ඉන්දියාව මෙන් දෙගුණයකටත් වඩා විශාල සමුදුරු පත්ලේ සැඟවී ඇති වනාන්තර

සුවිසල් ඇල්ගී වර්ගයක් වන කෙල්ප් සහ එවැනි වෙනත් මුහුදු පැළෑටි වලින් ගහන මුහුදු වනාන්තර විශාල ප්‍රමාණයක් අප සිතනවාටත් වඩා වැඩියෙන් සාගර පතුලේ සැඟව තිබෙනව.

ඒවායින් නම්කර ඇත්තේ කිහිපයක් පමණක් වුවද ඒවායේ සරුවට වැඩුණු වියන් යට මුහුදු ජීව විශේෂ අධික ගණනක් වෙසෙනව.

දකුණු අප්‍රිකා වෙරළ තීරයට ඔබ්බෙන් ඇති මහා අප්‍රිකානු මුහුදු වනාන්තරය ( GASF ) සහ ඕස්ට්‍රේලියාවට පහළින් තිබෙන මහා දක්ෂිණ පරය ( GSR ) එවැනි නම් කළ මුහුදු වනාන්තර දෙකක්.

පසුගිය සැප්‍තැම්බර් 15වෙනි දින The Conversation මාධ්‍ය ජාලයේ පළ කර ඇති අළුත්ම පර්යේෂණ වාර්තාවකට අනුව ලොව සගර පත්ලේ තිබෙන මුහුදු වනාන්තර ප්‍රමාණය ඉන්දියාව මෙන් දෙගුණයකටත් වඩා විශාල වන අතර ඒවා සාගරය තුළ නිෂ්පාදිතතාවයෙන් අනූනයි.

ඉන් බොහොමයක් මුහුදු වනාන්තර නම් කර නැහැ.
කෙල්ප් වැනි විවිධ ඇල්ගී වලින් සමන්විත මුහුදු වනාන්තර අපේ ගොඩබිම් වනාන්තර වල තිබෙන හරිත ශාක වගේම ප්‍රභාසංශ්ලේෂණය කරමින් ආහාර නිපදවනව.
මුහුදු වනාන්තර වල විශාලම ඇල්ගී විශේෂ කෙල්ප් යන දුඹුරු ඇල්ගී කාණ්ඩයට අයත් වන අතර ඒවා මීටර් 30 සිට මීටර් 80 දක්වා වර්ධනය විය හැකියි.

ඉන් Macrocystis සහ Nereocystis ගණයන්ට අයත් කෙල්ප් විශේෂ දිනකට මීටර් බාගයක් තරම් වේගයෙන් වැඩෙනව.
ඒවා කෙල්ප් වනාන්තර ( Kelp Forests ) ලෙස මුහුදු පතුලේ සරුවට වැඩී තිබෙනව.
” මට මේ සුවිශාල ජලජ වනාන්තර සැසඳිය හැක්කේ අන්තර් නිවර්තන ප්‍රදේශවල ඇති භෞමික වනාන්තර සමග පමණයි. එහෙත් යම් රටක් එවැනි වනාන්තරයක් විනාශ කළොත් මෙම කෙල්ප් වනාන්තර විනාශ කිරීමෙන් තරම් සත්ව විශේෂ ගණනාවක් නැතිව යාවි කියා මම විශ්වාස කරන්නේ නැහැ. “
ඒ සඳහන කර තිබෙන්නෙ තම බීගල් සංචාරයේදි කෙල්ප් වනාන්තර දැකීමෙන් පසු චිලී රාජ්‍යයේ ටියෙරා ඩෙල් ෆියුගෝ වලදි 1834 වසරෙ ජූනි මස 1 වෙනි දින, චාල්ස් ඩාවින් විසින්.

ලොව මුහුදු වනාන්තර වලින් වැසුණු ප්‍රමාණය ඇමේසන් වනයටත් වඩා විශාල වන වර්ග කිලෝමීටර් මිලියන 6 සිට 7.2 අතර තරම් විශාලත්වයක් බව පර්යේෂණ වාර්තාවේ දැක්වෙනව.
ඔවුන් එහි සඳහන් කරන්නේ තිරිඟු, ඉරිඟු සහ වී යන ධාන්‍ය වගාවන්ට වඩා මුහුදු වනාන්තර ආහාර නිෂ්පාදන හැකියාවෙන් වැඩි බවයි.

සෑම වසරකම මෙම මුහුදු වනාන්තර ඒකක වර්ග ඵලයකකට නිපදවන ජෛව ස්කන්ධය පෙර කී බෝග මෙන් දෙගුණයේ සිට එකොළොස් ගුණය දක්වා වැඩි බව එහි දැක්වෙනව.
මුහුදු වනාන්තර වල වේගවත් වර්ධනයෙන් පැහැදිලි වන්නේ ඒවා කාබන් ඩයොක්සයිඩ් වායුවට දක්වන කුසගින්නේ තරමයි.
ගෝලීය වශයෙන් ඇමේසන් වනය තරම් කාබන් ප්‍රමාණයක් මුහුදු වනාන්තර විසින් ලබාගන්නා බව වාර්තාවේ දැක්වෙනව.

ප්‍රේමශාන්ත කුමාරසිරි

සබැඳි

Leave a Reply

Your email address will not be published.