චාල්ස් රජුගේ රාජ්‍යත්වය තහවුරුකරන ප්‍රිවි කවුන්සලයට හිටපු අගමැතිවරුන් 6 දෙනෙක්

Read Time:8 Minute, 43 Second

තුන්වැනි චාල්ස් රජු බ්‍රිතාන්‍ය රාජ්‍යත්වයට

රාජ්‍යත්වය සඳහා දීර්ඝතම කාලයක් බලා සිටි චාල්ස් කුමරු අද නිල වශයෙන් බ්‍රිතාන්‍ය රජු ලෙස ප්‍රකාශයට පත්වුණා. මෙතැන් පටන් ඔහු තුන්වැනි චාල්ස් රජු (King Charles III) ලෙස හැඳින්වෙනු ඇති.

1948 දී උපන් චාල්ස් කුමරුගේ සම්පූර්ණ නාමය වන්නේ චාල්ස් පිලිප් ආතර් ජෝර්ජ්. ඔහුට උවමනා පරිදි මේ ඕනෑම නමක් රජුගේ නාමය ලෙස ලබාගැනීමට හැකියාව තිබුණත් ඔහු තෝරාගෙන ඇත්තේ සුපුරුදු චාල්ස් යන නාමයයි.
සාමාන්‍ය ව්‍යවහාරයේ බ්‍රිතාන්‍ය රජු ලෙස හැඳින්වූවත් ඔහුගේ රාජ්‍යත්වය ප්‍රකාශයට පත්වන්නේ එක්සත් රාජධානියේ හා තවත් පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයන් 14ක රජු වශයෙනුයි.

එක්සත් රාජධානිය නමින් හැඳින්වෙනේ එංගලන්තය, ස්කොට්ලන්ත හා වේල්සය යන රටවල් තුනයි. ඊට අමතරව උතුරු අයර්ලන්තයත් එකතුව ගත් විට එය මහා බ්‍රිතාන්‍යය ලෙස හැඳින්වෙනවා.එසේම කැනඩාව, ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය යන ස්වාධීන රාජ්‍යයන් තුනත් බහමාස්, පැපුවා නිව්ගිනියා, සොලමන් දූපත්, ශාන්ත ලුසියා ආදී තවත් රාජ්‍ය 11 කුත් බ්‍රිතාන්‍ය කිරීටය යටතේ පවතිනවා. ඒවා සියල්ල ස්වාධීන රටවල් වුවත් ඔවුන්ගේ රාජ්‍ය නායකයා වන්නේ තුන්වැනි චාල්ස් රජුයි. ඊට අමතරව පැරණි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ පාලනය වූ ඉන්දියාව, ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව ආදී රටවල් ගණනාවකින් සමන්විත පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකයා ලෙස ද මෙතැන් පටන් තුන්වැනි චාල්ස් රජු කටයුතු කරනු ඇති.
අභාවප්‍රාප්ත වූ තම මව වෙනුවෙන් ශෝක වෙමින් සිටියදී වුවත් තම පාලනයේ පළමු විධිමත් රාජකාරිය ලෙස ඔහු අද බ්‍රිතාන්‍ය නව රජු ලෙස වැඩ ආරම්භ කළා.

රැජිණගේ අභාවයට පෙර සිටම ඊළඟට ඔටුන්න හිමිවන්නේ කාටදැයි සම්ප්‍රදායානුකූලව ප්‍රකාශයට පත්ව තිබුණ ද රාජ්‍යත්වය හිස් වූ විට එය ප්‍රිවි කවුන්සලය (Privy Council) විසින් සම්මත කළ යුතුයි.

සාමාජිකයන් 718කගෙන් සමන්විත මෙම ප්‍රිවි කවුන්සලයේ බහුතරය වන්නේ පක්ෂ විපක්ෂ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයන්. තවද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්, සිවිල් සේවකයන් හා පූජකවරුන් ද ඊට ඇතුළත්. ප්‍රිවි කවුන්සලයේ ප්‍රධාන රාජකාරිය වන්නේ රජුට උපදෙස් දීමයි. අතීතයේ මෙන් රජුට දේශපාලන බලයක් නොමැති වුවත් සම්ප්‍රදායානුකූලව ප්‍රිවි කවුන්සලය තවමත් රජුගේ පුරෝහිත මණ්ඩලය ලෙස කටයුතු කරනවා.

බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරුන් සියළු දෙනා නිල බලයෙන් මෙකී ප්‍රිවි කවුන්සලයේ සාමාජිකයන් වනවා. චාල්ස් රජුගේ රාජ්‍යත්වය තහවුරුකරන මෙවර ප්‍රිවි කවුන්සල රැස්වීමට දැනට ජීවත්ව සිටින හිටපු බ්‍රිතාන්‍යය අගමැතිවරුන් 6 දෙනෙකු සහභාගී වීම විශේෂිත මෙන්ම ඓතිහාසික සිදුවීමක්. ජෝන් මේජර්, ගෝඩන් බ්‍රවුන්, ටෝනි බ්ලෙයාර්, ඩේවිඩ් කැමරන්, තෙරේසා මේ හා මීට දින කිහිපයකට ඉහතදී ධූරයෙන් ඉවත් වූ බොරිස් ජොන්සන් ඊට ඇතුළත්.

චාල්ස් රජුගේ රාජ්‍යත්වය ප්‍රකාශයට පත්කිරීම අද ලන්ඩනයේ ශාන්ත ජේම්ස් මාලිගාවේ Throne room සිට සජිවීව රූපවාහිනී සේවා ඔස්සේ ලොව පුරා විකාශය වුණා. 1952 දී දෙවැනි එලිසබෙත් රැජිණ සිංහාසනයට පත්වන අවස්ථාවේ රූපවාහිනිය ඔස්සේ එය සජීවව විකාශය වුවත් එකල බ්‍රිතාන්‍යයේ පවා රූපවාහිනී තිබුණේ ඉතා අතලොස්සක්. ඒ අනුව අප ඇතුළු ලෝකයා මෙවැනි ආකර්ෂණීය උත්සවයක් සජීවීව නරඹන පළමු අවස්ථා මෙයයි. ඒ තබා අද ජීවතුන් අතර සිටින බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරුන්වත් එවැනි උත්සවයක් දැක නැහැ. එළිසබෙත් රැජිණ සිංහාසනාරූඩ වන විට බ්‍රිතාන්‍යයේ අගමැති වුණේ වින්සන්ට් චර්චිල්. ඇයගේ අනුප්‍රාප්තිකයා සිංහාසනාරූඩ වෙද්දී එරට අගමැතිනිය වන්නේ චර්චිල්ට වඩා අවුරුදු සියයකින් බාල ලිස් ට්‍රස්.

තුන්වැනි චාල්ස්ගේ රාජ්‍යත්වය ප්‍රකාශ වෙද්දී ඔහුගේ බිරිඳ වු කැමිලා හා ඔටුන්න හිමි වැඩිමල් පුත් විලියම් ද ඔහු සමඟ සිටියා. කැමිලා මින් පසු Queen Consort of United Kindom යන නමින් හැඳින්වෙනු ඇති. චාල්ස් කුමරු රජු බවට පත්වෙද්දී ඔහු දැරූ Prince of Wales තනතුර ඔහුගේ වැඩිමල් පුත් විලියම් හට හිමිවුණා.

චාල්ස් කුමරු රජු බවට පත්වීම සිදුවුණේ රැජිණ මියගිය මොහොතේ වුවත් පැරණි සම්ප්‍රදාය අනුව රජු පත් වූ බවට වූ නිවේදනය ප්‍රකාශයට පත්කිරීම චාරිත්‍රයක්. රජකුගේ අභාවයෙන් පැය 24ක් ඉක්මවීමට මත්තෙන් ප්‍රිවි කවුන්සලය ශාන්ත ජේම්ස් මාලිගයට කැඳවිම සම්ප්‍රදායයක්. 1837 දී වික්ටෝරියා රැජිණ සිංහාසනයට පත්වන තෙක් ශාන්ත ජේම්ස් මාලිගාව බ්‍රිතාන්‍ය රජවරුන්ගේ වාසස්ථානය බවට පත්ව තිබුණා. ඉන්පසුව බකින්හැම් මාලිගය රජුගේ වාසස්ථානය බවට පත්වුණා.
නව රජුගේ පත්වීම ප්‍රකාශයට පත්කිරීමට පෙර මාලිගාවේ අශ්වාරෝහක හමුදාවේ රාජකීය ට්‍රම්පට් වාදකයන් රතු ගඩොල් සහිත බැල්කනියට පැමිණෙනවා. රජුගේ අවි හමුදාවේ ප්‍රධානියා (Senior King of Arms) විසින් ඉන්පසුව මහ ජනතාව ඉදිරියේ නව රාජ්‍යත්වය නිවේදනය කරනවා.

අවි හමුදා ප්‍රධානියා යනු මහා බ්‍රිතාන්‍යයේ හමුදා ප්‍රධානියා නොවෙයි. එය ගරු කටයුතු සම්ප්‍රදායික තනතුරක්. Garter යනුවෙන් ද හැඳින්වෙන මෙම නිලය චාරිත්‍රානුකූල තනතුරක් වුවත් එය එක්සත් රාජධානියට අයත් යම් කලාප තුළ අධිකරණ බලයක් සහිත අධිකාරියක්.

නව රජුගේ පත්වීම පිළිබඳ නිවේදනය ලන්ඩනයේදී පමණක් ප්‍රකාශ කිරීම ප්‍රමාණවත් නැහැ. එය ස්කොට්ලන්තයේ අගනුවර වූ එඩිම්බරෝහිදීත්, වේල්සයේ අගනුවර වූ කාඩිෆ්හිදීත් උතුරු අයර්ලන්තයේ අගනුවර වූ බෙල්ෆාස්හිදීත් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Garter විසින් රජුගේ පත්වීම ප්‍රකාශ කිරීමෙන් අනතුරුව රැස්ව සිටි ජනතාව “God Save the King” යනුවෙන් එක්ව හඬ නැඟුවා.
නව රජුගේ පත්වීම සමරමින් දින කිහිපයක් රට පුරා සැමරුම් පැවත්වීමට නියමිතයි.
තුන්වැනි චාල්ස් රජුගේ රාජාභිෂේකය පැවැත්වෙන්නේ එළිසබෙත් රැජිණගේ රාජකීය අවමංගල්‍යයෙන් පසුවයි. මෙතෙක් එම දිනය ප්‍රකාශයට පත් වී නැහැ.

අධිරාජ්‍යවාදී හුටපට ගැන කථිකාවලින් ඉවත්ව බැලූ විට චාල්ස් රජුගේ රාජාභිෂේකය මේ සියවසේ අපේ පරම්පරාව දකින වඩාත් චමත්කාරජනක උත්සවය වනු ඇති.

ඒ අනුව ලෝක ඉතිහාසය ප්‍රතිනිර්මාණය වන අපුරුම හා දුලබම අවස්ථා ගණනාවක් අපේ පරම්පාරාව ඉදිරියේ ඉදිරි දින කිහිපය තුළ දිගහැරීමට නියමිතයි.

ශානක ලියනගම (fb)

lankaweb.lk
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post අනෙක ඇයි අපි දෙමළුන්ව උලුප්පන්නේ
Next post තරගාවලියේ අපරාජිතව සිට ශ්‍රී ලංකාව ආසියානු දැල්පන්දු ශූරතාව ජයගනියි