ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණ ග්‍රීසියේ සාර්ථකද?

Read Time:21 Minute, 24 Second

ග්‍රීසිය කියන්නේ ගිණිකොන දිග යුරෝපීය රටක්. එහි ජනගහණය මිලියන 10.7 ක්. ඒ වගේම 1981 ජනවාරි පළමු වැනිදා ග්‍රීසිය යුරෝපා සංගමයේ (EU) 10 වැනි සාමාජිකයා ලෙස ඊට සම්බන්ධ වුණා. ඉන් පසුව රටේ ආර්ථිකය සහ මූල්‍ය තත්වය යහපත් තත්ත්වයක පැවති අතර, 1999 වන විට රටේ සමස්ථ ණය ප්‍රමාණය රටේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 60% ට වඩා අඩු අගයක් ගත්තා. එය යුරෝපා සංගමයේ පිළිගත් අනුපාතයයි. එමෙන්ම දළ දේශීය නිෂ්පාදිතයෙන් 3% ට අඩු අයවැය හිඟයක් පවත්වා ගන්නත් ඒ වන විට ග්‍රිසිය සමත්ව සිටියා.

ග්‍රික අර්බුදයේ ආරම්භය

නමුත් වසර 2007-2008 පමණ වන විට තත්වය මුළුමනින්ම වෙනස් වෙන්න පටන් ගත්තා. ඔවුන් බරපතල ආර්ථික අර්බුදයකට ගොදුරු වුණා. ප්‍රධානම ප්‍රශ්නය අවේ අධික රාජ්‍ය ණය හේතුවෙන්. ග්‍රීක ණය අර්බුදය ආරම්භ වූණේ සිදු කරන ලද අධික රාජ්‍ය වියදම් වල බලපෑමෙන් වන අතර ගෝලීය ආර්ථික වර්ධනයේ මන්දගාමිත්වය සහ අරුබුදය හේතුවෙන් වසර ගණනාවක් පුරා ගැටළුව ක්‍රමයෙන් උත්සන්න වුණා. රට කරවන ලද පාලකයින්ගේ නොමනා ක්‍රියාකාරකම් හේතුවෙන් සහ නාස්තිකාර සහ ආර්ථික වශයෙන් ප්‍රථිඵල දායක නොවන අධික වියදම් නිසා ඇති වු මූල්‍ය නාස්තිය හේතුවෙන් අය වැය හිඟය සහ රාජ්‍ය ණය මට්ටම් පුපුරා යාමට පටන් ගත්තා.

ග්‍රීසිය තුළ සිදු වු මෙම අව-ක්‍රියාමාර්ග යුරෝ කලාපයට ගැටළුවක් වුණා. ඒ වන විටත් ග්‍රීසිය යුරෝපා සංගමයේ ස්ථායිතා සහ වර්ධන ගිවිසුම මගින් නියම කර තිබූ සීමාවන් ඉක්මවා ගොස් තිබීමෙන් මෙම තත්වය තවත් තීව්‍රර වුණා. නිදසුනක් වශයෙන්, 2008 දී ග්‍රීසියේ රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතක් ලෙස 109% ක් වූ අතර, එය යුරෝ කලාපයේ උපරිම අවසර ලත් මට්ටම වන 60% ට වඩා බෙහෙවින් වැඩි අගයක් ගත්තා. GDP හි ප්‍රතිශතයක් ලෙස ග්‍රීසියේ අය වැය හිඟය මෙම කාලයේදී 15% ක් වූ අතර එය යුරෝ කලාපයේ සීමාව වන 3% ට වඩා වැඩි අගයක් ගත්තා. එමෙන්ම 2008 දී වෙළඳ හිඟය යුරෝ බිලියන 450 ක් තරම් අති විශාල අගයක් ගත්තා. මේ තත්වය 2007-08 ලෝකය මුහුණ දුන් මූල්‍ය හා ආර්ථික අර්බුදයත් සමග තවත් නරක අතට හැරුණා. ආයෝජකයින් සහ ණය හිමියන් ග්‍රිසිය විසින් නිකුත් කරන ලද ස්වෛරීත්ව බැදුම් කර සහ විවිධ ණය සඳහා බොහෝ ඉහළ ප්‍රථිලාභ ඉල්ලා සිටීමට පටන් ගත්තා. ඒ වගේම අවදානම වර්ධනය වීමත් සමග ණය ආපසු ලබා ගැනීම සඳහා විශාල ප්‍රවණතාවයක් හට ගත්තා. නමුත් ග්‍රීසියට එම ඉල්ලීම් ඉටු කිරීමට හැකියාවක් තිබුණේ නැහැ.

මේ නිසාම දේශපාලන අර්බුදයක් හට ගත්තා. 2009 දී පැපන්ද්‍රියෝගේ පුත් ජෝර්ජ්ගේ නායකත්වයෙන් යුත් නව ග්‍රීක ආන්ඩුවක් බලයට පත් වූ විට රාජ්‍ය මූල්‍ය හිඟය 12.7% ක් බව හෙළිදරව් කිරීමත් සමඟ ණය අර්බුදය ඉහල යමින් පෙර හෙලිකල අගය මෙන් දෙගුණයකටත් වඩා වැඩි වුණා. අර්බුදය කෙතරම් තීව්‍රර විද යත් ග්‍රීසියේ ආර්ථිකය හැකිලෙන විට, එහි රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතය අහස උසට නැඟී අතර 2011 දී 180% දක්වා අති විශාල ලෙස ඉහළ ගියා.

අරුබුදය මතු වෙමින් ඇති මොහොතේ ග්‍රීසිය ඔලිම්පික් ක්‍රීඩා පවත්වයි

ග්‍රීසිය 2004 ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සත්කාරකත්වය ලබා දුන්නා. ඒ සඳහා අදාල ප්‍රාන්තයට යුරෝ බිලියන 9 (ඩොලර් බිලියන 11.6) ඉක්මවන අති විශාල වියදමක් දැරීමට සිදු වුණා. ඔවුන් මේසා වියදමක් දරන්නේ රටේ ආර්ථික තත්වය ක්‍රමයෙන් නරක අතට හැරෙමින් තිබුණ තත්වයක් තුළ වීම විශේෂත්වයක්. ග්‍රීසියේ තිරසාර නොවන ආරුථික හා මූල්‍ය හැසිරීම හේතුවෙන් 2005 දී රට මූල්‍ය අධීක්ෂණය යටතේ තැබීමට යුරෝපීය කොමිසම පියවර ගනු ලැබුවා. නමුත් පාලකයින් මේ කිසිවක් මායිම් නොකර කටයුතු කරමින් සිටියා.

2007-08 ගෝලීය මූල්‍ය අර්බුදයේ ආරම්භය

නිවාස හා දේපල ක්ෂේත්‍රෙය් අති වු ආර්ථික බුබුල පුපුරා යාමෙන් පසු එක්සත් ජනපදයේ උකස් හා ණය වෙලඳපොල කඩා වැටුණා. එක්සත් ජනපද අර්බුදය අවසානයේ ගෝලීය ආර්ථික අර්බුදයක් සහ ණය අර්බුදයක් බවට පත් වුණා. එය 2009 දක්වාම පැවතුණ අතර, මුදල අවප්‍රමාණය වීමත් සමඟ අර්බුදය තව තවත් තීවුර වුණා. මේ නිසාම ග්‍රීසියට එහි වැඩිවන ණය ගෙවීමට නොහැකි වුවාක් මෙන්ම ණය ප්‍රමාණය ද ඉහළ ගියා. මේ අර්බුදය ආණ්ඩු වෙනසත් දක්වා ව්‍යාප්ත වුණා. පැසොක් (සමාජවාදී) නායක ජෝර්ජ් පපන්ද්‍රියෝ ජාතික මැතිවරණය ජයග්‍රහණය කරමින් අගමැති බවට පත් වුණා. සති කිහිපයක් ඇතුළත, ග්‍රීසියේ අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 12 ඉක්මවනු ඇති බවත්, එය මුල් ඇස්තමේන්තු වලට වඩා දෙගුණයක් තරම් වැඩි වනු ඇති බවත් පපන්ද්‍රියෝ හෙළි කරා. පසුව එම අගය සියයට 15.4 දක්වා සංශෝධනය කරා. ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් 2010 මුල් භාගයේදී ග්‍රිසිය ශ්‍රේණිගත කිරීම් වළින් පහළ දමනු ලැබුවා. මේ නිසා නැවත ණය ගැනීමට වෙළඳපළට යැමට එම රටට හැකි වුණේ නැහැ. මේ නිසා ණය ගෙවීම් පැහැර හැරීම හැර වෙන කළ හැකි යමක් ඉතිරිව තිබුණේ නැහැ.

ජාත්‍යන්තර මුළ්‍ය අරමුදල සහ යුරේපා සංගමය මැදිහත් වෙන්නේ ඉන් අනතුරුවයා. 2010 මැයි ග්‍රීසියට පළමු වන ණය මුදල ලබා දුන්නා. මෙමගින් ණය පැහැර පැහැර හැරීම වළක්වා ගැනීම සඳහා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ යුරෝපා සංගමය ග්‍රීසියට වසර තුනක් පුරා යුරෝ බිලියන 110 හෙවත් ඩොලර් බිලියන 146 ණයක් ලබා දීමට එකඟ වුණා. ආනයන වියදම් අවම කිරීම, විනිමය ඉතිරි කිරීම් ඉහළ දැමීම, රාජ්‍ය වියදම් කපා හැරීම්, රාජ්‍ය සුභ සාධණය සඳහා සිදු කරන වියදම් සීමා කිරීම, රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරණය කිරීම සහ බදු වැඩිකිරීම් ඇතුළු පොදු රාජ්‍ය වියදම් කප්පාදු කරන කොන්දේසි රැසක් මූල්‍ය අරමුදල සහ යුරෝපා සංගමය විසින් ග්‍රිසිය වෙත පනවනු ලැබුවා. මෙම රාජ්‍ය සුභ සාධන කප්පාදුවට එරෙහිව රට පුරා මහජන උද්ඝෝෂණ පැන නැගුණා. ඒ සියල්ල පොලීසිය සහ හමුදාව යොදවා නිර්දය ලෙස මර්දනය කිරීමට ග්‍රිසිය පියවර ගත්තා.

මුල්‍ය අරමුදලේ යෝජනා ගැන ජන මත විමසුමක්

මේ අතර මහජන කෝපය ඉහළ යැමත් සමඟ 2011 ඔක්තෝබර් අගමැති Papandreou මූල්‍ය අරමුදලේ යෝජනා පිළිබඳව හදිසි ජනමත විචාරණයක් යෝජනා කරනු ලැබුවා. කෙසේ වෙතත්, EU-IMF ණය ගනුදෙනුවට පිටුබලය දීමට එරට මධ්‍යම-දක්ෂිණාංශික විපක්ෂය එකඟ වීමෙන් පසු පැපන්ද්‍රියෝ ජනමත විචාරණය අවලංගු කළා. කෙසේ වෙතත් පාලක පක්ෂයට ආණ්ඩුකරණයෙන් ඉවත් වන්නට සිදු වන්නේ පැන නැගුණු දැවැන්ත මහජන විරෝධතා හේතුවෙන්. කෙසේ වෙතත් යුරෝපා සංගමයේ මුදල් ඇමතිවරු යුරෝ බිලියන 130 හෙවත් ඩොලර් බිලියන 172 ක් වටිනා ග්‍රීසිය සඳහා දෙවන EU-IMF ණය අනුමත කරනු ලැබුවා. පුද්ගලික ග්‍රීක බැඳුම්කර හිමියන් සඳහා සියයට 53.5ක ණය කපා හැරීමක් මෙම ගනුදෙනුවට ඇතුළත් වුණා. මාර්තු 9 වන දින ණය ප්‍රතිව්‍යුහගත කිරීම, ඉතිහාසයේ එවැනි විශාලතම ප්‍රතිව්‍යුහගත කිරීම ලෙසය සැළකෙන්නේ.

ග්‍රීසිය IMF සමඟ ණය ගිවිසුම් දෙකකට අත්සන් කර තිබෙනවා. 2010 සිට 2012 දක්වා ස්ථාවර ගිවිසුමක් (Stand-By Arrangement- SBA) සහ 2012 සිට 2016 දක්වා විස්තීරණ අරමුදල් පහසුකම (Extended Fund Facility – EFF) යටතේ ගිවිසුමක්, මුළු SDR බිලියන 270. 7ක් හෙවත් ඩොලර් බිලියන 350.9 ණයට ගෙන තිබෙනවා. ග්‍රීසිය මේ වන විට ජාත්‍යන්තර මූල්‍යඅරමුදලේ තුන්වන විශාලතම ණය ගැනුම්කරු (ආජන්ටිනාව සහ යුක්රේනයට පසුව) බවට පත්ව තිබෙනවා.

දෙවන ණය මුදල වන විස්තීරණ (EFF) අරමුදල් පහසුකම යටතේ 2013 ජූලි ග්‍රීක පාර්ලිමේන්තුව පොදු මහජන වියදම් කප්පාදු කිරීමට අදාල යෝජනා අනුමත කරනු ලැබුවා. පාර්ලිමේන්තුව අනුමත කළ මෙම නව නීතිය යටතේ රජයේ සේවකයන් විසිපන්දහසක් පමණ ඉවත් කිරීමට යෝජනා කළා. මෙන්ම රාජ්‍ය සේවක වැටුප් සහ දීමනා කප්පාදු කිරීම්, අති විශාල ලෙස බදු ඉහළ දමමින් බදු ප්‍රතිසංස්කරණ ඇති කිරීම, අයවැය මගින් රාජ්‍ය වියදම් මුළුමනින්ම පාහේ කප්පාදු කිරීට පියවර ගත්තා. පුදුමය වන්නේ මේ සියල්ලට එරට විපක්ෂයද සහයෝගය පළ කිරීමයි. ඊට පක්ෂ තර්කය වුණේ රට අරුබුදයෙන් ගොඩ නැගීමට ඇති එකම විකල්පය එය බව පවසනමින්. මෙම තත්වය හේතුවෙන් පොදු මහජනතාව අතිවිශාල පිඩනයකට ගොදුරු වුණා. දැවැන්ත මහජන විරෝධතා සහ කම්කරු විරෝධතාව ආරම්භ වු අතර මහා වැඩ වර්ජනයක් ද කැඳවනු ලැබුවා. මෙලෙස කෙතරම් බදු ඉහළ දැමුවත්, රාජ්‍ය විදම් කපා දැමුවත් මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටු කළ ත් අරුබුදය විසඳුනේ නැහැ.

නැවතත් 2018 අගෝස්තු මාසයේදී මුල්‍ය අරමදුල සහ යුරෝපා සංගමය ණය ව්‍යාපාතියක් යෝජනා කළත් ග්‍රීසිය එය පිළිගත්තේ නැහැ. සමස්තයක් වශයෙන්, ග්‍රීසිය දැන් EU සහ IMF වෙත දළ වශයෙන් යුරෝ බිලියන 296 ක් (ඩොලර් බිලියන 350) ණය වී තිබෙනවා. එය ප්‍රතිශතයක් ලෙස දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 180. ඒ කියන්නේ ප්‍රශ්ණය පටන් ගත් තැනමයි. මෙම ණය මූල්‍යකරණය කිරීම සඳහා, ග්‍රීසිය 2060 දක්වා අයවැය අතිරික්තයක් පවත්වාගෙන යාමට කැපවී සිටිනවා, අඛණ්ඩ EU මූල්‍ය අධීක්ෂණය පිළිගත යුතු වෙනවා, විටින් විට අතිරේක වියදම් කප්පාදු පියවර ගන්නවා. විරුකියාව 20% ඉක්මවයි. එය යුරෝපා සංගමයේ ඉහළම අගයයි.

මෙම ණය යෝජනා ක්‍රියාත්මක කරන කාලය තුළ ග්‍රීක දළ දේශීය නිෂ්පාදිතය 2009 සිට 2012 දක්වා අපේක්ෂිත ඉලක්කය සියයට 5.5 වෙනුවට සියයට 17% ක් දක්වා වර්ධනය වුණා. පුරෝකථනය කළ සියයට 15 වෙනුවට විරැකියා අනුපාතය සියයට 25ක් දක්වා ඉහළ ගියා.

දැන් මූල්‍ය අරමුදල පවසන්නේ සිය වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ග්‍රීසියේ දේශපාලන අස්ථාවරත්වය බාධාවක් වූ බවයි. රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ සහ ආදායම් පරිපාලනයේ වැදගත් ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නංවන ලෙස කොන්දේසි පැනවූවත් ප්‍රශ්නය විසඳුනේ නැහැ. සේවක හා කම්කරු වැටුප් පහත හෙළිම, තරඟකාරීත්වයට ඇති බාධක ඉවත් කිරීම, පුද්ගලීකරණය සහ සාමූහික කේවල් කිරීම ප්‍රතිසංස්කරණය කරන වැනි යෝජනා සිදු කරන ලදි. මේ කාලය තුළ විශේෂයෙන් ලාභ ලබන ආයතන විශාල ප්‍රමාණයක් ද විකුණා දැමුවා. එමගින් සිදු වුණේ ලැබෙමින් තිබු ආදායම් ද අහිමි වීමයි. එමෙන්ම රාජ්‍ය සහ වාණිජ බැංකු පද්ධතිය ඒකාබද්ධ කරන ලෙස ද කොන්දේසියක් ඇතුලත් කර බැංකු පද්ධතිය ද අණතුරේ හෙළනු ලැබුවා. .
මේ කොන්දේසි ඉටු කළ ද තත්වය වෙනස් වුනේ නැහැ. 2015 දී ණය දරාගත නොහැකි බව ප්‍රකාශ කරන නැවතත් ග්‍රිසිය ප්‍රකාශ කළා. ආර්ථික වර්ධනය, ණය තිරසාරභාවය සහ තරඟකාරී ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වුණා. විරැකියාව වැඩි වූ අතර එය 25% දක්වා ඉහළ ගියා. ආර්ථික අවපාතය ගැඹුරු වුණා. 2013 සහ 2015 දී නාමික දළ දේශීය නිෂ්පාදිතය මූලික ඇස්තමේන්තු වලට වඩා සියයට 12 සහ 20 කින් අඩු වුණා. ග්‍රීක රජය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කොන්දේසි 97න් 61ක් ම සපුරා තිබියදී මෙවැන්නක් සිදු වීම මෙහි ඇති විශේෂත්වයයි.

විවේචනය

IMF හි කප්පාදු පිළිවෙත් ග්‍රීක ව්‍යවස්ථාව සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙස විවේචනයට ලක් වුණා. 2014 ජනවාරි 10 දින, ජාතික මානව හිමිකම් ආයතනවල යුරෝපීය ජාලය (ENNHRI) ලිපියක් ප්‍රකාශයට පත් කළේ පුද්ගලීකරණය විසින් ජනතාවට “ජලය, විදුළිය, මූල්‍ය, සනීපාරක්ෂාව සහ බලශක්තිය වැනි අත්‍යවශ්‍ය පොදු සේවාවන් සඳහා වන ප්‍රවේශය මුළුමනින්ම සංකීර්ණ කර ඇති” බවයි, රජයේ වියදම් කප්පාදුව නිසා දුප්පත් ග්‍රීක පුරවැසියන්ට ජලය, සෞඛ්‍ය, අධ්‍යාපන,ැකියා, අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම වැනි සේවා ලබා ගැනීම අතිශයින් දුෂ්කර වී ඇති බවයි. එම වසරේ, ග්‍රීක රාජ්‍ය කවුන්සිලය, 2012 අධ්‍යාපන සේවකයින්ගේ වැටුප් කප්පාදුව සහ ලාභ ලබමින් තිබූ ඇතන්ස් ජල සම්පාදන හා මලාපවහන සමාගම සැලසුම් සහගතව පුද්ගලීකරනය කිරීම වැනි කප්පාදු පියවරයන් ව්‍යවස්ථා විරෝධී පියවරයන් ලෙස ද ප්‍රකාශ කරනු ලැබුවා.

අභ්‍යන්තර ප්‍රතිපත්ති සඳහා වන යුරෝපීය පාර්ලිමේන්තු අධ්‍යක්ෂ ජනරාල් විසින් 2015 වාර්තාවක් මගින් ප්‍රකාශ කළේ කප්පාදු පියවර විශ්‍රාම වැටුපට, වැඩ කිරීමට, අධ්‍යාපනයට, සෞඛ්‍ය ආරක්ෂණයට, ප්‍රවාහනයට බලපා ඇති අතර එය යුක්තියට ඇති මිනිස් අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවයි. 2017 ඔක්තෝම්බර් මාසයේදී, යුරෝපීය කවුන්සිලයේ පාර්ලිමේන්තු සභාව වාර්තා කළේ, මූල්‍ය අරමුදලේ කප්පාදු පියවර මගින් සෞඛ්‍ය ආරක්ෂණය,අධ්‍යාපනය, බලශක්ති ප්‍රෙව්ශය, ප්‍රමාණවත් ජීවන මට්ටමක් ලබා ගැනීම, වැඩ කිරීමට සහ සමාජ ආරක්ෂාවට ඇති අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවයි. “වඩාත්ම අවදානමට ලක්විය හැකි අයට අසමාන බලපෑමක්” ඇති කර තිබෙන බවත් මේ යෝජනා නිසා ජනතාව පොදුවේ විඳින වේදනාවන් ගැන මූල්‍ය අරමුදල හෝ යුරෝපා සංගමය කිසිදු සැළකිල්ලක් දක්වා නොමැති බවටත් විශාල චෝදනාවක් එල්ල කරනවා. එමෙන්ම අරුබුදය උග්‍ර වීම හේතුවෙන් මහජන කැළඹීම් මර්දනය සදහා ආණ්ඩු අනුගමනය කරන ක්‍රියා කිසි සේත්ම අනුමත කල නොහැකි බවත් එම වාර්තා මගින් පෙන්වා දෙනවා.

අර්බුදය අවසන්ද?

මානව හිමිකම් පිළිබඳ යුරෝපීය කවුන්සිලයේ කොමසාරිස් විසින් 2018 ජූනි මස වාර්තාවකට අනුව, කප්පාදු පියවර, ප්‍රමාණවත් නිවාස, සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපනය,ප්‍රවාහණය සඳහා වන අයිතීන්ට අහිතකර ලෙස බලපා ඇති බව නැවතත් අවධාරණය කර තිබෙනවා. වාර්තාව උපුටා දක්වමින් මානව හිමිකම් සඳහා වූ ග්‍රීක ජාතික කොමිසම (GNCHR) ප්‍රකාශය උපුටා දක්වමින්, “කප්පාදු පියවර මූලික ව්‍යවස්ථාපිත මූලධර්ම වලපල්ලට යවන අතර ව්‍යවස්ථාපිතව සහතික කර ඇති මානව හිමිකම් උල්ලංඝනය කරයි” යනුවෙන් ප්‍රකාශ කර තිබෙනවා. රටේ පැරණිතම මානව හිමිකම් සංවිධානය වන Hellenic League for Human Rights (HLHR) විසින් ග්‍රීක මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් IMF වගකිව යුතු බවට නිෂ්චිත ලෙසම චෝදනා කර තිබෙනවා. ඉන් පැහැදිළි වන්නේ මූල්‍ය අරමුදල හැම විටම උත්සාහ කරන්නේ ආර්ථිකය ලිබරල් කර නව නිදහස්කරණයට ඉඩ ලබා දීමට අවශ්‍ය පියවර ගැනීම පමණක් බවයි. ව්‍යුහගත ප්‍රතිසංස්කරණ මුවාවෙන් සිදු කරන්නේ ලාබ ලබන රාජ්‍ය ආයතන මිලදී ගැනීමට සිය කොටස් හිමියන් අනුමත කරන සමාගම් වලට අවශ්‍ය ඉඩ කඩ විවිර කර දීමයි. ඔවුන්ගේ ඉලක්කය වන්නේ සිය කොටස් හිමියන්ට අවශ්‍ය ප්‍රතිසංස්කරණ අදාල රටවල ඉටු කිරීම මිස එම රටවල ජනතාවගේ ගැටළු විසදීම නොවේ. කොටින්ම ඔවුන් හිතන්නේ රටක ආදායම් වියදම් සමාන්තර කිරීම මිස ජනතා සුභ සෙත නොවේ. රාජ්‍යයක් ජනතාව විසින් ඇති කර ගත්තේ තමන්ට තනිව ලඟා විය නොහැකි සේවා ලබා ගැනිමට බව ඔවුන් අමතක කරයි. ඊට හොඳම නිදසුන වන්නේ සියළුම සුභ සාධන වියදම් කපා දැමීමට සහ වියදම මත සේවා මිල ගණන් නියම කිරීමට යෝජනා කිරීමයි. මේ ආකාරයට මුල්‍ය අරමුදල ලෝකයේ මැදිහත් වු කිසිදු රටක් සාර්ථක වී ඇති බවක් අසන්නට නැහැ. ග්‍රීසියටද සිදු වුණේ එයයි. අවසානයේදී 2022 මාර්තු මාසයේදී ග්‍රීසියේ රාජ්‍ය ණය රටේ නාමික දළ දේශීය නිෂ්පාදිතයෙන් 189.3% ක් වූණා. දත්ත අනුව 2021 මාර්තු මාසයේදී එය 209.3% ක් බවට වාර්තා වුණා. ඔවුන්ගේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 397 ක්. ඔවුන්ගේ ජාතික නිෂ්පාදනයේ වටිනාකම වන්නේ ඩොලර් බිලියන 220 ක්. ග්‍රීසියට මුල්‍ය අරමුදල මැදිහත් වී දැනට දශකයකටත් වැඩි කාලයක් පසුවුවත් රටේ ආර්ථිකය තවමත් යථා තත්ත්වයට පත් වී නැති බව මේ දත්ත පැහැදිළි කරනවා. එය COVID19 නිසා ඇති වූ මෑත කාලීන බාධා කිරීම් හේතුවෙන් තවත් වර්ධනය වී තිබෙනවා. කොටින්ම මූල්‍ය අරමුදල ග්‍රිසියේ එතෙක් පැවැති සියළු රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලික සමාගම් වලට අත්පත් කර ගැනිමට අවශ්‍ය ඉඩ කඩ සකසා දීම සහ ජනතාව මත අධික ලෙස බදු වැඩි කළා මිස වෙන යමක් සිදු කර නැහැ.

අනුහස් බංඩාර

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post ලංකාවේ නෝර්වේ තානාපති කාර්‍යාලය වසා දැමීමේ තීන්දුවක් !
Next post “රනිල්ට පුළුවන් තව මාස හයෙන් ආණ්ඩුව විසුරවන්න”