අපි උඩ පනිමු. නෙළුම් කුළුණ බලමු. අනාගත පරපුර අපට සාප කරාවි

මේක ලියන්නෙ තරගයකින් ජය ලබල කණ්ඩායමක් එනකොට ගුවන් තොටුපලට සරම් කරේ තියාගෙන දුවන දේශපාලුවන්ටත් කියවන්න එක්ක.

පහුගිය දවසක ලංකාවේ වයස අවුරුදු දහහතරෙන් පහල චෙස් ශූරයා රුමේනියාවෙ ජාත්‍යන්තර තරගයකට ගියා.
දැනගන්න තියෙන විධිහට ඒ ගමනට අවම තරමින් ගුවන් ටිකට්පතවත් ලංකාවෙන් ලැබිල නෑ. නවාතැන් පහසුකම් රුමේනියාවෙන් දීල තිබුණා. චෙස් ෆෙඩරේෂණය ක්‍රීඩා අමාත්‍යංශය යටතෙ තියෙද්දිත් තරගකරුවගෙ ටිකට් පතේ බර වැටිල තිබ්බෙ දෙමවුපියන්ගෙ කරට. මේ රටේ චැම්පියන් කෙනකුට ජාත්‍යන්තර තරගයකට යන්න ලැබුනම දෙන සැලකිල්ල. ඔහු අවුරුදු 14ට අඩු දරුවෙක්.

මේ දරුවගෙ ගමන් වියදම් දෙමවුපියන් විසින් දරා ගනු ලැබුව. ප්‍රශ්ණෙ ඒක නෙවෙයි. ඒ ගමනෙන් පස්සෙ එයාට තවත් තරගාවලී දෙකකට සහභාගි වෙන්න ලැබෙනව. එකක් ආමේනියාවෙ. හැබැයි ඒ ගමන්වල ගුවන් ටිකට් පත් වියදම් දරන්න දෙමවුපියන්ට බෑ. ඔවුන් ඒ දෙකටම තම දරුවා සහභාගි නොකරන්න තීරණය කරනව. මේ අපේ රටේ අනාගත සම්පත් විනාශ කෙරෙන ආකාරය.

හැබැයි බැරිවෙලාවත් ඒ දරුවා ලෝක ශූරතාවක් අරගෙන ආවොත් එයාපෝට් එක ළඟ දේශපාලන සර්කස් බලන්න පුළුවන්. මේ වගේ තරගාවලි නිසා අපේ දරුවන්ට ලැබෙන අත්දැකීම් සහ පාඩම් ඉතා වැදගත්. ඒත් ඒ වෙනුවට එවන් තරගයක් ලැබුනම දෙමවුපියන්ට රටේ අසමත්කම ගැන තවත් පාඩමක් ඉගෙන ගන්න ලැබෙනව.

නෙළුම් කුළුණෙ ආශ්චර්යයෙන් මත් වෙලා ඉන්න හුඟක් අය මේ ඇත්ත දකින්නෙ නෑ. රටේ ක්‍රීඩාව දේශපාලන සංගීත පුටු තරගය නිසාවෙන් වලපල්ලට යන ආකාරය අපි නොදැක්ක වගේ ඉන්නව. මේ විධිහට අතමිට අපහසුකම් හේතුවෙන් මැකිලම යන තරු කොච්චර තියෙනවද. අවම තරමින් මේ දරුවගෙ දෙමවුපියන්ට එක තරගයකට හෝ දරුව යවන්න හැකියාව තිබුණ. ඒත් දිළිඳුකම කරට පටවපු පවුල් වල තත්වය?

අපි උඩ පනිමු. නෙළුම් කුළුණ බලමු. අයි එම් එෆ් මැජික් යෂ්ඨිය අරගෙන රනිල් එනතුරු කවි ලියමු. කවද හරි අපේ අනාගත පරපුර අපට සාප කරාවි.

චූලානන්ද සමරනායක

සබැඳි

Leave a Reply

Your email address will not be published.