ඇත්තටම බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් ඉල්ලා ගත යුත්තෙ කුමක් ද?

රැජිනගෙන් දියමන්තිය ආපහු ඉල්ලාගෙන ගොඩ යන්න හදන දකුණු අප්‍රිකාව ඇත්තටම බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් ඉල්ලා ගත යුත්තෙ කුමක් ද?

ලංකාවෙ අර හොර දේශපාලන හැත්ත කොයි තරම් අසාර්ථක හොර හැත්තක් ද කියනවා නම් ඒ අයගෙන් බොහෝ දෙනා තමන්ගෙ අසාර්ථක කම් තක්කඩි කම් වහගන්න ජනතාවට කියන එකක් තමයි අපෙන් සුද්දො ධනය කොල්ල කාපු නිසා තමයි අපට මෙහෙම කෙලවෙලා තියෙන්නෙ කියලා මන්තරය වගේ මතුර මතුර ඉන්න එක. සුද්දො අරන් ගිය පුස්කොල පොත්, රත්තරං, මුතු මැණික් ආදිය ඉල්ල ගත්තම රට එකෙන්ම ගොඩ වගේ කතාවක් තමයි හැම තිස්සෙම කියන්නෙ. ඉතිං අර ජනතාවටත් කාලයක් ගියාම පාලකයින්ගෙ චෞර කම් අමතකවෙලා සුද්දා නිසා තමයි අපිට මෙව්වා වෙලා තියෙන්නෙ කියලා හිතනවා.

දැං දකුණු අප්‍රිකාවෙ මිනිස්සු තුළ , ඔවුන්ගෙන් කොල්ල කාගත්ත දැං රැජිනගේ යෂ්ටියට දාලා තියෙන මැණික් සහ අප්‍රිකාවේ විශාලතම දියමන්ති ආපසු ඉල්ලා ගන්න ඕන කියන මතයක් දැන් සීග්‍රයෙන් වර්ධනය වෙනවා කියලා ප්‍රවෘත්තියක් තියෙනවා. 7000 ක් පමණ දෙනා පෙත්සමකුත් අත්සන් කරලාලු. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළ මේ ඉල්ලීම තදින් වර්ධනය වෙනවා කියලා තියෙනවා. ඇතැම් විට දකුණු අප්‍රිකානු ආණ්ඩුව නිළ වශයෙන් ඉදිරියේ දී මේක ඉල්ලා සිටින්නත් පුළුවන්.

ඇත්තටම තමන්ගේ රටවල් දියුණු කරන්න ඕන නම් රැජිනගේ එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් ඉල්ලා ගන්න ඕන මොනවා ද? අපිට වඩා සාපේක්ෂව දියුණු ප්‍රජාතන්ත්‍රවදයක් තියෙන ඒ අය අභ්‍යාස කරන ප්‍රජාතන්ත්‍රවදය ඉල්ලා ගන්න ඕන. ජාතිකවාදය පැත්තකට දාලා, මිත්‍යා කර්ම පැත්තකට දාලා නව්‍ය සහ නවීකාරක විදිහට, ප්‍රගතිගාමී විදිහට, ඉදිරිගාමී විදිහට හිතන එකයි ඉලල්ලා ගන්න ඕන. එහෙම නැතුව ඔය කොල්ලකාගත්ත මුතු මැණික්, පුස්කොළ පොත් අරවවා මෙව්වා ඉල්ලා ගත්තාය කියලා නම් රටක් ගොඩ යන්නෙ නෑ. මොකද එංගලන්තෙ යටත් විජිත වෙලා තිබ්බ රටවල තාමත් කරගහගෙන යන ජාතිවාදය, වර්ගවාදය, කුලවාදය, ආගම් වාදය, ජාතිකවාදය ආදී කී-නොකී දේවල් වලින් තමයි රටවල් නැත්තට නැතිවෙලා තියෙන්නෙ. බ්‍රිතාන්‍යකාරයෝ ලෝකෙ සිටින සුපිරි ජාතිය, කිසිදු වැරැද්දක් නැති ජාතියක් කියන එක මේකෙන් අදහස් වෙන්නෙ නෑ. හැබැයි උන් අපිට වඩා හැම පැත්තෙන්ම ඉදිරියෙන්. ඒකනෙ ලංකාවේ වාමාංශිකයෝ ඇතුළු හැම කෙනාම කොහොම හරි හොරෙන් හරි බෝට්ටුවෙන් හරි බ්‍රිතාන්‍යයට පැන ගන්න හදන්නෙ.

අතුල දිසානායක

සබැඳි

Leave a Reply

Your email address will not be published.