්‍රිය මිත්‍ර ජයකොඩි සෙනෙවිරත්න මහතා ඊයේ රාත්‍රියේ තම දිවි සැරිය නිම කළේය.

2020 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී මගේ අතින් අල්ලාගෙන බොහෝ වේලාවක් සල්ලාපයේ යෙදී සිට “ආයි ඉඩ ලැබුණු වෙලාවක අපේ ගෙදර ඇවිත් යන්න එන්නැයි…” ඔහු කියද්දි ඒ අප දෙදෙනාගේ අවසන් හමුව වනු ඇතැයි නොසිතීමි.
සෙනෙවිරත්න මහතාගේ කිරිඳිවැල නිවසේ එළියේ සිසිළැති සෙවණේ පුටු දෙකක් තබාගෙන වාඩි වී ඔහු ඉතා පිළිවෙළට කපා, අළවා සකසා තිබෙන තම පොත් ගැන වන පුවත්පත් දැන්වීම්, සම්මුඛ සාකච්ඡා, දැන්වීම් අඩංගු දහයක් පමණ වන ඇලබමයන් බලමින්, ලංකාවේ ග්‍රන්ථ ප්‍රකාශන කර්මාන්තයේ එක් යුගයක් පිළිබඳ තොරතුරු විමසමින් ගෙවූ දීර්ඝ පැය ගණන් මට මේ මොහොතේ සිහිවේ. එළෙසින්ම ඔහුගේ ඉතා පිළිවෙළ මුතුවන් අත් අකුරු මට දැනුදු මැවී පෙනේ. එතරම් සුපිළිවෙල අත්පිටපත් නම් මා කෙදිනකවත් දැක නැත.

දෙවියනේ…එතරම් නිර්ව්‍යාජ, අවංක, පිළිවෙළ සහිත මිනිසෙක්…ඇසුරෙහි සිසිළක්ම දනවන මිතුරෙක්…
සිංහල නවකතාව පඩි පෙළක් නම් සෙනෙවිරත්න මහතා නවකතාකරණයට පිවිසෙන යුගයේ එහි මුදුනේ සිටියේ වික්‍රමසිංහ, අමරසේකර, සරච්චන්ද්‍ර, ජයතිලක…වැන්නවුන් ය.

කරුණාසේන ජයලත්ගේ ‘ගොළු හදවත’ ට වසරේ හොඳම නවකතාව ලෙස රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබීම නව නවකතා ශානරයකට ලාංකීය නවකතා බිමෙහි ගරු ස්ථානයක් හිමිකර දීමට හේතු වූවා වැන්න.

ඒ නවකතා ශානරය මා මුලින් සඳහන් කළ ඉහළ තළයේ නවකතාකරුවන්ගේ නවකතාවන්හී කලාත්මක හා දාර්ශනික ලක්ෂණ පුළුල්ව ඉස්මතු කළේ නොවුනද ඒ තුළ සිංහල නවකතාව ඒ වනවිට අත්පත් කරගෙන තිබූ නිර්මාණාත්මක හා ශිල්පීය ගුණයන් ගෙන් අඩුවක් නොවීය.

ජයකොඩි සෙනෙවිරත්න යනු මේ නවකතා ශානරයේ ප්‍රභල පුරුකකි.

චන්ද්‍රසේන කිරිවත්තුඩුව, මිත්‍රසේන ජීරසිංහ, නිව්ටන් ගුණසේකර වැන්නවුන් මේ නවකතා ශානරය දියුණු කළ තවත් කිහිප දෙනෙකි.

දයාවංශ ජයකොඩි සමාගම මෙන්ම බොරැල්ලේ ආනන්ද වීරසේකර මාවතේ කේමදාස මාස්ටර්ගේ ‘සංගීත මංජරිය’ තිබූ ගොඩනැගිල්ලේ තිබූ ‘පුබුදු ප්‍රකාශන’ ආයතනය මේ නවකතා ශානරයට බෙහෙවින් බර තැබූ ප්‍රකාශකයන් ය. ගුණසේන සමාගමද එකළ එවැනි නවකතා ගොන්නක් පළ කළේය.
එම නවකතා ශානරය ජනතාව අතර කෙතරම් ජනප්‍රිය වූයේදැයි කියතොත් ටෝනි රණසිංහ, ජෝ අබේවික්‍රම වැනි එවක ජනප්‍රිය නළුවෝද පුබුදු ප්‍රකාශන හරහා නවකතා එළි දැක්වූවෝය.

එකළ එම නවකතාවක පළමු මුද්‍රණය පිටපත් දස දහසක් අළෙවි වීම සාමාන්‍ය තත්වයක් විය.

පසුව මේ නවකතා ශානරය ක්‍රමයෙන් එහි කලාත්මක හැඩයන් අව පැහැ ගන්වමින් ගමන් කිරීම හා අද වන විට ඒ හැඩයන් ප්‍රකාශන වෙළඳපල තුළ ප්‍රමුඛ වීමට යත්න දැරීම වෙනම සාකච්ඡා කළ යුතු දෙයකි. ඊට හේතුවූ ප්‍රධාන කාරණා අතර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ප්‍රකාශන වෙළඳපල තුළ අධි නිශ්චය වීම තුළ ග්‍රන්ථ ප්‍රකාශකයන් 2005 වසරෙන් පසු බහුල වීමද එක් හේතුවකි.

ඒවා වෙනම සාකච්ඡා කළ යුතු මාතෘකාය.

ඉහත කී නවකතා ශානරය 60 දශකයේ මැද භාගයෙන් ඉහළට එසවී 70 දශකයේදී ජය කෙහෙළි නංවද්දී ඒ නවකතාව තුළ වූ කලාත්මක ගුණය හා ඊට අනන්‍ය භාෂාත්මක හා ශිල්පීයමය හැඩය බිඳ නොගත්, එහි ජීව ගුණය නොසිඳී රඳවාගත් වැදගත්ම නවකතාකරුවා ජයකොඩි සෙනෙවිරත්න මහතා බව මගේ පිළිගැනීමය. ඒ හැඩය ඔහු තමන්ගේ අවසාන නවකතාව දක්වාම පවත්වා ගත්තේය.

ඔහුගේ නවකතාවලියෙහි අග්‍රඵලය ‘කුමාරිහාමී’ නවකතාවය.

90 දශකයේ මැද භාගයෙන් පසුව සිංහල කලාත්මක නවකතාව අහිමි කරගත් නවකතා රචනයේ නාටකීය හැඩය (Story telling) කුමන තත්ත්වයක් තුළදීවත් අහිමිකර නොගත් ලේඛකයෙකි ජයකොඩි සෙනෙවිරත්න.
ඔහුගේ නවකතා රචනයේ අනෙක් සුවිශේෂතාව වූයේ නිර්ව්‍යාජත්වයයි.
සිංහල නවකතා බිමෙහි මහා පදාසයක් සෙවන කළ වෘක්ෂයක් බඳු නිහතමානී, අවංක ජේෂ්ඨ මිතුරාණනි, ඔබ පැතූ මෝක්ෂය ඔබට අත්පත් වේවා!

ජනක ඉනිමංකඩ

සබැඳි

Leave a Reply

Your email address will not be published.