ලාංකේය දේශපාලනයේ නවකතාකරුවන් අතින් මඟ හැරුණු සුවිශේෂ ඉසව්වක් ‘කැමීලියා’

Read Time:6 Minute, 44 Second

‘කැමීලියා’ : තිස්ස නිහාල් වික්‍රමසිංහ

‘නවකතාවක් ලිවීම යනු පෞද්ගලික වැඩබිමක්’ යැයි කියැවෙන කියමනක් කොතැනකදී හෝ කියවා තිබුණා මතක ය. කාලය හා අවකාශය කළමනාකරණය, චරිත හා ගැටුම් කළමනාකරණය ඇතුළු වැඩකටයුතු රාශියක් නවකතා රචකයකුට සිය පෞද්ගලික වැඩ බිම තුළ කරගෙන යන්නට සිදු වන අතර, එම වැඩ බිම වසා දැමෙන්නේ නවකතා අත්පිටපත පොතක් ලෙස ප්‍රකාශයට පත් වූ පසුය. රචකයා සිය මනසෙහි කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය ඒ පරිකල්පනීය වැඩ බිමෙහි මහරු අස්වැන්න වන්නේ නවකතාවයි.

නවකතා රචනය ගැන මෙබඳු සිතිවිලි සිතෙහි නැඟුණේ, මීට දින කිහිපයකට පෙර පළ වූ අලුත් නවකතාවක් කියවන්නට ලැබීමෙන් පසුය. ‘කඩුල්ල’ ප්‍රකාශනයක් ලෙස පළ වූ එම නවකතාව ‘කැමීලියා’ ය. සිය කුළුඳුල් නවකතාව වන ‘කැමීලියා’ හරහා නවකතාකරුවකු ලෙස මෙරට නවකතා ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වන්නේ තිස්ස නිහාල් වික්‍රමසිංහ සහෝදරයාය. ඔහු මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයට, වාම පුවත්පත්කලාවට හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයට ආගන්තුකයකු නොවේ. ‘ලංකා ඉරිදා සංග්‍රහයේ’ සමාරම්භක ප්‍රධාන කර්තෘවරයා ලෙස කලක් කටයුතු කළ ඔහු, සාහිත්‍ය නිර්මාණකරණයේ සිය සලකුණ මෙතෙක් සනිටුහන් කළේ කවිය, කෙටිකතාව හා මාධ්‍ය අධ්‍යයන හරහාය.

ලාංකේය දේශපාලනයේ එක් ක්ෂේත්‍රයක් වන වෘත්තීය සමිති හා වෘත්තීය අරගල සම්බන්ධ කතිකාව ඇසුරෙහි ‘කැමීලියා’ නවකතාව නිර්මාණය කරන ඔහු, ලංකාවේ වමේ දේශපාලනය හා ලාංකේය ධනේශ්වරය හා සබැඳි හැඩ තල පිළිබඳ සමාජ විද්‍යාත්මක වූත්, දේශපාලනික වූත්, සාහිත්‍යරූපීවූත් තියුණු විමර්ශනයක් සිදු කරන්නේ ඒ ඒ සමාජ පංති හා බලවේග නියෝජනය කරන විවිධ චරිත හරහාය.

‘කැමීලියා’හි ප්‍රධාන චරිතය ‘මිථුන්’ය. මිථුන්ගේ භූමිකාව අපූර්ව ලෙස කළමනාකරණය කරමින් 80 – 90 දශකවල ලාංකේය දේශපාලනය, වෘත්තීය සමිති අරගල හා ඒවායේ හැඩතල, වාම දේශපාලනයේ මැදිහත්වීම් හා ධනේශ්වර කර්මාන්ත ව්‍යුහයේ මූලයන් හා ස්වභාවයන් සම්බන්ධ තියුණු විවරණයක් කරන්නට නවකතාකරුවා සමත් වෙයි. මෙරට තේ කර්මාන්තය හා සම්බන්ධ එක් ක්ෂේත්‍රයක් වන අගනුවර ස්ථාපිත ‘අපනයනය සඳහා තේ සැකසුම් කරන කර්මාන්තශාලාවක්’ පසුබිම් කොට නවකතාව ස්ථානගත කරන රචකයා, මේ කර්මාන්තය සම්බන්ධ මනා හැදෑරීමක් කර ඇති බව පැහැදිලි වන අතර, මෙරට වමේ දේශපාලනය හා වෘත්තීය සමිති අරගල සම්බන්ධ මතුපිට අතපතගෑම් ඉක්මවා ගිය තියුණු ගවේෂණයක හා සහභාගීත්ව නිරීක්ෂණයක ඉපැරණි අත්දැකීම් ‘කැමීලියා’ තුළ ප්‍රතිනිර්මාණය කරයි.

මෙහි විවිධ භූමිකා නිරූපණය කරන කිසිදු චරිතයක් ඕපපාතික චරිත බවට පත් නොකොට ඒ සියල්ල නිවැරදි පංති මූලයන් සහිතව නිර්මාණය කරන්නට සමත්වන රචකයා, සාහිත්‍යකරුවාගේ කාර්යභාරය කුමක්ද යන්න ඔප්පු කරන්නේ එම චරිත පටු ජාතිවාදී දැක්මකින් කළමනාකරණය නොකොට, පංති පදනමක් තුළ ඒ චරිතවල හැසිරීම් කියැවීමට පාඨකයාට ප්‍රවේශයක් විවෘත කොට දෙමිනි. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් හා මැලේ යන මෙරට සියලු ජාතිකත්වයන්ට අයත් ඒ චරිතවල හැසිරීම් පිටුපස ඇත්තේ ඒ චරිත අයත් පංති පදනම බව රචකයා තහවුරු කරන්නේ අමු ප්‍රචාරකවාදී ප්‍රෙව්ශයකින් නොව, නිරායාස නිර්මාණශීලීත්වයකිනි.

කම්හල තුළ උද්ගත වන අරගලය මෙහි ප්‍රධාන ගැටුම වන අතර, එම අරගලය කැඩපතක් කොට ඒ අභිමුව විවිධ චරිත තබමින් ඒ චරිතවල ස්වභාවය විවරණය කරන්නට රචකයා සමත් වෙයි. වෘත්තීය අරගලය ඉදිරිපිට කම්හලේ ප්‍රාග්ධන හිමිකාරීත්වය හැසිරෙන ආකාරය එක් පසෙකින්ද, කම්හලේ කම්කරුවන් ලෙස සේවය කරන නාගරික නිර්ධන පංතික ගැහැනුන් හා පිරිමින්ගේ හැසිරීම අනෙක් පසෙන්ද නිර්මාණය කරන රචකයා, ප්‍රාග්ධන හිමිකාරීත්වය වෙනුවෙන් රාජ්‍යය සිය දායකත්වය දෙන ආකාරයද, නාගරික නිර්ධන පංතිය නියෝජනය කරන ගැහැනුන්ගේ හා පිරිමින්ගේ මතුපිට රළු ස්වාභාවය යට සැඟවුණු මනුෂ්‍යත්වය හා අරගලකාරීත්වයද, අරගලයේ තීරණාත්මක අවස්ථාවේදී පවා එය පාවා නොදී සිය රැකියාව වුව ඒ වෙනුවෙන් කැප කරන්නට සූදානම් ඒ පංතියේ නිර්ව්‍යාජත්වයද, මෙරට නවකතාකරුවන්ට හසු නොවූ මානයකින් කියවන්නට රචකයා කටයුතු කරන්නේ, සිය වාමවාදී දේශපාලනික කියැවීම ඔස්සේ බව පැහැදිලිය.

ඉදින්, ‘කැමීලියා’ යනු ලාංකේය නවකතා පොත් රාක්කයට තවත් නවකතාවක් එක්වීමක් හෝ, ලාංකේය නවකතාකරුවන්ගේ ලයිස්තුවට තවත් අලුත් නවකතාකරුවකුගේ ආගමනයක් සනිටුහන් කිරීමක් හෝ නොවන බව අපගේ කල්පනාවයි.

‘කැමීලියා’ තුළ ඔබ – අප කියවනු ඇත්තේ ලාංකේය දේශපාලනයේ සුවිශේෂ ඉසව්වකි. මෙරට බොහෝ නවකතාකරුවන් අතින් මඟ හැරුණු ඉසව්වකි.

නවකතාව නම් වූ, සිය පෞද්ගලික වැඩබිමේ කාර්යභාරය හමාර කොට එය අප අභිමුව තබන තිස්ස, ‘කැමීලියා’ සාමූහික සමාජ – දේශපාලන – සාහිත්‍ය සංවාද වැඩබිමකට නිමිත්තක් කොට තබන්නේ පාඨකයින් ලෙස එතැන් පටන් අපගේ කාර්යභාරය පිළිබඳව බලාපොරොත්තුසහගත වෙමිනි.

ප්‍රභාත් චින්තක මීගොඩගේ

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post ලබන පොහොයට පන්සල් අදුරේ
Next post “පාලකයෝ හැමදාම දෙයක් දුන්නේ හිඟාකාලා, ණයවෙලා” – “ඉදිරියේ වෛද්‍යවරු හිඟයක්”