අතුරුදන් වූ අංජන කුලතුංගගේ සිරුර මහවැලි ගඟෙන් හමුවෙයි

පේරාදෙණිය ප්‍රදේශයේ මහවැලි ගඟේ තිබී ඊයේ (21) පස්වරුවේ සිරුරක් සොයාගෙන ඇති අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙනුම ලබමින් සිටි අංජන කුලතුංග නමැති සිසුවාගේ යැයි සැක කරයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රාස්ත්‍ර පීඨයේ සිව්වන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි අංජන කුලතුංග පසුගිය 16 වන දින සිට අතුරුදහන් වී සිටින බවට පවුලේ ඥාතීන් විසින් පේරාදෙණිය පොලීසිය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් වී තිබිණි.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ යක්කල ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි වියේ පසුවූ අංජන කුලතුංග බවට තහවුරු වෙමින් පවතියි.

මේ අතර මියගොස් ඇති සිසුවා නවාතැන්ගෙන සිටි කාමරයේ තිබී ඔහු විසින් ලියූ බවට සැක ලිපියක් ද පොලීසිය විසින් සොයාගෙන ඇත.

මේ ගතවෙන්නෙ සියදිවි නසාගැනීම් වැලැක්වීම පිළිබඳ මාසය. පහුගිය අවුරුදු 19 ක් තිස්සේ හැම අවුරුද්දකම සැප්තැම්බර් 10 වෙනිදා සියදිවි නසාගැනීම් වැලැක්වීම පිළිබඳ ජාත්‍යන්තර දිනය ලෝකය පුරාම සමරනු ලබනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව හැම අවුරුද්දකම ලෝකය පුරා පුද්ගලයන් ලක්ෂ හතකට වැඩි ප්‍රමාණයක් සියදිවි නසා ගන්නවා. එයින් 77% ක් ම සියදිවි නසාගැනීම් වෙන්නෙ පහළ සහ මධ්‍යම ආදායම් ලබන රටවල (WHO, 2022).

ශ්‍රී ලංකාව ගත්තොත් ලෝකයේ සියදිවි නසාගැනීම් වැඩි රටවල් වලින් එකක් විදියට දශක ගණනාවක් වාර්තා තියලා තියෙනවා. 1995 දි ශ්‍රී ලංකාවේ පුද්ගලයන් ලක්ෂයකට 47 ක් සියදිවි නසාගැනීම් වාර්තා වෙලා තියෙනවා. ඒ ලෝකයේ දෙවෙනි ස්ථානය හැටියට. එවකට හිටපු ජනාධිපතිතුමිය සියදිවි නසාගැනීම් වැලැක්වීම පිළිබඳ ජනාධිපති කාර්‍යසාධක බලකායක් පත් කරලා එහි නිර්දේශ අනුව පාසල් විෂය නිර්දේශයට ජීවන නිපුණතා ඇතුලත් කිරීම, පළිබෝධනාශක පාලනය සහ නියාමනය කිරීම වගේම දණ්ඩ නීති සංග්‍රහයේ සියදිවි නසාගැනීමට උත්සාහ කිරීම වරදක් බවට සඳහන් වගන්තිය ඉවත් කිරීම දක්වා විවිධ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. නමුත් ඒ කාලයේ ඉඳලා තාමත් ජනමාධ්‍ය වලින් සියදිවි නසාගැනීම් වාර්තා කරන ආකාරය වගේ සමහර දේවල් වෙනස් කරගන්න ලැබිලා නෑ.

කොවිඩ් වසංගතයත් එක්ක ලෝකයේ සියදිවි නසාගැනීම් වැඩි වෙන්න පුළුවන් කියල වසංගතය ආරම්භයේදී ම අපේක්ෂා කලා. ඒ වගේම බරපතළ ආර්ථික අර්බුද වලට මුහුණ දෙන සමාජ වල සියදිවි නසාගැනීම් වැඩියි. මේ අර්බුද දෙකටම මුහුණ දෙන ශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීම් වැලැක්වීම ජාතික ප්‍රමුඛතාවක් විය යුතුව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මානසික සෞඛ්‍ය ආයතනයක හෙද නිළධාරිනියක් සියදිවි නසාගත්තේ ගිය මාසෙ. මේ සතියේ මානසික සෞඛ්‍යය ගැන යූ ටියුබ් චැනල් එකක් පවා කරගෙන ගිය ජාතික විශ්වවිද්‍යාලයක මනෝවිද්‍යා උපාධි අපේක්ෂකයෙක්. ඒ මානසික සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ දැනුමක් තියෙන අය.

1995 න් පස්සෙ ශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීම් සංඛ්‍යාව ක්‍රමයෙන් පුද්ගලයන් ලක්ෂයකට 15 දෙනෙක් දක්වා අඩු වුණා. සංඛ්‍යාත්මක දත්ත නැතත් 2019 න් පස්සෙ ශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීම් නැවත වැඩි වීමේ ප්‍රවණතාවක් දැකගන්න පුළුවන්.

2020 අවුරුද්දේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සියදිවි නසාගැනීම් වැලැක්වීම සඳහා නව මාර්ගෝපදේශ සංග්‍රහයක් නිකුත් කලා. ඒ වගේම 1926 ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාව මේ වෙනකොට වට්සැප් ඔස්සේ පවා සම්බන්ධ වියහැකි ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. නමුත් මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරන අය අතර පවා සියදිවි නසාගැනීම් වාර්තා වීම ඛේදවාචකයක්. මේ ගැන අධ්‍යයනය කිරීම, වාර්තා කිරීම, සියදිවි නසාගැනීම් වැලැක්වීම සඳහා නිසි විද්‍යාත්මක ක්‍රියාමාර්ග ගන්න බල කිරීම සමාජයේත්, විද්‍යාර්ථීන්ගේත් වගකීමක්.

සබැඳි

Leave a Reply

Your email address will not be published.