‘නාරි සූත්‍රය’ කියවන්න නිරුවත් මනසින් පැමිණෙන්න

නාරි සූත්‍රය (කාව්‍යාලේඛය)
අනුරාධා නිල්මිණීගේ රිදුම් පිරි පිරිමැදුමේ ප්‍රබලත්වය නාරි සූත්‍රය කියවන්නට මා මෙහෙය වීය. එහි වූ පිරිමැදුම් තවමත් සිත පාරවයි; කකියවයි. ගැහැනියකට තවත් ගැහැනියකගේ හදවත හොඳින් ම හඳුනගන්නට හැකි බැව් අනුරාධා පසක් කර පෙන්වයි. නොදුටු , නොඇසූ කතුන්ගේ සිත් ඇය විනිවිද ව දැක ඇති බැව් නාරි සූත්‍රයෙන් හෙළිවේ.
නාරි සූත්‍රය කියවන්නට ඈ ආරාධනා කරන්නේ නිරුවත් මනසිනි.

” ධන වාද
සමාජ වාද
කුල වාද
පන්ති වාද
ගෝත්‍ර වාද
ස්ත්‍රී වාද
පුරුෂ වාද
කුරාන වාද
කොන්ත වාද
ථේර වාද
අන්ත වාද
විස පෙවූ
මත වාද
සළු , පිළි ගලවා දමා
නිරුවත් මනසින් ඇතුළුවන්න ! “

ඇය එසේ නිරුවත් මනසක් ඉල්ලා සිටින්නේ සහෘදයා විනිසුරු අසුනක හිඳුවන්නට ය. එය කාලයේ විනිසුරු ය.

“දෙව්-මිනිස්
විනිසුරු සබා මැද
කාලයයි මහ
බලැති සුරගුරු!! “

විනිශ්චය දෙන්නට යන්නේ ගැහැනුන් දහසය දෙනෙකුට ය. එහි ජනප්‍රිය කාන්තාවන් ,වෛද්‍යවරියන් , කිවිඳියන් , නාටිකාංගනාවන් , ජනප්‍රිය පුද්ගලයින්ගේ බිරින්ඳෑවරුන් මෙන් ම දූෂණයට ලක් වූ කාන්තාවන් ද තමන්ගේ හදවත කාලයේ විනිසුරුගේ ඉදිරියේ නිරුවත් කරන්නට නොපැකිළෙයි.

“අහෝ, කිසිවෙකු ඇස නොගැටි
සියවස් කලක් දුක දැරූ අකුරූ
බොහෝ ලිපිවල ලියා තිබුණේ
නිහඬ කඳුලක, කතා පොකුරූ
මහෝර්ඝය අතකින් වසා , ඒ
මතින් සතුටේ පැහැය තැවරූ
සහෝදරියන්, නමිනි අද විනිසුරු
විමානේ ලකුණු පුවරූ…”

හිටපු ඇමැති රිෂාඩ් බදියද්දීන්ගේ මෙහෙකාරියක වූ ඉෂාලිනී ජූඩ්ගෙන් ඇරඹෙන හර්ද වාචික කාල් මාක්ස්ගේ බිරිඳ, ලීන් කියව්සි , රාණි චින්නම්මා , ප්‍රේමවතී මනම්පේරි, මාතාහරී මෙන් ම රෝහණ විජේවීරගේ බිරිය ශ්‍රීමතී ච්ත්‍රාංගනී ප්‍රනාන්දු පවා කවි තමන්ගේ හදවත් විවර කරන්නී ය. අනුරාධාගේ ප්‍රතිභාපූර්ණත්වය කවීත්වය මෙන් ම මිනිස් සිත හැඳිනීමේ හැකියාවද සෑම කවියකින් ම පුළුල් ලෙස විවරණය් වේ.
(කාව්‍ය සංග්‍රහයේ සියලු කවි කෙරෙහි මෙන් ම සියලු චරිත කෙරෙහි අවදානය දී සටහනක් ලිවීම පහසු නොවේ. එනිසාවෙන් තෝරාගත් හර්ද වාචික කීපයක දිවි පෙවත් ගැන පමණක් කතා කරමි .. )

ඉෂාලිනී ජූඩ්

ඉෂාලිනී යනු ඇයට අත් වූ ඛේදවාචකයේ වත්මනේ එකම පුරුකක් පමණි. ඇයගේ සනුහරේ එවුන්ටද අඩු වැඩි වශයෙන් එම ඉරණමට අත් විඳින්නට සිදුවූ බැව් ඇය පවසයි. එතුළින් ඇය ව්‍යංග්‍යාර්ථවත් කරන්නේ බොහෝ වතුකර දැරියන්ට අත්වන කටුක ජීවන සරදම නොවන්නේ ද?

මුත්තම්මා ද, සිවරාණි ද, තංගමනී
මල් මඟුලටත් පෙර කොළඹට සින්න වුණී
ඇල්වතුරේ පෙඟී මියයන සිහින වැනී
සිල්ලර කාසි ගම ආ ගියේ වැනි වැනී

එකල ජනප්‍රිය ප්‍රවෘත්තිය දැන් මිනිසුන්ට අමතක වී ගොසිනි. එය මිනිස් ලොවෙහි ස්වභාවයයි. ධනය , බලය , නිලය හමුවේ අයුක්තිය ,අසාධාරණය නම් දෙයක් නොවන්නේ ය. සියලු දේ නිරවද්‍ය වේ. ඉෂාලිනීගේ වතුකරයේ ඇයගේ සොයුරු සොයුරියන්ට පවසන්නේ සැබෑ රජ මහල තේ වත්තේ ලැයිම් කාමර බවය. ඇය තේ වත්තට එතරම් ලොල් කරන්නේ නගර මැදුරුවල ඈ විඳි දුක්ඛ දෝමනස්සයන් නිසාවෙන් නොවේද?

තේ දලු නෙළන, අත් දෙක වාසනාවන්
තේ දලු ළමයි තව තව වාසනාවන්
තේ වතු මාලිගේ මට වාසනාවන්
තේ කළු තිරේ ඉරලා මැද බලාපන්

සියවස් දෙකක් පහුකර තව හොයාපන්
නගර මධ්‍යයේ මහ පවුරින් රැකවල් ලෑ මැදුරක් ඇත්තේ ඉෂාලිනීගේ කය පමණකි. ඇගේ සිත ඇත්තේ තේ වත්තේ ය. තේ දලු කඩන අම්මාගේ ළඟ ය. වත්තේ වැඩ කරන තාත්තා ළඟ ය. ඇගේ හිත දැන් කොහේ ඇත්ද? එය සිත සොයා ගතහොත් එය ඇයගේ සොහොනේ ම දවන්නට කියා සිටියි.

ගෑනු හිතක් ඇත
වැලපෙන
සදාකල් ම
කොළඹට යන – ගම රට එන
ගම රට එන – කොළඹට යන
තේ දල්ලකින්
අල්ලා එය පරිස්සමින්
මගෙ සොහොනේ ම
අඟුරක් ගෙන දවාපන් …

ඉෂාලිනී ජූඩ් තුළින් කිවිඳිය වර්තමානයේ පමණක් නොව අතීතයේ ද මහ මැදුරු තුළ එම ඉරණමට ම උරුමකම් කියූ ඇත්තියන්ගේ ජීවනාලිය ධ්වනිත කරයි.

කස්තූර් බා

අවිහිංසාවාදයේ පියා ලෙසින් අන්වර්ථිත මහත්මා ගාන්ධිගේ බිරිඳ කස්තූර් බා ය. ඇයගේ සැඟවුණු හදවත අනුරාධා ගෙන එන්නේ හෘදය කම්පනය කරන අයුරිනි. මහත්මා ගාන්ධි විවාහ වන විට 13 වියැති බැව් පැවසේ. එසේනම් කස්තූර් බා ඊටත් වඩා ලාබාල තැනැත්තියක විය යුතු ය.ඈ අධ්‍යාපනය නොලද කාන්තාවකි. ඇය පවසන්නේ මහත්මා යනු ඇගේ ඇගේ හදවතේ ගෙල සිර කෙරූ බව ය.
……. රෑ දවල් මිස අකුරු නොදනිමි ය මළපොතේ
“මහත්මා” නමින් ගෙල සිරකෙරූ හදවතේ

ඇගේ යුග දිවියට වසර හැට දෙකක් වන නමුත් විවාහයෙන් වසර කීපයකට පසු ඇය සමඟ යහන් ගත වීම ගාන්ධි ප්‍රතික්ෂේප කර බ්‍රහ්මචාරී දිවිපෙවතක් ආරම්භ කරයි.

“බ්‍රහ්ම දිවි පෙවතකිය, දැන් මගේ හීනේ
ඉතින් තව කුමක මා, සැතපෙම් ද යහනේ ..”
පුරා තිස් අට වසක් තනි පතිනි දැහැනේ
මනුස්මෘතියේ ගැහැනු බුදු වුණේ නැහැනේ

කස්තූර් බා ප්‍රතික්ෂේප කළ නමුත් ගාන්ධි සිය බ්‍රහ්ම චර්‍යාව පරීක්ෂාවට ලක් කිරීමට මිනිබිරියන්ගේ වියේ පසුවන අය ලවා නිරුවත් සිය සිරුර සම්භාහනය කළ බැව් සඳහන් වේ. ඒවා කස්තූර් බා කෙසේ ඉවසන්නට ඇත්ද?

සුනිලා ද, ලීලා ද, ශාරදා අම්තුලී
පබාවත්, අම්‍රිතා, සුචේතා මැද වෙලී
අබා, කන්වන් ශා ද, මනු දලු මල් දිලී
ඒ බ්‍රහ්ම සිරුරු බඳ, අමොද සුරතල් බැලී

ඉවසුවේ කොහොමදැයි නිකම්වත් නාසනූ
ගැහැනියකි නොදත් ඒ ලොව අයනු, ආයනු
ලෝකයක් දන්න මහ බලවන්ත බලකණු
යට දිරාගිය ගැහැනු ඇති තවත් විමසනු

සියල්ලන්ගේ ම අවදානය යොමු වී තිබුණේ ගාන්ධි වෙත ය. එනිසා කස්තූර් බා කෙරෙහි ලෝකයේ අවදානයක් යොමු වූයේ නම් ඒ නාමික ව ගාන්ධිගේ බිරිඳ ලෙස පමණි. ඇයගේ ජීවිතයේ දුක අසන්නට ගැටලු විමසන්නට සිටියේ කවුරුන්ද? ලොවට සෙත සලසන්නට සිය බිරිය අත් නොහැර නොසලකා හැරි ගාන්ධි වන් තවත් ජනප්‍රිය මිනිස්සු කොතෙක් නම් ඇත්ද?

තුල්සි පැලයකි දිවා රෑ කඳුල පිසුවේ
කල්පෙකින්වත් කෙනෙක් නෑ “මොකද” ඇසුවේ
කල්ප කල් දරාගත් ගැහැනු හිත් පැතුවේ
ආදරය පමණම ය!
ඔව් ඔබත්
මහත්මා කෙනෙක් නම්
මෙතැන් සිට එය හොඳින්
සිහි තබා ගත යුතු වේ… “

කස්තූර් බා ගේ හෘර්ද වාචිකය තුළින් කිවිඳිය ලොව පසිඳු මිනිසුන් ඔවුන්ගේ පවුල හා බිරිඳ දෙස හෙළූ ආකල්පය මෙන් ම නොසැලකිල්ල විවේචනය කරයි. කස්තූර් බා ඉන් එක් සංකේතයක් පමණකි. ඇය දුක කියූ තුල්සි පැළය වැනි ඔවුනගේද දුක ඇසූ ගස් ගල් සතා සිවුපාවුන් සිටින්නට ඇත. කිවිඳිය එවන් නොකී මිනිසුන්ගේ වෘත්තාන්ත සොයා යන්නට මං පාදා කිවිඳිය පසෙකට වන්නී ය.

තංගම්මා
නාරි සූත්‍රයේ අන්තර්ගත රසවත් ම කාව්‍යාලිය මෙය විය. තංගම්මා යනු පැබ්ලෝ නෙරුඩා කවියා තමා සිලෝන්හි දුටු ලස්සන ම ගැහැනිය ලෙස හැඳින්වූ ඔහුගේ නිල නිවසේ වැසිකිලි පෝච්චිය පිරිසිදු කළ දමිළ යුවතියයි.

ඉස්පිලි හොයපු ජීවිත නෙමෙයි පැතුවේ
හැප්පිලි ,රැවිලි බෑ , බයබාදු මතුවේ
දුක් කිලි කුණු රෙදිය සදාකල් එතුවේ
සක්කිලි ගෑනු උරුමය රැකිය යුතු වේ

…. පස්සා දොරෙනි , ගනුදෙනු සහ තේ කහට
රස්සාවකි නියම වැසිකිළි ජනයාට

නෙරුඩා ඇය සමඟ ඇයගේ කිසිදු අවසරයකින් තොර ව සම්භෝගයේ යෙදුණු මුත් ඈ පිළිබඳ ව එක් කවියක් හෝ ලියා නැත. එපමණක් නොව ඔහු සම්භෝගය සිදුවූයේ ප්‍රතිමාවක් සහ මිනිසෙක් අතර මෙන් යාන්ත්‍රික ව යැයි පවසා ඇත.

දිනක් උදාවිය, ඒ දිරිය දියවුණ
දණක් එතූ රතු රන් සාරිය ගිලිහුණ
අණක් බව සිතා ඉල්ලීම , අරමුණ
පණක් නැති කයක් උඩුකුරුව වැතිරිණ

උමතු සිප ගැනුම් තද රිදුම් කෙඳිරිලී
…….
පැවති මොහොතකය මියගියේ හසරැලී

ඉෂාලිනීට එල්ල වූ සමාජ අසාධාරණයට වඩා ප්‍රබල සමාජ අසාධාරණයක් තංගම්මාට එල්ල වූ බැව් මට සිතේ. කවියෙකු වුවත් ඔහු මිනිසෙකුදැයි යන්න සිත ප්‍රශ්න කරයි. සමාජ අසාධාරණය ගැන කවි ලියන කවීන් අතරේ ම අසාධාරණ සිදු විය නොහැකි දැයි කිවිඳිය පවසන බවක් හැඟිණ.

ඉතින් අහවරයි මහතුන්ගෙ කාරිය
හිතින් මකා යනු මේ අරුම නාරිය
මතින් මිදුණු පසු පෙර සිහිය වීරිය
හිසින් වඩම්මනු ඒ කුණු කිලිටි සාරිය….!

ලීන් කියෙව්සි
චීනයේ කාන්තා රෝග වෛද්‍යවරියක දූ ලීන් දරු උපත් 50000කට අධික ප්‍රමාණයක් සිදු කර ඇත.

ඒකයි ඕන වුණේ මට
වසන්ත ඍතුවක් වෙන්න
හැම ගහකම මල් උපද්දන
ඔව්!
මල් විතරක් ම

වෘත්තිය වෙනුවෙන් ඇය විවාහ ජීවිතය පවා ප්‍රතික්ෂේප කළ ඈ අවසාන භාගයේ සැඟවී තිබූ ස්ත්‍රී චිත්තය එළියට පැන්නේ ය.

” තව කොහොමද මේ පාළුව දරා ගන්නෙ
අවසානෙට මට මොකද වෙන්නෙ…”
…..
අනුන්ගෙ දරුවෙක්
අතට ගන්න හැම වෙලාවෙ ම
මගෙ හිත ඇතුළෙන්
ඉපැදෙන්න පොරකන
මගේ ම දරුවව
මං මරල දැම්ම…!

සමාජය වෙනුවෙන් ජීවිතය කැප කළ ගැහැනු අවසානයේ තමන් පිළිබඳ ස්වයං විවේචනය කරගන්නා අයුරු කිවිඳිය ලීන් කියව්සි තුළින් හෙළි කරයි.

මාතාහරී
මාතාහරී පිළිබඳව නොකියමි. (ඔබ ඒ පිළිබඳ ව කියවන්න. )
ලෝක සම්මතයේ “නරක ගෑනු” යැයි ප්‍රසිද්ධ එවුන්ගේ ඇතුළාන්තය කියවන්නේ කවුරුන්ද? ඔවුන් එතැනට පත්වන්නට හේතුව කුමක්දැයි සොයා නොබලා ලේබල් කරන්නට සමාජයීය මිනිස්සු නොපැකිළෙති. මතුවට ඔබත් ඊට පෙර මදක් සිතන්න.

හැබැයි , මම කියන්නෙ
හැඟක් ලස්සන
නරක ගෑනුන්ගෙ
නිරුවතට යටින් තියෙන
හදවත…!

අවසානයේ කිවිඳිය විනිසුරු වෙත පිවිසෙයි.

හිනැහෙන ,හඬන , වැලපෙන , ඉපැදෙන මැරෙන
හැරයන, මඟහරින, ඉවසන අත් හරින
විමසන පතන සැඟැවෙන හදවත බිඳුණ
අවසන ගැහැනු’මය මේ ලෝ දියෙහි පැසවන

කිසිවිට දුක කියා නොවැලපෙන මුහුණු
පිසලන ඇස කඳුළු කොතෙක්දැයි අහනු
උස කඳු, කුලුනු, සෙවණලි වැටී වැහුණු
ඇස’ඟින් හිනාවෙන උන්, ඒ අඬන ගැහැනු

නැත ඇය විනිසුරු තීන්දුව නොදෙයි. එය පාඨකයා වෙත කිවිඳිය බාර දෙයි.

…නාරියෙ’කුගෙ ජීව චරකය ලියැවුණු
ජූරිය ඔබ්‍යි, දැන් තීන්දුව පවසනු …!

නාරි සූත්‍රය ගැන තව ලියන්නට දේ ඇතත් කාලය විසින් ඉඩ අහුරා ඇත. රිදුම් පිරි පිරිමැදුම් තරමට ම රිදුම් නොදුන් නමුත් නාරි සූත්‍රය ප්‍රශස්ත කාව්‍ය නිර්මාණ කාර්‍ය්යකි. සමාජය හා ස්ත්‍රීත්වය පිළිබඳ සැඟවුණු නොදුටු නව්‍ය ආකල්ප ගොන්නක් සහෘදයා වෙන කිවිඳිය ගෙන එයි. මෙවන් වෑයමක් ගත් ඈට තුති නොපුදා නොසිටිය හැකි ය.

අකලංක මාතරගේ

සබැඳි

Leave a Reply

Your email address will not be published.