නව ව්‍යවස්ථාවක් – චිලී අත්දැකීම

මෙම වසරේ සැප්තැම්බෙර් 04 දා පැවති ජනමත විමසුමකදී චිලී ජනතාව විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් බහුතර චන්දයෙන් ප්‍රතික්‍ෂේප කරණ ලදී. මෙම සිදුවීම 2022 වසරේ මාර්තු පත්වූ තරුණ වාමාංශික ජනාධිපති ගේබ්‍රියල් බොරික් ලද පරාජයක් ලෙසට හැඟී ගියත් නව ව්‍යවස්ථා ක්‍රියාවලිය සහ ජනාධිපති බොරික් අතර සෘජු සම්භන්ධයක් නොමැත. ව්‍යවස්ථාව කෙටුම්පත් කිරිමේ ක්‍රියාවලිය ආරම්භ කරණ ලද්දේ බොරික්ට පෙර බලයේ සිටි දක්ශිනාංශික ජනාධිපති සෙබස්තියන් පිනියෙරාගේ පාලන සමයේදීය. එය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් ඔස්සේ ප්‍රභල ජන සහභාගීත්වයකින් යුතුව වසරකට වඩා කාලයක් තිස්සේ සිදුවුනු වැඩ පිලිවෙලකි. එම ක්‍රියාදාමයේ එක් සන්ධිස්ථාණයක් මේ ජනමත විමසුම බව සැබෑවකි. මෙම අත්දැකීමට අදාල යම් තොරතුරු මුහුණු පොත හරහා බෙදා ගැනීමට තීරණය කලෙමි. මේවා අප රටේ නව ව්‍යවස්ථාවක් පිලිබඳව උනන්දුවක් දක්වන අය හටද ප්‍රයෝජනවත්වනු ඇතැයි සිතමි. කොටස් දෙකකින් යුතු එම ලිපියේ පළමුවැනි කොටසයි මේ.

චිලීයට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය වූයේ ඇයි

චිලී රට 1990 දී සිවිල් පාලනයකට මාරු වුවද, 1980 දී පිනෝෂේ ආඥාදායකත්වය විසින් සම්මත කරගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එලෙසම පැවතුනි. එය වසර දාහතක ආඥාදායක පාලන කාලයේදී චිලී හමුදා ජුන්ටාව විසින් ක්‍රියාත්මක කරන ලද පුද්ගලීකරණය සහ තමන්ගේ බලය පවත්වා ගැනීමට උපකාරී වන අන්දමට කිහිප දෙනෙකු එකතුවී නිර්මාණය කල එකකි. මෙම යල්පැනගිය ව්‍යවස්ථාව මත පදනම් ව 1990 න් පසුව පත්වූ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයන් විසින් චිලීයේ ආර්ථිකය සැලකිය යුතු මට්ටමකින් වර්ධනය කළද, රටේ බොහෝ දෙනා අධික ජීවන වියදම, අඩු විශ්‍රාම වැටුප් සහ ණය බරින් පෙළුනි. 1980 ව්‍යවස්ථාව, නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය සහ විශ්‍රාම වැටුප් වැනි මූලික සේවාවන් සඳහා රාජ්‍ය සහභාගීත්වය අහිමි කල එකකි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, 1990 වනවිට චිලීය ලතින් ඇමරිකාවේ ඉහළම සමාජ අසමානතාවය සහිත රට බවට පත් වී තිබුණි. 1% ක් රටේ මුලු ධනයෙන් 26.5% ක් හිමිකර ගත් අතර, අඩුම ආදායම් ලබන 50% දෙනාට ලැබුනේ 2.1% ක් පමණි.

සමාජ පිපිරීම

2018 මාර්තු පත්වූ දක්ෂිණාංශික සභාගයේ ජනාධිපති සෙබස්තියන් පිනියේරාට අනපේක්ෂිත ඉහළ ඡන්ද ප්‍රමාණයක් ලැබුණි. ඔහුගේ ජය මීට පෙර සිටි ජනාධිපතිනී මිශෙල් බැෂ්ලේ ගේ ප්‍රතිසංස්කරණවාදී වැඩ සටහන ජනතාව විසින් ප්‍රතික්ෂේප කිරීමක් ලෙස පිනියේරා විසින් අර්ථකථණය කරණ ලදී. චිලී රාජ්‍යයට ප්‍රතිසංස්කරණ අවශ්‍ය නොවන අතර, බැෂ්ලේ

පරිපාලනය විසින් ප්‍රතික්ෂේප කල නව ලිබරල් මූලධර්ම ශක්තිමක් කල යුතු බවට පිනෙයිරාගේ උපකල්පණය විය.
2020 වන විට බහුතරයක් චිලී ජනතාව තුල දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවනතාවයක් ඇතිවී තිබුනි. පෙර දශක දෙකක කාලය තුළ සමාජ සහ ආර්ථික පරිවර්ථණයක් සඳහා දරන ලද උත්සාහයන් අසාර්ථක වීම නිසා මේ තත්වය ඇතිවූ බව විශ්වාස කල හැක. රටේ දේශපාළන වෙනසක් සඳහා තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සහභාගීත්වය අදාළ නොවන බවට ඔවුන් විශ්වාස කලෝය. අවශ්‍ය පරිවර්තන සිදු කිරීම සඳහා බැෂ්ලේට පැහැදිලි ජනවරමක් ලබාදුන්නද, බලාපොරොත්තුවූ ප්‍රතිසංස්කරණ සිදුකිරීමට ඇය අපොහොසත් විය. (ශ්‍රී ලංකාවේ “225 ම එපා” ,නිර්දේශපාළනික /නිර්පාක්ශික අරගලය සහ යහපාලන ආංඩුව සමග සසඳන්න) . මෙම උදාසීන බව සහ දේශපාළන පක්ෂ කෙරෙහි කලකිරීම මගින් පෙන්නුම් කරන්නේ තමන් විසින් ක්‍රියාත්මක කරණ නව ලිබරල්වාදය චිලී වැසියන් ආදරයෙන් වලඳගෙන ඇති නිසා බව පිනෙයිරා පාලනය විශ්වාස කලේය. සියල්ලෝම දැන් යම් දුරකට නව ලිබරල්වාදීන් නිසා බදු ප්‍රතිසංස්කරණ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, කම්කරු නීති ප්‍රතිසංස්කරණ යනාදිය හරහා නව ලිබරල් ආකෘතිය තවත් බලවත් කිරීමින් පිනෙයාරා පරිපාලන කටයුතු කලේය.

මෙම උපකල්පණය සම්පූර්ණයෙන්ම වැරදි බව පෙන්නුම් කල සිදුවීම් මාලාවක් 2019 ඔක්තෝබර් 18 දින ආරම්භ වීය. එක්වී ගනු ලබන සාමූහික ක්‍රියාකාරිත්වය මගින් වෙනස්කම් ඉල්ලා සිටිය යුතු බවට ජනතාව තීරණය කර තිබුනි. 2019 ඔක්තෝබර් 18 දින සහ රාත්‍රිය පුරාවට, සන්තියාගෝහි මෙට්‍රෝ ප්‍රවාහන මිල වැඩි කිරීමට විරෝධය පාමින් ශිෂ්‍යයන් විසින් මෙහෙයවන ලද ගාස්තු නොගෙවීමේ විරෝධතා, පසුව දැවැන්ත පෙලපාලි, මාර්ග අවහිර කිරීම්, කැරලි කෝලාහල, කොල්ලකෑම් සහ ගිනි තැබීම් දක්වා වර්ධනය විය. මෙට්‍රෝ දුම්රිය ස්ථාන, වාණිජ ආයතන සහ ජාතික විදුලි සමාගමේ මූලස්ථාණය ගිනිගැනීමට ලක් විය.

2019 ඔක්තෝබර් 19 සෙනසුරාදා අලුයම, ජනාධිපති පිනෙයාරා විසින් සන්තියාගෝහි හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරන ලද අතර එදින සවස ඇඳිරි නීතියද ප්‍රකාශයට පත් කරන ලදී. හමුදාව කැඳවන ලද අතර දින කිහිපයක් ඇතුළත ප්‍රධාන නගර 16 න් 15 කටම හදිසි නීතිය පනවන ලදී. චිලිය ප්‍රජාතන්ත්‍රවාදය වෙත මාරුවීමෙන් පසු හදිසි සහ ඇඳිරි නීතිය පිළිබඳ ජනතාව ලද පළමු අත්දැකීම මෙය විය. ජාතිය “යුද්ධයක” නියැලී සිටින බව පිනෙයාරා මාධ්‍ය මගින් ප්‍රකාශ කලේය.
විරෝධතා සහ මර්ධණය ශීඝ්‍රයෙන් උත්සන්න විය. සන්නද්ධ හමුදා සමග ගැටුම්, ගිනි තැබීම් සහ පුරවැසියන් අතර ප්‍රචණ්ඩත්වය හේතුවෙන් පුද්ගලයන් තිහකට අධික ගනණක් මිය ගිය අතර, පුද්ගලයින් පස් දෙනෙකු හමුදා වෙඩි පහරින් මරණයට පත් විය. චිලීයේ මානව හිමිකම් කොමිසමට අනුව ඔක්තෝබර් 17 සිට දෙසැම්බර් 6 දක්වා පුද්ගලයින් 8,812 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර සිවිල් වැසියන් 3,349 ක් තුවාල ලබා තිබේ. හියුමන් රයිට්ස් වොච්, ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්, මානව හිමිකම් පිළිබඳ අන්තර්-ඇමරිකානු කොමිසම සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් , සන්නද්ධ හමුදාවන් මගින් සිදුකරණ ලද “බරපතල මානව හිමිකම් උල්ලංඝණය කිරීම්” වාර්තා කළේය.

ඔක්තෝබර් 25දා චිලී ඉතිහාසයේ විශාලතම සහ පෙර නොවූ විරූ මහජන පෙලපාලි පැවැත්විනි. හදිසි නීතිය සහ ඇඳිරි නීතිය යටතේ පවා මිලියන 3 ක් පමණ ජනතාව මෙම පෙලපාලි වලට සහභාගී වූ අතර සන්තියාගෝ හි පෙලපාලිවලට පමණක් මිලියණයකට වඩා සහභාගී වූහ.

මහජන විරෝධයන්ට හේතු වූයේ මොනවාද?

මෙම සමාජ පිපිරීමේ එක් ප්‍රධාන පූර්වාදර්ශයක් වූයේ, පිනෝෂේ විසින් පුද්ගලීකරණය කරන ලද අධ්‍යාපනය වෙනුවට නැවත නිදහස් අධ්‍යාපන ක්‍රමයක් ඉල්ලා සිසුන් විසින් 2011 සිට සෑම සතියකම පැවැත්වූ දැවැන්ත පාගමන්ය. චිලී විශ්ව විද්‍යාල ලතින් ඇමරිකාවේ වඩාත්ම මිල අධික විශ්ව විද්‍යාල විය. චිලී සිය දළ ජාතික නිෂ්පාදනයෙන් 0.4%ක් පමණක් අධ්‍යාපනයට වෙන් කළ අතර හමුදාවට 15%ක් පමණ වෙන් කළේය

2018 දී තේරී පත් වූ සෙබස්තියන් පිනියේරා , බැෂ්ලේ රජය විසින් අධ්‍යාපනය සහ ගබ්සා කිරීමේ අයිතිවාසිකම් යන ක්ෂේත්‍රවල සිදු කරන ලද ප්‍රතිසංස්කරණ පවා නැවත හැරවීමට පටන් ගත්තේය. ඔහු එතෙක් පැවති ප්‍රජාතන්ත්‍රවාදී සංවාදය අඩපන කිරීමටත්, වාමාංශික සාමාජිකයින් සහිත කොන්ග්‍රසය මග හැරීමටත් පටන් ගත්තේය. ආදිවාසී මපුචේ වරුන්ගේ ඉඩම් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරීන්ට එරෙහිව ත්‍රස්ත විරෝධී නීති භාවිතා කිරීමට ද ඔහු ක්‍රියා කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස මහජනයා තුළ කලකිරීමක් සහ උදාසීන භාවයක් මෙන්ම රජය කෙරෙහි විරෝධයද උත්සන්න විය.

වෙනිසියුලාවේ සහ බ්‍රසීලයේ රාජ්‍ය විරෝධී නොසන්සුන්තා පවතිද්දී ලතින් ඇමරිකාවේ ඇති ස්ථාවර ආර්ථිකයක් සහිත රටක් ලෙස චිලීය බොහෝ අය සැලකූහ. ලෝක බැංකුව පැවසූවේ ශක්තිමත් සාර්ව ආර්ථික රාමුව හේතුවෙන් චිලී ආර්ථිකය ඒ වනවිට ලතින් ඇමරිකාවේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයක් බවයි. නමුත් එම ආර්ථික සමෘද්ධිය නිසා ප්‍රථිලාභ අත්වූයේ කිහිප දෙනෙකුට පමණකි. පිරිමින් සහ කාන්තාවන් අතර විශාල වැටුප් පරතරයක්, කාන්තාවන්, තරුණයින් සහ නොපුහුනු කම්කරුවන් සඳහා රැකියා හිගයක් පැවතින. මේ අනුව සන්තියාගෝ අගනුවර සුඛෝපභෝගී මහල් නිවාස, පෞද්ගලික පාසල් සහ රෝහල් අසලින්ම පිහිටා තිබෙන්නේ පිරී ඉතිරී යන අඩු අරමුදල් සහිත රජයේ පාසල් සහ පැල්පත්ය. සැමට හොඳ ජීවන තත්ත්වයක් විරෝධතාකරුවන් ඉල්ලා සිටි අතර ඇතැමුන් ජනාධිපතිවරයාට ඉල්ලා අස්විය යුතු යැයි බල කලහ.
නමුත් විරෝධතා ව්‍යාපාරයට දේශපාලන පක්ෂ සම්බන්ධ වීම ගැන විරෝධතා කරුවෝ විරෝධය දැක්වූහ (ශ්‍රී ලංකාවේ ඇතිවූ තත්වයට සමාන නොවේද ?). අරගල කරුවෝ සාම්ප්‍රදායික දේශපාලනය ප්‍රතික්ෂේප කලහ. “අපට ඇත්තේ දේශපාලන ප්‍රකාශණයක් නැති සමාජ ව්‍යාපාරයකි. ව්‍යාපාරය වෙනුවෙන් කතා කිරීමට කිසිම පුද්ගලයෙකුට හෝ සංවිධාණයකට අයිතියක් නැත” යනුවෙන් ඔවුහු පැවසූහ.

ආණ්ඩු පක්‍ෂයේ සාමාජිකයන්ද ඇතුළු සමාජ හා දේශපාලන බලපෑම්වලට මුහුණ දුන් ජනාධිපති පිනියේරා ව්‍යුහාත්මක ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සිදු කිරීමට එකඟ විය. 2019 නොවැම්බර් 10 වන දින, ඔහු ජනමත විමසුමක් මගින් අනුමත කරනු ලබන ව්‍යවස්ථාදායක සම්මේලණයක් හරහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීමේ ක්‍රියාවලියක් ඉදිරිපත් කළේය. දින දෙකකට පසුව, විරුද්ධ පක්ෂ 14 ක් විසින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ව්‍යවස්ථාදායක සම්මේලණයක් වෙනුවට ව්‍යවස්ථාදායක සභාවක් මගින් ව්‍යවස්ථාව සම්පාදණය කලයුතු බවට යෝජනා කලේය.

ජනතාවට නිර්පාක්ෂික විරෝධය දැක්වීමට, උද්ඝෝෂණ කිරීමට හෝ පාලකයින් හට ඉවත් වන ලෙස බල කිරීම සඳහා දේශපාලන පක්ෂ අවශ්‍ය නොවේ. නමුත් එම තත්වයෙන් ඔබ්බට යාමට නම් දේශපාලන ප්‍රකාශණයක් අවශ්‍ය වේ. “අපට අවශ්‍ය වන්නේ මෙයයි” යනුවෙන් පැවසීම දේශපාලන කාරණාවකි. එම මොහොතේ චිලි අරගල කරුවන් විසින් මුහුණ දුන්නේ එවැනි අභියෝගයකටයි. ඒ මොහොතේ අවශ්‍ය වූයේ චිලී වැසියන්ට දැනුන අතෘප්තියට දේශපාලන විසදුමක් ඉදිරිපත් කිරීමයි.
අවසාන වශයෙන්, සියලුම දේශපාලන බලවේග ඡන්ද පත්‍රිකා දෙකක් සහිත ජනමත විමසුමකට එකඟ විය. එහිදී එකඟ වූයේ ජනමත විචාරණයේ පලමු ප්‍රශ්නය ලෙස ඔබට නව ව්‍යවස්ථාවක් අවශ්‍යද? යන ප්‍රශ්නයට ඔවු හෝ නැත පිලිතුරුත්, දෙවන ප්‍රශ්නය ලෙසට ඔව් නම් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලිවිය යුත්තේ කවුද යන්නට 1) මිශ්‍ර ව්‍යවස්ථා සභාවක් හෝ 2) ව්‍යවස්ථා සභාවක් යන පිළිතුරු සමඟ චන්ද පත්‍රිකා දෙකකින් යුතු ජනමත විමසුමක් පැවැත්වීමටයි.

ජන මත විමසුම සහ එහි ප්‍රථිපලය මීලඟ ලිපියෙන්.

එස්.මොරේමඩ

සබැඳි

Leave a Reply

Your email address will not be published.