“මම පාරෙ කඩපිල් වල නිදාගෙන උදේ පාන්දර පයිං පාර කාපු අප්‍රිකානු කොල්ලෙක්”

Read Time:7 Minute, 44 Second

ලයනල් මෙසී.. එහෙමත් නැතිනම් රොනාල්ඩෝ කීවම අපි හැමෝම දන්නව.

අද පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ප්‍රසිද්ධ වුනාට හැබෑම රොනාල්ඩෝ බිහිවෙන්නෙ බ්‍රසීලයෙන්. ඒ අනූව දශකයේ. පේලේට පසුව බිහිවූ විශිෂ්ඨතම ක්‍රීඩකයෙක් තමයි රොනාල්ඩෝ කියන්නෙ.
ආර්ජන්ටිනාවේ දියාගෝ මැර්ඩෝනාත් ඒ වගේම ප්‍රසිද්ධ ක්‍රීඩකයෙක්.
බ්‍රිතාන්‍යයේ ඩේව්ඩ් බෙකම්.. ප්‍රංශයේ සිනෙඩීන් සිඩාන්.. තියරි හෙන්රි තවමත් බොහොම ජනප්‍රියයි.

පාපන්දු කියන්නෙ ලෝකයේ ප්‍රසිද්ධම ක්‍රීඩාව. ඒ වගේම ලොව වඩාත්ම ධනවත් ක්‍රීඩකයන් බිහි කරන්නෙත් පාපන්දු විසින්.

සාදියෝ මනේ ( Sadio Mané) කියන්නෙත් සුපිරි තරුවක්.. ඩොලර් බිලියන ගනන් මුදල් උපයන. නමුත් මාධ්‍ය මගින් මනේට ඒ තරම් ප්‍රසිද්ධියක් දෙන්නෙ නෑ වගේම සාදියෝ මනේ මාධ්‍ය මායිම් කරන්නෙත් නෑ.

දවසක් සීන්බීසී මාධ්‍ය කරුවෙක් අහනව මොකද ඔබ මේ අවුරුදු හත අටක් පරන ජංගම දුරකථනයක් පාවිච්චි කරන්නෙ.? ලෝබ කමද නැතිනම් ඒ හරහා ඔබ ප්‍රසිද්ධ වෙන්නද උත්සාහ කරන්නෙ.?
( සාදියෝ පාවිච්චි කරන දුරකථනයේ තිරය ඉරිතලා තියන බව ප්‍රසිද්ධ කාරණයක්.)

“මහත්තයා මම ප්‍රසිද්ධ නැතිනම් ඔබ වගේ මාධ්‍ය කරුවෙක් පිටි පස්සෙන් ඇවිත් ප්‍රශ්ණ අහයිද.?”

“ඔබට අහන්න පුළුවන් ඇයි මම පරන ටොයොටා කාරෙකක් පාවිච්චි කරන්නෙ. ඇයි ගිය අවුරුද්දෙ ඉඳන් එකම ඇඩිඩාස් සපත්තු දෙක දාන්නෙ යන හැම ගමනකටම. මොකද මට ප්‍රයිවට් ජෙට් එකක් නැත්තෙ.?
ඇයි මගේ වටේ බොඩිගාඩ්ල.. ෆෙරාරි.. ලැම්බෝගිනි නැත්තෙ කියල.

මහත්තයා මම කුණු බක්කි පෙරලගෙන කාල ජීවිතේ ගැට ගහ ගත්ත දරුවෙක්.
සපත්තු නැතිව ෆුට්බෝල් ගහල කකුලෙ ඇඟිලි වල නියපොතු ගලව ගත්ත පොඩි එකෙක්. පාරෙ කඩපිල් වල නිදාගෙන උදේ පාන්දර පයිං පාර කාපු අප්‍රිකානු කොල්ලෙක්.

මේ පරන දුරකථනය… ටොයොටා කාර් එක .. ලිවර්පූල් ජීවිතය මට හොඳටම ප්‍රමාණවත්.
ලෝකෙ තියන ඔක්කොම සැප පහසුකම් ලඟ තියාගෙන.. මුළු ලෝකෙටම පේන්න රඟපාල මට ලබාගන්න දෙයක් නෑ.
ඒ විකාර කරන්න විසි කරන සල්ලි වලින් පොඩි එවුන්ට ඉස්කෝලෙයක් හදල දෙන්න පුළුවන්… උන්ට ඉස්කෝලෙ යන්න උදව් කරන්න පුළුවන්.”
“මගෙ ෆෝන් එක මාරු කරන වෙලේ සපත්තු කුට්ටම් දාහක් අරන් දෙන්න පුළුවන් පයින් ඉස්කෝලෙ යන පුංචි එවුන්ට.
කරුණාකරල මගෙන් ඔය ප්‍රශ්ණ අහන්න එපා. මම සාමාන්‍ය මනුස්සයෙක් මිස තරුවක් නෙවේ.”

සාදියෝ උපදින්නෙ දුප්පත් අප්‍රිකානු රටක් වූ සෙනගාලයේ.
ඒ 1992 අවුරුද්දෙ අප්‍රේල් මාසෙ.
පුංචි කාලෙ කොයිතරම් පාපන්දු ක්‍රීඩාවට ඇලුම් කරත් එයාගෙ තාත්ත ක්‍රීඩා කරන්න ඉඩ දෙන්නෙ නැහැ. හේතුව එයා මූලධර්මවාදී ඉස්ලාම් ඉමම් කෙනෙක්.

කුඩා කාලයේදීම තමන්ගෙ තාත්ත මිය යාමත් එක්ක පාපන්දු සිහිනය හැබෑ කරගන්න පාරවල් ගානෙ රස්තියාදු වෙන මනේට සෙනගාලයේ ඩකා නුවර ජෙනරේශන් ෆූට් ( Generation Foot ) කියන පාපන්දු කන්ඩායම බැඳෙන්න අවස්ථාවක් ලැබෙනව.
මුඩුක්කු හා පාරවල් අයිනෙ ෆුට්බෝල් සෙල්ලම් කරන කුඩා සාදියෝ ගැන ඒ පලාතෙ හැමෝම කතා කරන නිසයි මේ අවස්ථාව එයාට උදාවෙන්නෙ.

ඩකාර් නුවරට ලඟා වෙන්න හැතැප්ම ගනන් සති ගනන් මේ පොඩි එකා පයින් ගිය බව සෙනගාලයේ ප්‍රසිද්ධ කතාංදරයක්.
ඉන්පස්සෙ ප්‍රංශයේ මෙට්ස් ( Metz) සමාජය හරහා තමයි මනේ ප්‍රසිද්ධ වෙන්නෙ.
අවුරුදු දහ නවය.. විස්ස සම්පූර්ණ වෙද්දි මේ තරුණ ක්‍රීඩකය ගැන යුරෝපයේ ක්‍රීඩා සමාජ බොහොමයක් කතා බහ කරනව.
රෙඩ්බුල් සාල්ස්බර්ග් ..සදම්ප්ටන්.. ලිවර්පූල්.. බයර්න් මියුනිච් වගේ අති ප්‍රසිද්ධ සමාජ වල මනේට ලැබෙන ලන්සුව යුරෝ මිලියන ගානක් වෙන්නෙ එයාගෙ දක්ශකම නිසාමයි.

2011 වසරෙ මෙට්ස් කන්ඩායමේ ප්‍රබලතම ක්‍රීඩකයා වෙන සාදියෝ .. ඉන්පස්සෙ ලිවර්පූල් සමාජයටත් එතනින් මියුනිච් කන්ඩායමටත් අලවි වෙන්නෙ වාර්ථා ගත මිලකට.

2021 අවුරුද්දෙ දක්ශතම අප්‍රිකානු පාපන්දු ක්‍රීඩකයට හිමි සම්මානය දිනා ගන්න සාදියෝ මනේ ජාත්‍යන්තර තරඟ වලදි තවමත් නියෝජනය කරන්නෙ සෙනගාල් කණ්ඩායම.
එයා ගත්ත සම්මාන.. දිනවපු තරඟ.. තබපු වාර්ථා බොහොමයි.

දුප්පත් පවුල් වලින් ඇවිත් කෝටිපතියන් වූ අප්‍රිකානු පාපන්දු ක්‍රීඩකයන් බොහොමයක් ඉන්නව.
මොනාකෝ.. සුරිච්.. ලන්ඩන්.. පැරිස්.. වගේ නගර වල සුපිරි ජීවිත ගත කරන මේ ක්‍රීඩකයන් ප්‍රංශ.. ජර්මන් හෝ වෙනත් සුපිරි රටවල පුරවැසි භාවය ලබාගත් අය.

නමුත් සාදියෝ මනේ තවමත් ක්‍රීඩා කරන්නෙ සෙනගාලයට. 2016 අවුරුද්දෙ ලිවර්පූල් කන්ඩායම වෙනුවෙන් මනේට නියම වූ මිල පවුම් මිලියන තිස් හතරක්.

ඩොලර් මිලියන දහයක පමන වාර්ශික ආදායමක් ලබන සාදියෝගේ ආදායමෙන් වැඩි කොටසක් වියදම් වෙන්නෙ සෙනගාලයේ පාසැල් ඉදිකරන්න.. රෝහල්.. පාරවල්.. ක්‍රීඩාංගන හදන්න. එහෙමත් නැත්තං කුඩා දරුවන්ට ශිශ්‍යත්ව දෙන්න.
නමුත් මේ ගැන මාධ්‍යයේ ප්‍රසිද්ධ කරන්න .. අඬ බෙර ගහන්න මනේ කැමති නෑ. ඒ නිසයි ඔහු අති විශිෂ්ඨයෙක් වෙන්නෙ.
සෙනගාලයේ සිදුවෙන දේශපාලන දූශණ වලට විරුද්ධව අතේ කළු පටියක් බැඳගෙන ක්‍රීඩා කරන මනේව සමහර තරඟ වලදි දකින්න පුළුවන්.

සාදියෝ මනේ ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩකයෙක්.. අති දක්ශයෙක්… ඒ හැමටම වඩා බොහොම වටින මනුස්සයෙක්.
මේ සතියෙ ජාත්‍යන්තර ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් විශිෂ්ඨ රොජර් ෆෙඩරර් හෝ සෙරේනා විලියම්ව ලයිස්තුවේ පහලින් තියල සාදියෝ මනේ ගැන ලියන්න තීරණය කලේ මේ අපූරු මනුස්සකම නිසාමයි.

කුසලානයක් දිනපු ගමන් තමන් නිසා ඒක දිනුව කියමින් කෑගහන මෝඩ දේශපාලකයන් හා ක්‍රීඩා කන්ඩායම් මැදට පැනල පිංතූර අරගෙන ප්‍රසිද්ධ වෙන්න දඟලන විකාර චරිත අතරෙ …සාදියෝ මනේ වගේ විශිෂ්ඨ මිනිස්සුත් ඉන්නව කියල අපි දැනගත යුතුයි.

Malcolm Sang

( Sadiom Mané- 1992 Bambali Senegal)

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post රොජර් ෆෙඩරර් ටෙනිස් පිටියෙන් සමුගනියි
Next post ‘කියුබානු විප්ලවයේ මතක සටහන්’ අර්නස්ටෝ චේ ගුවේරා