සමන්තා පවර් කුඹුරට බැස්සේ ඇයි ?

Read Time:12 Minute, 28 Second

ඇමරිකානු ජාතික ආශාවන් වෙනුවෙන් වැඩකරන ලොව ප්‍රමුඛතම ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සියක් ලෙස සැළකෙන ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපදනියෝජිතායතනයේ (USAID) පරිපාලක ලෙස සමන්තා පවර් මේ වන විට සේවය කරනවා.පසුගිය දාක ඇය දෙදින නිල සංචරයක් සහා මෙරටට පැමිණි අතර එම සංචාරය කිසියම් ආකාරයකට හදිසියේ සැළසුම් කරන ලද්දක් බවක් දැකිය හැකියි. කෙසේ වෙතත් ඇයගේ මෙරට සංචාරය අපේ රටේ මෙන්ම කලාපය තුළත්, ලෝකය තුළත් කිසියම් මට්ටමකට මාධ්‍ය අවධානයට ලක් වුණා.

සංචාරයේ ප්‍රකාශිත අරමුණූ මෙම සංචාරයේදී සමන්තා පවර් රජයේ නිලධාරීන්, දේශපාලකයින්, පෞද්ගලික අංශයේ නියෝජිතයන්, මෙන්ම ගොවීන් හමුවී අපේ රට මුහුණ දි සිටින සංකීර්ණ හදිසිතත්ත්වයෙන් වඩාත් පීඩාවට පත් වූවන් මෙන්ම මේ තත්වය ඔවුන්ගේ ජීවිතවලට බලපාඇති ආකාරය සාකච්ඡා කරන බව ප්‍රකාශ වුණා. එමෙන්ම තත්ත්වය නැවතගොඩනැගීමට එක්සත් ජනපදය සහාය ලබා දෙන්නේ කෙසේද යන්න සාකච්ඡා කළ බව ද ප්‍රකාශ වුණා.

එමෙන්ම ඇය ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන අර්බුදවලට විසඳුම් සෙවීම සඳහා විවිධ පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු නායකයින් ද හමු වු බවවාර්තා වුණා. ඇයගේ සංචාරය අතරතුර, ආහාර සුරක්ෂිතතාව, ඉන්ධන සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය, ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය, වංචා දූෂණ පිටුදැකීම සහ යුක්රේනයට එරෙහි රුසියාවේ යුද්ධය කලාපයට සිදු කරන බලපෑම සම්බන්ධ ගැටළු දසාකච්ඡා කළ බව ද සදහන්.

එමෙන්ම මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය ප්‍රවර්ධනය කරන සියල්ල සම්බන්ධ කරගත් සංවර්ධනයක් (Inclusive Development) සඳහා USAID හි සහාය ද ශක්තිමත් කරන බවද ප්‍රකාශ වුණා. කෙසේ වෙතත් මේ සියල්ලට යටින් සාකච්ඡා කළ නමුත් මතු පිටට නොපෙන්වන ලද වැදගත්ම විෂයක් වුයේ නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් සඳහා වු එක්සත් ජනපදයේ අවශ්‍යතාවය නැවත අවධාරණය කිරීමයි. මේ
පිළිබඳව අපේ රටේ කිසිදු ජනමාධ්‍යක් අවධානය යොමු කර තිබුණේ නැහැ වගේම අදාලපාර්ශයන්ද ඒ ගැන කථිකා නොකිරිමට වග බලා ගෙන තිබුණා.

කවුද මේ සමන්තා පවර්?

ඇය වයස අවුරුදු නවයේදී අයර්ලන්තයේ සිට එක්සත් ජනපදයට සංක්‍රමණය වු කාන්තාවක්. ඉතිහාසය පිළිබඳ මූලික උපාධිය යේල් විශ්වවිද්‍යාලයෙන් සහ හාවඩ් නීතිවිද්‍යාලයෙන් ලබා ගෙන තිබෙනවා. පසුව ක්‍රිඩා ජනමාධ්‍යෙව්දිණියක ලෙස කටයුතු කළා. බොස්නියාව, නැගෙනහිර ටිමෝරය, කොසෝවෝ, රුවන්ඩාව, සුඩානය සහ සිම්බාබ්වේවැනි රටවල සේවය කරමින් පවර් යුධ ගැටුම් වාර්තා කරන මාධ්‍යවේදිනියක් ලෙස සියවෘත්තීය ජීවිතය වඩා වෙනස් මගකට රැගෙන ගොස් තිබෙනවා. U.S. News, World Report,the Boston Globe, the Economist, the New Republic වැනි මාධ්‍ය ආයතන වෙනුවෙන් ඇය සිය සේවය ලබා දී තිබෙනවා. එමෙන්ම ටයිම් සඟරාව සඳහා තීරු ලිපි රචකයෙකු සහ අත්ලාන්තික්, නිව් යෝර්කර් සහ නිව් යෝර්ක් වැනි ජාතික සඟරා වල සම්මානලාභී දායකයෙකු ලෙසත් කටයුතු කර තිබෙනවා.

අණතුරුව සමන්තා පවර් Harvard Kennedy පාසලේ ගෝලීය නායකත්වය සහ රාජ්‍ය ප්‍රරතිපත්ති වල ප්‍රායෝගිකත්වය පිළිබඳ මහාචාර්යවරිය ලෙස කටයුතු කළ අතර Harvard Law School හි මානව හිමිකම් හි
ප්‍රායෝගිකත්වය පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙසත් කටයුතු කර තිබෙනවා (මෙම තනතුරු දෙකම කිසියම් ආකාරයකට එම විශ්ව විද්‍යාල දෙක ලබා දුන් ගෞරව තනතුරු) . සමන්තා පවර් ලොව ප්‍රකට වන්නේ ඇය 2013
සිට 2017 දක්වා කාලයේදී, එක්සත් ජාතීන්ගේ 28 වැනි එක්සත් ජනපද නිත්‍ය නියෝජිතයා ලෙස කටයුතු කරන සමයේයි.

ඇය බැරක් ඔබාමා ජනාධිපතිගේ සමීපතමයෙකු ලෙස ද සැළකෙනවා. එමෙන්ම 2009 සිට 2013 දක්වා සමන්තා පවර් ඇමරිකානු ජාතික ආරක්ෂක කවුන්සිලයේ කාර්ය මණ්ඩලයේ ජනාධිපතිගේ විශේෂ සහකාර ලෙස ද කටයුතු කර තිබෙනවා. එමෙන්ම බහුපාර්ශ්වික කටයුතු සහ මානව හිමිකම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ලෙසත් සේවය කළා. වරක් ජනාධිපති ඔබාමා ඇයව හැඳින්වූයේ “විදේශ ප්‍රතිපත්ති පිළිබඳ අපගේ / ඇමරිකාවේ ප්‍රමුඛතම චින්තකයෙකු”
ලෙසයි. වරක් ෆෝබ්ස් සඟරාව විසින් “එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය මෙන්මමානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ලොව බලගතු සටන්කාමියෙකු” ලෙස ඇයව හඳුන්වනු ලැබුවා.

එමෙන්ම මෙම සඟරාවම “ලෝකයේ බලවත්ම කාන්තාවන් 100 දෙනාගෙන්” කෙනෙකු ලෙස ද ඇයව නම් කරා. එමෙන්ම ටයිම් සමඟරාව “ලෝකයේ වඩාත්ම බලගතු පුද්ගලයන් 100 දෙනාගෙන්” කෙනෙකු ලෙස දෙවරක්ම තෝරාගෙන තිබෙනවා. මෙතරම් ප්‍රබල කාන්තාවක් ජා ඇල ප්‍රෙද්ශයේ කුඹුරකට බැස්සේ ඇයි? නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් උපාය මාර්ගය නිදහස් හා විවෘත ඉන්දු පැසිපික් උපාය මාර්ගය පිළිබඳ නව මානයකින් කටයුතු කරන බව බයිඩන් ජනාධිපති පසුගිය පෙබරවාරි මාසයේදී ප්‍රකාශ කළා. ඇමරිකාවේ මේ ඉන්දු පැසිෆික් උපාය මාර්ගය මෙම කලාපය තුළ සිදු වන චීන මැදිහත්වීම වලට එදිරිව ගොඩ නගන ලද සැළැස්මයි. මෙම සැළැස්ම සකස් කරන ලද්දේ බැරක් ඔබාමා පරිපාලනය විසින්. ඒ සඳහා සක්‍රීයම දායකත්වය ලබා දුන්නේ මේ සමන්තා පවර් විසින්.

ඒ නිසා මෙම ඇමරිකානු භූ දේශපාලනික උපාය සැළැස්ම ගැන හොඳටම දන්නේ ඇයයි. ඒ නිසයි ඇයව බයිඩන් පරිපාලනය විසින් නැවත රාජ්‍යතාන්ත්‍රික සේවය සඳහා කැඳවන්නේ. දැන් ඔබට සිතා ගත හැකියි නේද සමන්තා ජා ඇල කුඹුරට බැසීම සමග ඇති දේශපාලනසම්බන්ධය. ඇමරිකාව පවසන්නේ තමන් නිදහස් හා විවෘත, ඒ වගේම සහසම්බන්ධිත, සමෘද්ධිමත්,ආරක්ෂිත සහ ඔරොත්තු දෙන ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා කැපවී සිටීන බවයි. එම
ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා, එක්සත් ජනපදය කලාපයම ශක්තිමත් කරන
අතරම එය මේ මොහෝතේ ඇමරිකානු ජාතික අභිලාශයන් අතර ප්‍රමුඛතම අභිලාෂයවන බව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ බව දක්වමින් ධවල මන්දිරය “නිදහස් සහ විවෘත ඉන්දු-පැසිෆික්” කලාපයක් සඳහා සිය නව උපාය මාර්ගයන් ප්‍රකාශයට පත් කරතිබෙනවා. එමගින් කලාපීය දේශපාලන සම්බන්ධතාවය, වෙළඳාම සහ ආයෝජන සඳහා සහය ලබා ගැනීම වැදගත් ලෙස ප්‍රකාශ කර ඇති අතර ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික හවුල්කාරිත්වයන් පුළුල් කර ඇමරිකානු ආර්ථික සහ වෙළඳ ඉලක්ක වෙත ලඟා වියයුතු බව අවධාරණය කරනවා. ඇමරිකානු ප්‍රමුඛතා ලේඛනයේ දක්වා ඇති ප්‍රධාන ‍ප්‍රමුඛතාව වන්නේ මේ කලාපය තුළ එක්සත් ජනපදය, ඉන්දියාව සහ චීනය අතරඋපායමාර්ගික ගතිකත්වය විශ්ලේෂණය කර එය ඇමරිකානු අවශ්‍යතාවයන්ට අභියෝගයක් නොවන ලෙස පවත්වා ගෙන යෑම සහ එහි ස්ථිරතාවය සහතික කිරීමයි.

නමුත් මේ කිසිවක් ජා ඇලට සැළසුම් කර ගෙන්වන ලද ගොවියන් දන්නේ නැහැ. නමුත් මේ ගැන දන්න කිහිප කෙනෙක් ඉන්නවා. ඒ අතර රනිල් වික්‍රමසිංහ ප්‍රධානයි.අනෙක් පිරිස තමයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ මේ විෂය භාර නිළධාරින්. ඔවුන් අපේ රටේ ජනතාවගේ බදු මුදලින් ඉගෙන ගෙන ඔය තනතුරුවලට ගියත් රටට අත් වි ඇති ඉරණම ගැන කට හොල්ලන්නේ නැහැ. කොටින්ම බටහිර බලවතුන් විසින් තමන්ට නතු වන දේශපාලකයින් පිරිසක් පමණක් නොව නිළධාරින් පිරිසක් ද මේ රටේ ගොඩනගා තිබෙනවා.

මේ වෙලාවේ අපේ රට මුහණ දි සිටින ආර්ථික අර්බුදය දඩමීමා කර ගෙන බටහිර බලවතුන් කටයුතු කරන්නේ අපේ රට ඔවුන්ට අවශ්‍ය පරිදි යළි සැළසුම් කිරීමයි(Redesign). මේ ව්‍යාපෘතිය කෙතරම් බලවත් ද යත් අපේ රටේ රාජ්‍ය පාලනය කරන්නේ කවුද යන්න පවා තීරණය කරන්නේ මේ බල ව්‍යාපෘතියයි. ඒ නිසා ඇමරිකාවට මේ වෙලාවේ අවශ්‍ය වන්නේ ලංකාව තමන්ට අතිශයින්ම කීකරු රාජ්‍යයක් බවට පත් කිරීමයි. ඒ වගේම තීරණාත්මක ක්ෂේත්‍ර වෙත සිය ආයෝජන ස්ථාපනය කිරීමයි.

මුල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි ආයතන හරහා තවදුරටත් අපේ රට නව නිදහස්වාදයට නතු කිරීමයි. මේ වැඩේ ඔවුන් කරන්නේ ටිකක් වෙනස් විදිහට. එත් පසෙකින් ඇමරිකාව ජිනීවා වල ලංකාව පතුරු ගහනවා. ඒ සඳහා මානව හිමිකම් කොමිසම එහි නාකයින් පවා යොදා ගන්නවා. ඒ ගමන්ම අනෙක් පසින් සමන්තා පවර් ජා ඇල කුඹුරට බහිනවා. වංචා දූෂණය ගැන කථා කරනවා, ප්‍රජාතන්ත්‍රවාදය ගැන කථා කරනවා. රනිල්ට අතටඅත දෙනවා.

ඩොලර් ටිකකුත් දෙනවා. ජිනීවා කථා සහ චෝදනා සැණෙකෙළියක් පමණක් බවට පත් වෙනවා. සමන්තාලාගේ වැඩේ රනිල්ලා එක්ක කරන් යනවා. මේකටිකක් වෙනස් ගේම් එකක්. ඒක අපේ රටේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඇතැම් අයට දැන ගන්න ඕනිත් නැහැ. මේ සටහන අවසන් කරන්නට පෙර ක්‍රිස්ටෝපර් නෝලාන්ඩ්ගේ Inception සිනමා පටයේ වන දෙබසක් අවසන් වශයෙන් පහත සටහන් කරමු.

Someone else is creating the world carefully. We are being forced to living on it. The more you change
things, the quicker the projections converge on you. You never remember the beginning of your dreams,do you? You just turn up in the middle of what’s going on. Our dreams feel real while we’re in them. It’s only when we wake we realize things were strange

එහි සරල තේරුම කෙනෙක් ප්‍රෙව්ශමෙන් ලෝකය නිර්මාණය කරනවා. ඊට පස්සේ අපිට ඒකේ ජීවත් වෙන්න කියලා බල කරනවා. කෙනෙක් ඒ ලෝකයේ දේවල් වැඩි වැඩියෙන් වෙනස් කරන්න උත්සහා කරන තරමට, තර්ජනයන්ගේ ප
ප්‍රක්ෂේපනයන් ඔබ වෙත වේගයෙන් පැමිණෙනවා.බොහෝ විට ඔබ දකින සිහින වල ආරම්භය ඔබට කිසිදාක මතක නැහැ, ඔබ සිදුවෙමින් පවතින දේක මැදදි ඊට සම්බන්ධ වෙනවා. අපි ඒවා තුළ සිටින විට ඒ සිහින සැබෑවන්
වගේ දැනෙනවා. හැබැයි අපි ඇහැරෙනකොට තමයි තේරෙන්නේ ඒ දේවල් වෙනස්වගේම අමුතුයි කියලා……….

( පරිවර්ථනය සිනමා කෘතියේ සංදර්භයට සමපාත බව සළකන්න.)

අනුහස් බංඩාර

Happy
Happy
100 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post ඇන්ඩෘ කුමරුට පහරදී ඇත්තේ මෙල්බර්න් තරුණයෙක්ද…?
Next post තමිල්නාඩුව සම්මාන උළෙලකදී Stranger කෙටි චිත්‍රපටයට සම්මාන 4 ක්