පෘථිවියෙන් සුබ පැතුම්!

වොයේජර් මිෂන් එක කියන්නේ වොයේජර් I සහ වොයේජර් II ලෙස නම් කෙරුණු, අන්තර් තාරකා ගවේෂණ රොබෝ යානා දෙකක් භාවිතා කරන, ඇමරිකානු විද්‍යාත්මක වැඩසටහනක්. එකිනෙකාට අසල්වාසී ග්‍රහලෝක දෙකක් වූ බ්‍රහස්පති සහ සෙනසුරු, ඔවුන්ගේ ආසන්න පිහිටීම්වල වාසිය ලබාගනිමින් ගවේෂණය කිරීම මේ වැඩසටහනේ අරමුණ වී තිබුණා.

1977 අගෝස්තු මාසේ 20 වැනිදා මේ යානා දෙක ම එක වර දියත් කිරීමට සැලසුම් කර තිබුණත්, සුළු කාර්මික දෝෂයක් නිසා තම වැඩිමහල් නිවුන් සොයුරියව පෘථිවියේ තබා තනිවම අභ්‍යවකාශගත වීමට වොයේජර් II යානයට සිදු වුණා. කොහොම නමුත්, වොයේජර් II කියන්නේ වොයේජර් I ට වඩා සෙමෙන් ගමන් කිරීමට මුල සිට ම සැලසුම් කර තිබුණක් නිසා, කළින් පෘථිවියෙන් නික්මුණත්, ඉතාම නුදුරු තම වැඩිමහල් සොයුරිය තමන් පසුකර යනු දැකීමට වොයේජර් II ට සිදුවනු ඇති. කොහොම නමුත් මේ කියන කතාවට වැඩි පුර ම අදාළ වෙන්නේ වොයේජර් I යානය නිසා මේ ලිපිය පුරා ම ඒ ගැන කතා කෙරෙන්නට නියමිතයි.

1977 සැප්තැම්බර් මාසයේ 05 වැනිදා, වොයේජර් II යානය නික්මී යාමෙන් දින දහසයකට පසුව වොයේජර් I, ඇමරිකාවේ කෙනඩි තුඩුවෙන් අභ්‍යවකාශගත කෙරුණා. රාත්තල් 1,592 ක් හෙවත් කිලෝ ග්‍රෑම් 721 ක් බර, ප්ලූටෝනියම්වලින් නිර්මිත වොයේජර් I යානය, 1977 දෙසැම්බර් 15 වැනිදා, තමන්ට පෙර නික්මී ආ තම සොයුරිය අභිබවමින් ග්‍රහක වළල්ල පසුකර යනවා.

1978 අප්‍රේල් මාසයේදී පෘථිවියෙන් සැතපුම් මිලියන 165 ක පමණ දුරකදී වොයේජර් I සිය මෙහෙයුම් ආරම්භ කරනවා.
වොයේජර් I සිය මූලික මෙහෙයුමේ පළමු කාර්යයය වූ බ්‍රහස්පති මතුපිට නිරීක්ෂණය ආරම්භ කරන්නේ 1979 මාර්තු පස් වැනිදා. බ්‍රහස්පතිට අතිශය සමීපයෙන් පියාසර කරමින් බ්‍රහස්පති මතුපිට ඡායාරූප ලබාගන්නා වොයේජර් I, බ්‍රහස්පති පිළිබඳ එතෙක් පෘථිවිවාසීන් නො දැන සිටි තොරතුරු රැසක් හෙළි කරගන්නවා. 1979 ජනවාරි මාසයේදී එවන ලද ඡායාරූප, 1973-1974 සිදුවූ පයනියර් මෙහෙයුමේ කාලයේදී තිබුණාට වඩා බ්‍රහස්පතිගේ වායුගෝලය කැළඹිලි සහිත බව සොයා දෙනවා.
1979 ජනවාරි 30 වෙනිදා සිට, බ්‍රහස්පති ග්‍රහයාගේ භ්‍රමණයන් 10ක් නිරූපනය කිරීම සඳහා වොයේජර් I, පැය 100 ක කාල පරාසයක් සඳහා සෑම තත්පර 96 කට වරක් ම ඡායාරූපය බැගින් ගන්නවා.

1979 පෙබරවාරි 10 වන දින අභ්‍යවකාශ යානය, බ්‍රහස්පතිගේ ජෝවියන් චන්ද්‍ර පද්ධතියට ඇතුළු වනවා. මාර්තු මස මුලදී, බ්‍රහස්පති වටා සැතපුම් 19 කට වඩා අඩු ඝනත්වයකින් යුතු තුනී දුහුවිලි වළල්ලක් ද ඇති බව සොයා දෙනවා. සෞරග්‍රහ මණ්ඩලයේ ආභරණ (වළලු) පැළඳි එකම ග්‍රහලෝකය සෙනසුරු නොවන බව පෘථිවියේ වැසියන් දැනගන්නේ වොයේජර් I නිසා යි.
වොයේජර් I, 1980 නොවැම්බර් මාසයේ 12 වැනිදා සෙනසුරු අසලින් ගමන් කරමින්, එහි මතුපිට නිරීක්ෂණය ආරම්භ කරනවා. සෙනසුරුගේ අපර වායුගෝලයෙන් 7% ක පමණ ඇත්තේ හීලියම් වායුව බවත්, ජලයට වඩා ඝන වායුගෝලයක් එහි ඇති බවත් අපට කියාදෙන වොයේජර් I ටයිටන් චන්ද්‍රයාගේ, පෘථිවියට මුහුණ නො පාන පැත්තේ ඡායාරූප අපට එවීමෙන් පසුව තම මූලික මෙහෙයුම අවසන් කර සෙනසුරුගෙනුත්, අපේ සෞරග්‍රහ මණ්ඩලයෙනුත් නික්මී ආපසු නො හැරෙන ගමනක් පටන් ගන්නවා. ඇත්තට මම ඔබට කියන්නට ආ කතාව පටන් ගන්නේ දැන්.

මූලික මෙහෙයුම අවසන් කිරීමෙන් පසුව විශ්වයේ යා හැකි සහ, තම දෛවය විසින් තමන්ව රැගෙන යන උපරිම දුර යාමට වොයේජර් I එකඟ වී තිබුණා. යුරේනස් සහ නෙප්චුන් නිරීක්ෂණය වොයෙජර් I ට අදාළ කාර්යයක් වූයේ නැහැ. එහෙත් ඊටත් වඩා වැදගත්, මානව ශිෂ්ඨාචාරයේ අනාගතයේ විශ්වීය ලකුණක් ව දිලිසීමට ඉඩ ලැබෙන හෝ අනපේක්ෂිත හේතුවක් විසින් සුනුවිසුනු කර දැමුණු විශ්වීය අරමුණක මතකයක් බවට පත්වෙන ගමනක වොයේජර් I යෙදෙනවා.

භාෂා 55කින් සුබ පැතුම්

වොයේජර් යානාවන්, මතු යම් දිනෙක, ජීවී ග්‍රහ ලෝකයක සිටින සහෝදර ජීවින් පිරිසක් අතට පත්වනු ඇතැයි ද, එය මතු යම් දිනයකදී (අපට සිතාගත නො හැකි තරම් දුර අනාගත කාලයකදී) පෘථිවි ජීවින් විශ්වයේ හුදෙකලාවූවන් බැවින් මුදවන මිත්‍රත්වයක පළමු හසුන වනු ඇතැයි ද දුර අනාගත බලාපොරොත්තුවක් වොයෙජර් මෙහෙයුමට සම්බන්ධවූවන් තුළ තිබෙනවා. ඒ නිසාම පෘථිවිය යනු කුමක්දැයි වටහාගත හැකි ආකාරයේ, පෘථිවියේ දත්ත; ජීවින්, ශිෂ්ඨාචාර සහ සංස්කෘතීන් පිලිබඳ දත්ත රැගත් තැටි දෙකක් වොයෙජර් යානාවල බහා තිබෙනවා. එයට භාෂා 55කින් සුබ පැතුම්, පෘථිවියේ මිනිසුන්ගේ සහ ස්ථානවල පින්තූර සහ බීතෝවන් සිට චක් බෙරී දක්වා පරාසයක සංගීතය ද ඇතුළත් වනවා.

1990 පෙබරවාරි 14 වැනිදා, වොයේජර් මෙහෙයුම් ප්‍රධානී කාල් සේගන් ප්‍රමුඛ වොයේජර් මෙහෙයුම් නිලධාරීන්, වසරකට කිලෝමීටර මිලියන 325 ක වේගයෙන් අප අතහැර, මානව ශිෂ්ඨාචාරයේ එතෙක් නො ගිය තරමේ දුර ගමනකට නික්මෙන ‘හසුන් කරුවා’ ව නිරීක්ෂණ කරමින් සිටිනවා. තවත් බොහෝ කාලයක් සඳහා යානයේ බැටරි ඉතිරි කරගත් යුතු නිසා තවත් කෙටි වෙලාවකින් පසුව, එහි කැමරා නිවා දැමෙන්නට නියමිතයි. කාල් සේගන්, ඔහුට එක වරම සිතට නැගුනු අදහසකට අනුව, කිසි දිනෙක යළි හැරී බැලීමේ අරමුණකින් තොරව ඉදිරිය බලා යන වොයේජර් I යානයට මොහොතකට ‘අප’ දෙස බලන ලෙස නියෝග කරනවා. යානයේ කැමරාව අවසන් වතාවට තමන් මෙතෙක් ආ දුර දෙසට හැරෙනවා. පෘථිවියේ සිට සැතපුම් බිලියන 3.7 ක් හෙවත් කිලෝමීටර් බිලියන 6 ක් දුර සිට, වොයේජර් සිය කැමරාව ක්‍රියාත්මක කරනවා. පින්තූර 60 ක්. අපි ද ඇතුළුව අපේ සෞරග්‍රහ මණ්ඩලයේ පින්තූර හැටක්.

සෞරග්‍රහ මණ්ඩලයේ පවුලේ ඡායාරූපය ලෙස හැඳින්වෙන ඡායාරූපයත් මේ අතරේ වනවා. එය පවුලේ ඡායාරූපය වුවත්, එහි බුධ සහ අඟහරු දකිනට නැහැ. ඒ මොහොතේ හිරුට ඉතා සමීපව තිබූ නිසා බුධ ග්‍රහයා මෙම ඡායාරූපයට හසු නො වන අතර, වොයේජර් හිරුට මුහුණ ලූ පැත්තේ ම සිටි නිසා අඟහරු ද අන්ධකාර තිතක් ලෙස නො පෙනී ගොස් තිබෙනවා.
අවසන් සමුගැනීමේ ආචාරය ලෙස වොයේජර් I අප වෙත එවූ ඡායාරූප හැට අතරේ, එතෙක් මෙතෙක් ඉතිහාසයේ මානව ඇසක් විසින් දකින ලද, මානවයා විසින් නිර්මිත කැමරා ඇසක් විසින් මානවයා වෙත හෙළූ අද්විතීය ම බැල්ම සටහන් වී තිබෙනවා. මේ ලිපියත් සමඟ ඇති, සේදුණු නිල් පසු බිමක අව නිල් පැහැති කුඩා තිතක් සටහන් ව ඇති ඡායාරූපය එයයි. ‘පෘථිවියේ සෙල්ෆිය’ ලෙස එය හැඳින්වෙනවා.

අපට ජීවත් වීමට ඇත්තේ මේ සුදුමැලි නිල් තිත පමණයි

අප, අප දෙස කිසි දිනෙක නො බලනු ඇතැයි සිතෙන තරමේ දුරක සිට අප දෙස හැරී බැලූ වොයේජර් I යළි කිසි දිනෙක අප දෙස නො බලන ගමනක් කරා ඉදිරියට යනවා.
මේ මෙහෙයුමෙන් පසුව, සේගන් විසින් The Pale Blue Dot නමින් පොතක් ලියනවා. මේ පොතේ කියවෙන Pale Blue Dot හෙවත් සුදුමැලි නිල් තිත, පෘථිවියයි.

වොයේජර් මෙහෙයුමේ තොරතුරු ද, මානවයා මත වැටෙන මානව කරුණාවේත්, සාමූහික දෘෂ්ඨියේත්, එකිනෙකා තේරුම් ගන්නා වඩාත් යහපත් ලෝකයක් වෙනුවෙන් බලාපොරොත්තුත් මේ පොතේ ඇතුළත්. ඔබ මීළඟට කියවන පේළි කිහිපය, කෘතියේ විෂයානුබද්ධ කරුණු නොව, සේගන් විසින්, ‘දිදුළන නිල් තිතක් හරහා’ අප තුළ දල්වන මානව සංවේදනයේ ආලෝක පුංජයන්හි සංෂිප්තයක්.

“තව වසර 40,000 ක් ඉදිරියට ගියත් (මේ ලිපිය මම ඔබට ලියන 2022 ට අවුරුදු 39972 ක්) අපට ජීවත් විය හැකි, හුස්ම ගත හැකි වෙනත් ග්‍රහ ලෝකයක් අපි දන්නේ නැහැ. සියලු දේ සිදුවෙන්නේ මේ ලෝකයේ. සතුන් ඉපදීම, ශිෂ්ඨාචාර ගොඩ නැගීම, බිඳ වැටීම, යුද්ධ, කරුණාව, කෝපය මේ සියල්ල සිදු වන්නේ, අනන්ත අභ්‍යවකාශයේ සුදුමැලි නිල් පැහැයෙන් දිදුලන කුඩා තිතකට වැඩි යමක් නො වන ග්‍රහලෝකයේ ………… එය යළිත් අපට අවධාරණය කරනවා අප එකිනෙකා කෙරෙහි වඩාත් කාරුණික විය යුතු බවත් එකිනෙකා ඉවසිය යුතු බවත්. මේ ග්‍රහලෝකය සුරක්ෂිත කරගත යුතු බවත්… මක් නිසාද යත් අප සියල්ලන්ට ජීවත් වීමට ඇත්තේ මේ සුදුමැලි නිල් තිත පමණයි”

කෘතිය රචනා කර දෙවසරකට පසුව, කාල් සේගන් මිය ගියා. ඉන් දෙවසරකට පසුව, එනම් 1998 පෙබරවාරි 17 වැනිදා, වොයේජර් 1, අප දන්නා මානව ඉතිහාසයේ මිනිසාගෙන් වඩාත් ම දුරකට ගිය මිනිසා විසින් නිර්මාණය කළ වස්තුව බවට පත්වුණා. එතෙක් ඒ තැන ලබාගෙන තිබුණේ පයනියර් 10 යානයයි.

වොයේජර් I දැන් ඉබාගාතේ යන ආදර පණිවිඩකරුවෙක්

2017 සැප්තැම්බර් 5, නාසා ආයතනය වොයේජර් මෙහෙයුමේ හතළිස් වැනි සංවත්සරය සැමරුවා.
තව වසර 300 කින් පමණ වොයේජර් 1 යානය සෞර ග්‍රහ මණ්ඩලයට පිටතින් ධූමකේතු න්‍යෂ්ටි ලක්ෂ ගණනක් පිරුණු ඌට් වලාවට ආසන්න වෙනවා. ඒ තුළින් යාමට අවම වශයෙන් වසර 30,000 ක කාලයක් ගත වනු ඇති බවයි අනුමාන කෙරෙන්නේ. යානයේ ගමන් මග විශේෂයෙන් තරුවකට එල්ල වී නොතිබුණත්, සියල්ල නිසි පරිදි සහ බලාපොරොත්තු වන ආකාරයට ම සිදු වුවහොත්, එළඹෙන වසර 40,000 ඇතුළත එය ‘ග්ලයිස් 445’ නම් තාරකාවට ආලෝක වර්ෂ 1.6 ක් නුදුරින් යාමට නියමිතයි.
2022 ජූනි අවසානයේ වොයේජර් I හි අවසාන එන්ජිමත් ක්‍රියා විරහිත කෙරුණා. ඒත් 2030 වෙනතෙක් ම අපේ සූර්‍ය ගුරුත්වයේ බලපෑම් විසින් යම් දුරකට මෙහෙයවෙන බව අනුමාන කෙරෙනවා. ඉන් පසුව වොයේජර් I කියන්නේ ඉබාගාතේ යන ආදර පණිවිඩකරුවෙක්. සූර්‍ය කුණාටු සහ ග්‍රහකවලින් බේරී ගියොත්, අප නො දන්නා කාලයක, අපි නොදන්නා විශ්ව සහෝදර ජීවියෙකුට වොයේජර් I හමුවෙන්නට ඉඩ තිබෙනවා.

මේ වන විට වොයෙජර් යානා දෙකම පෘථිවියෙන් සැතපුම් බිලියන 11 ක් හෙවත් කිලෝමීටර් බිලියන 18 ක් තරම් දුර ඈතකට ගොස් අවසන්.

අපි නොදන්නා, සිතිය නො හැකි තරම් අනාගත කාලයක, නො දන්නා ලෝකයක, නො දන්නා ජීවියෙක්, බොහෝ විට එවිටත් ඔවුන්ට සහමුලින් ම ආගන්තුක වන (ඔවුන් දැනටමත් හෝ වොයේජර් ඔවුන් කරා යාමට පෙර අපි ගැන දැනගතහොත් හැරෙන්නට) ග්‍රහලෝකයක, අකුරු සහ ශබ්ද දක්වා වර්ධනය වූ භාෂා පනස් පහකින් කියවෙන එකම පණිවිඩය තේරුම් ගැනීමට නො හැකිව අන්ද මන්ද වී බලා සිටීම සිතේ මවාගැනීමේ පොඩි විනෝදයක් නැතුවා ම නොවෙයි.
“Greetings From Earth!”
“පෘථිවියෙන් සුබ පැතුම්!”

සඳිනි ප්‍රර්ථනා තෙන්නකෝන්

(තොරතුරු මුලාශ්‍ර : නාසා වෙබ් අඩවිය, BBC, සහ කාල් සේගන් ගේ The Pale Blue Dot කෘතිය)

1972 ගත්ත වොයේජර් කණ්ඩායමේ පින්තූරයක්

සබැඳි

Leave a Reply

Your email address will not be published.