සැප්තැම්බරයේ මිලින වූ සාහිත්‍ය රන් තරුව, ජයකොඩි සෙනෙවිරත්න

1936 වසරෙ මාර්තු මාසෙ 20 වැනිදින මෙලොව එළිය දුටු ජයකොඩි සෙනෙවිරත්නයන්, 1968 වසරේ ලේඛන දිවියට පිවිස සිංහල සාහිත්‍යයට අපමණ සේවයක් කර, අගනා සාහිත්‍ය කෘති රැසක් දැයට දායාද කරමින් ඊයේ (21) මැදියමේ “ආදර ගඟ ගලන දෑස” පියාගත්තේය.

ආදර ගඟ ගලන දෑස
චූටි වෙදරාළ
රස කතා
ගුරු මහ දසාව
සිත්තරෙකුට පෙම් බැඳ
දෙමස්සිනෝ
මිහිඳුම් සළු
රන තිසරු
රන් කුසලානය
සහෝදරයෙක්
සුදු හාමිනේ
රමණි
රං කිරිල්ලි
මල් මැණිකේ
නොමැරෙන මිනිස්සු
අනුත්තරා
සොල්දර ගෙදර
අග මෙහෙසිය
කුමාරිහාමි
වක්කලම
පටලැවිල්ල
සුළිය
උඩු මහල
තණ විල වත්ත
අවපාතය
කස්තිරම
පොඩි හාමුදුරුවො
අඬු අඬුව
මිනිස්සු
නොමිනිස්සු
පියගැට පෙළ
නෑනා
හිතවතා
නිකිණි වැස්ස
අම්මයි දුවයි
කොලනිය
දූ කුමාරි
අතවැසියෝ
වජිරපාණි
රූමතිය
බිංදුගෙ කරණම
මිහිරාවිය
තිසාලා සහ විශාකා
සුදුරූකඩ
වෙද මැදුර
බකිනි මල
රන් තරුව
දීපා
කටු අත්ත
අස්වැසුම
තරු පොකුරු
ලොකු පුතා
රූබර දෝණි
හිතුවක්කාරි
පාළොස් පැය
රිදී සේල
පංචකල්‍යාණි
සුන්දර සහ දේවින්ද
පිනි පලස
ස්වරණ වර්ණ
උරචක්‍රමාලය
කිරි ගෙදර
නෙරළු උයන
කැලේ ගස
දිසාපාමොක්
සුධාරි
අක්වැල්ල
ටිකිරි හාමු…
ආඬි හත්දෙන
ලෝකෙට ලොක්කා
රෝස්මර් පර්ල් හෙවත් මුතු

මේ ඉහතින් ඇත්තේ අපේ රටේ ජ්‍යේෂ්ඨ කතුවරයෙකු වූ ජයකොඩි සෙනවිරත්න මහතා විසින් රචිත මහා පොත් කන්ඳෙන් හදිසියේ මතකයට නැඟුනු නම් පෙළකි.

තව බොහොමයක් නම් මේ මහ රෑ මගේ මතකයට නැඟේ..

60 දශකයේ සිට 2020 දක්වා පිලිවෙලින් පලවූ එතුමාගේ සෑම පොතක්ම මම කියවා ඇත්තෙමි. ඒ සෑම පොතකම චරිත හා පාත්‍ර වර්ගයා පිලිබඳව මට හොඳ මතකයෙන් කියන්නට හැකිය.

පොතක තුබූ ඇතැම් සිද්ධි චිත්‍රපට දසුනක් සේ මට හොඳටම මතකය. ඒ මා පොත් තුල ජීවත්වූ නිසාම නොවේ එතුමා ගේ ලේඛනවල තිබුනේම ශ්‍රී ලාංකිකයින් වූ අපගේ ගමේ ජීවන සුවඳය. ඒ සෑම කතාවකම පම පිහිටුවා ලූ ගමක පවුලක සංසිද්ධි විය ප්‍රේමය ,කරුණාව, අනාදරය,ඊර්ෂ්‍යාව,අකරුණාව, මහා මනුස්සකම ඔය ආදී වූ මිනිස් සිත් සතන් වල හැසිරීම එතුමා අපූරුවට අකුරු කලේය.

2015 හෝ 2016 දී මම එතුමන් හා ඒ මැතිනිය ජීවිතේ මුල්වරට මුන ගැහුනේ එතුමන්ගේ ආදරණීය දියණිය හිරු හා පවුලේ අය සමඟ පොලොන්නරු ආ ගමනකදී මගේ නිවසේදීය.

දෙවනවර අප හමුවූයේ 2017 වසරේ දී එතුමන්ගේ සාහිත්‍ය ජීවිතය අගයා මහවැලි කේන්ද්‍රයේ පැවැති හමුවේදීය.
ඉතින් එතැන් සිට අප හමුවූයේ දුරකතන වයර් ඔස්සේය. කතා බහේදි එතුමන්ගේ සැහැල්ලු හා නිර්ව්‍යාජ හඬ ප්‍රකාශය එතුමන්ගේ ලේඛන තරමින්ම රසවත් ය.

සැප්තැම්බරයේ සුපුරුදු සාහිත්‍ය යුධ සමය ඇරඹෙද්දී සුපුරුදු ලෙස පොත් ප්‍රදර්ශනයේදි අප ආදරය කරන බොහෝ පැරැණි ගත් කතුවර කතුවරියන් දැක බලාගන්නට ලැබීම අප්‍රමාන වාසනාවකි.

එහෙත් මෙවර සැප්තැම්බරයේදී මගේ මේ රසවතා ගේ පමණක් නොවේ එතුමාගේ දියණියගේ නිහඬතාවයද පුදුමයකි. දුරකතනය ඔස්සේ ඇසෙන්නේ ඇගේ නැලවිලි හඬ නොව..එතුමන් අසනීපයෙනි.
මෙලොව පුදුම නවාතැන් පලකි. ඉඳහිට ඓශ්චර්‍යයන් සිදුවන්නට පිලිවන..ඔව් මමද මගේ දරුවන්ද එසේ වේයැයි බලාපොරොත්තු වූයෙමු.

දැඩි අවු රශ්මිය හා දුහුවිල්ල නිසා සුපුරුදු ලෙස මා ආක්‍රමණය කල ස්වසන අපහසුව නිසා මේ දිනවල මම දුරකතනයෙන් ඈත්ව වෙසෙමි. එහෙත් ඊයේ පස්වරුවේ මගේ දියණියක එතුමන් ගේ පොතක චරිතයක් පිලිබඳ සිහිපත් කල හෙයින්.. හෙට නොවැරදීම එතුමන්ගේ දියණිය අමතා එතුමාගේ අලුත් තත්වය විමසන්නෙමැයි සිතා නින්දට පිවිසීමි.

විනාඩි 5 ක් තුල මම ඉතා ගැඹුරු නින්දකට අවතීර්ණ වීමි. දැන් මේ ඒනින්දෙන් මම අවදිවූ මොහොතය..
රාත්‍රි 12.04 .. දෙවියනේ ඒ අඳුරු පනිවිඩය මුහුනු පොත පුරාම පලවී තිබේ.

මට එතුමන්ගේ කාරුණික සිනහ මුහුන මැවී පෙනේ..දිනක් එතුමන් විසින් රචිත නෑනා පොතේ නෑනා විසින් කියවන දෙබසක් මගේ දුව එතුමා අභිමුවේ කියැවීය. ඒ ඇස්වල දීප්තිය මට තාම මතකය.

“මේ දරුව ඒ කියවපු දෙබස මට මතකවත් නෑ……”

තමන්ගේ පොතක් ගැන පාඨකයින් දහසක් දෙනා කල අගැයීමක් තරම්ම සතුටක් එතුමා මගේ දියණියගේ ඒ එකම වැකියකින් විඳි බව ඒ ඇස් සාක්කි සටහන් තැබීය.

60 දශකයෙන් ඇරැඹි අපේ රට කලාවෙන් පෝෂණය කල මහා පුරුෂයො බොහොමයක් මේ වන විට බටහිර අහස් තලයෙන් බැස නිවී ගිය තරු ගොන්න අතරේ නිවී ගොසිනි. එහෙත් ඒ කිසිවෙකුත් අපේ හද මඬලින් බැස ගොස් නැත. අපගේ මරණය තෙක්ම ඉතින් ඒ යුග පුරුෂයෝ අප තුල ජීවත් වෙති.එතකුදු නොව සිරිලක් මව පවතින තුරුම ඔවුන්ගෙ නාමයෝ නොනැසෙති

ජයකොඩි සෙනවිරත්න නම් ඒ මහා ලේඛකයාගේ නාමයද එතුමන්ගේ මහ පොත් කන්ඳද තවත් යුග ගනනාවක් මේ රටේ සාහිත්‍ය පිපාසිතයින්ගේ මනදොල පියවනු සහතිකමය.

සැප්තැම්බරයේ සාහිත්‍ය මහෝත්සව සමයේ නිවී ගිය “රන් තරුව” ජයකොඩි සෙනවිරත්න මහතානෙනි දෙව් මිනිස් සැප කෙලවර උත්තම නිර්වාණයෙන් නිවී සැනසෙනු මැනවි..

ඉන්දුමතී ජයසේන

සබැඳි

One Comment

Leave a Reply

Your email address will not be published.