වෙතටයි………

Read Time:4 Minute, 37 Second

ආයිබොවන්ඩ ගෝටා

අනේ ඉතිං පරාන බය කියන එක සතා සිවුපාවට වගේම මහරජ්ජුරුවන්ටය කියල ආයෙ වෙනසක් තියේ යැ. ජාලාසෙ ඉන්නකං ඔය තෝරු, මෝරු, තල්මස්සු වගේ සාගර රජගොල්ලො හිතාන ඉන්නෙ අපි විතර කෙරුමො සත්ත මහා සාගරේම නැතය කියලනෙ.

එහෙම හිතලා උන් ඔය සාලයො, සූඩයො, හාල්මැස්සො වගේ පුංචි පුංචි සාගර වාසීන්ට නානා ප්‍රොකාර වද හිසං කොරනවනෙ. හැබෑද ආයිබොවන්ඩ ඔය රජගොල්ලන්ට ජුවල් නැග්ගහම රටේ තොටේ ඉන්න නාහෙට නාහන ඇබිත්තන් එකාලව බයිට්ටෙකට අරං හපකරල දානවය කියන්නෙ.

එහෙව් රාජ්ජෙක නොවැ මුන්නැහැත් පහුණු දවස් වල සරුවබල පරාක්කරමයෙන් සිංහාසනාරූඩ වෙලා උන්නෙ. මක්කයින් කියල අඩුපාඩුවක් තිබුණද මහරජානන්වහන්සෙ ට..නැද්ද මං අහන්නෙ. සිතූ පැතූ සම්පත් ඔක්කොම ඔහේගේ දෙපාමුලටම සම්ප්‍රාප්ත වුණා නොවැ. ඒ විතරක්යැ ගෝටො. දැහැමෙන් සෙමෙන් රාජ්ජෙ සංවර්දනේ කොරනහැටි කියල දෙන්ඩත් මහදැනමුත්තො හැත්ත බුරුතත්ක්ම දිවා රෑ දෙකේ ඔහේගේ පංචස්කන්දෙ වට කොරගෙන උන්න හැටිත් මතක ඇතිනෙ.

ඕන් දැන් අපේ නඩේ එකාලගෙ ටැක්ස් බස්සමු උතුමානෙනි කියල එකෙක් උපදෙස් දෙනකොට ඔහේ ටැක්ස් බොත්තම ඔබනවා. ඒ අල්ලපනල්ලෙ තවත් චෞර නාම්බෙකුට පෝර පුරස්නයක් එනවා. ඒකා එතකොට මෙහෙම කියනවා රට හදන විරුවාණෙනි,අපේ මඩි තර කොරගන්න කදිම උපායක් පහළ විය. රසායනික පෝර වහා නවත්තමු. කොම්පෝස යුගයක් අරඹමු.. කදිමය පඬිතුමෙනි කියලා ඔන්න ගස්සපි ඒකටත් ගැසට්ටුවක්. ඔන්න ඔය ආකාරෙට තමා ආයිබොවන්ඩ සීනිකෙළි, තෙල්කෙළි, ගෑස්කෙළි වගේ හොඳ හොඳ සෙල්ලන් එළිවෙන ජාමෙට කරළියට ආවෙ.

රටේ නරපනුවන්ගේ කුසවල් වල බඩපනුවෝ කැරලි ගහන්ඩ පටන් ගත්තෙත් ඔය වංගියෙනෙ. රට රකින විරුවා නං විරුදාවලියෙන් පිදුං ලැබූ ඔහේගෙ ඔන්න සෙප්පඩ විජ්ජා වලට පින්සිද්දවෙන්ඩ තමා ආයිබොවන්ඩ සිරිලංකාව සියල්ලෙන් සපිරි සුපිරි රාජ්ජයක් බවට පත්වුණේ.. මහ මුහුදේ යෝදයෝ ඇබිත්තන් උන්ට කොරපු කෙළිය මහපොළව උඩ ඉන්න නරපනුවන්ට කොරන්න ගියෑයිං තමා ලොක්කා ඔහේට පැදුරටක් නොකියා අන්දකාර රාත්තිරියකම ගුවන්ගත වෙන්ඩ සිද්දවුණේ. නිකංම නෙමේ මහවිරුවානෙනි. කළ කළ දේ පල පල දේ කියන මන්තරෙත් ජප කොර කොරම තමා.

අන්දකාර රාත්තිරියේ මර බියෙන් වෙවුල වෙවුලා දේස සීමාවෙන් අන්තර්දාන වුණ තමුන්නැහැ ඊයෙ පෙරේදා දවසක කළුවරේ ම රටට ගොඩ බහිනව අපි දැක්කා. මහරජ්ජුරුවන්ට ඔය සන්තැංසිය උදාකොරල දීපු හොර නඩේම නේද ආයිබොවන්ඩ ඒ වෙලාවත් ඔහේව වට කොරගත්තෙ. බලිකටවල් ඇරගෙන උන් පෙරේත බැලුම් හෙළපුහැටි හරි හැටි දැක්කනං තමුන්නැහැ ආපු ප්ලේන් එකේම නැගලා කොහේ හරි දීපංකරේකට ආයෙමත් චුත වෙනවා ඒකාන්තයි. එහෙම නැත්තං වසක් විසක් කාලා හරි ඒ නරුමයන්ගෙන් දුරීබූත වෙනවා සත්තයි.

අපේ වියදමෙන් ඉඳුන් හිටුම් ලැබිල තියෙන මේ දවස්වල අපි කනබොන හැටියට ම ගහල අලයක් කාරිය කාලා ඇල්වතුර ටික්ක බීලා ඔහෙත් කුසගිනි නිවාගන්නවා ඇති නේද මයෙ හිතේ. ඔහොම පරිස්සමට ගුහාගත වෙලා හිටියට කමක් නැහැ ගෝටො බැරි වෙලාවත් එළියට බහින්ඩනං හිතන්ඩ එපා. මොකද මුන්නැහැ ඇවිත් ඉන්නව දැක්ක ගමන් කොල්ලො පරණ ගෝටා ගෝ ගම වෙනුවට ගෝටා- රනිල්ගෝ ගම කියලා පූට්ටු ගමක්ම හදන්ඩ බැරි නැති නිසයි..

පරිස්සමින් ඉන්න රජෝ..හොඳේ…

විශ්වමිත්‍ර

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post ආසියානු ශූරතා හිමිකරගත් ක්‍රිකට් සහ දැල්පන්දු පිල් මෙරටට පැමිණෙයි
Next post වනජීවී ඇමති මුවෙකු මරයි : “ඒක වුණේ උඩවලවෙන් පිට” – ඇමති