ගෝඨාගේ නඩු නැවත ගැනීම: ජනාධිපති මුක්තියේ මජර ස්වරූපය ප්‍රශ්ණ කිරීමට

Read Time:6 Minute, 43 Second

ජූලි 09 ජනතා නැගී සිටීමෙන් පසු රටෙන් පළා ගිය ගෝඨාභය රාජපක්ෂ දැන් නැවතත් ලංකාවට පැමිණ සිටිනවා.
මා හිතන්නේ මේ මොහොතේ ලංකාවේ සැළකිය යුතු පිරිසක් සිටින්නේ ගෝඨාභය ගේ ආගමනය ගැන කිසියම් ව්‍යාකූල තත්ත්වයකයි.

ඒ කියන්නේ එය සතුටු විය යුතු දෙයක් ද, එසේත් නැත්නම් කම්පා විය යුතු දෙයක් ද කියලා ඔවුන්ට තවම තේරුම් ගත නොහැකියි.

ගෝඨාභය ගෙදර යැවීමට මහන්සි වූ හුඟක් අය දැන් හිතනවා ඇත්තේ ගෝඨාභය ලංකාවට පැමිණීමත් සමග තමන් ගේ මහන්සිය වතුරේ ගිය බවයි.

ගෝඨාභය නැවත ලංකාවට පැමිණීම තේරුම් ගන්න නම් හැඟීම්බර නොවී මේ ප්‍රශ්නය දෙස බැලිය යුතු වෙනවා.
ජූලි 09 වැනිදා ජනතා නැගී සිටීමෙන් පසු රටෙන් පිට වන්නට ගෝඨාභය ගත් තීරණය ස්වකැමැත්තෙන් ගත් එකක්. ඊට කලින් ලංකාවේ කිසිම කෙනෙකු ගෝඨාභයට රටින් පිට වන්නැයි බල කළේ නැහැ.

ගෝඨාභය රටෙන් පළා ගියාට රාජපක්ෂ පවුලේ වෙනත් කිසිම සාමාජිකයෙකු ලංකාවෙන් පිට වුණේ නැහැ. මහින්ද, බැසිල්, නාමල් ඇතුළු එම පවුලේ සියලු ම සාමාජිකයන් දිගට ම ලංකාවේ රැඳී සිටියා.

ගෝඨාභය රටෙන් පැනගොස් සති දෙකක් යන්නට කලින් පැවති නව ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීමේ දී මහින්ද රාජපක්ෂ ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන රාජපක්ෂ පවුලේ සියලු දෙනා ම ආරක්ෂිතව ඇවිත් ඡන්දය පාවිච්චි කළා. බැසිල් පාර්ලිමේන්තුවේ එළියේ සිට ඒ වෙනුවෙන් කැම්පේන් කළා.

පාර්ලිමේන්තුවේ බලය තියෙන්නේ තවමත් තමන්ට බව රාජපක්ෂලා ඒ ඡන්දයේ දී තහවුරු කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හෙවත් පොහොට්ටු පක්ෂයේ බලය තියෙන්නේත් තමන්ට බව ඔවුන් ඔප්පු කළා. ඒ වගේ ම තමන් ගේ හෙංචයියන් බහුතරයකට රනිල් වික්‍රමසිංහ යටතේ ඇමති තනතුරු දෙන්නත් ඔවුන්ට පුළුවන් වුණා.
ඉතින් එවැනි වටපිටාවක ගෝඨාභය රාජපක්ෂ විතරක් ආරක්ෂාව වෙනුවෙන් යැයි කියමින් රටෙන් පිටත සිටීමේ තේරුමක් මට පේන්නේ නැහැ.

ඒ නිසා ස්වකැමැත්තෙන් ලංකාවෙන් පිටව ගිය ගෝඨාභය ස්වකැමැත්තෙන් නැවත ලංකාවට පැමිණීම ගැන ඒ තරම් කලබල වෙන්නට හේතුවක් මට පෙනෙන්නේ නැහැ.

ඒත් මේ ප්‍රශ්නයේ තවත් වැදගත් පැතිකඩක් තියෙනවා. ගෝඨාභය ජනාධිපති වුණු පසුව ඔහු ජනාධිපති මුක්තිය නිසා ඔහුට එරෙහිව තිබුණු ඇතැම් නඩුවලින් නිදහස් වුණා.
මේ නඩුවලට ඔහු මුහුණ දෙමින් සිටියේ ජනාධිපති අපේක්ෂකයා වෙන්නටත් පෙර සිටයි. ඔහු දිගින් දිගට ම කාලය මරමින්, විවිධාකාරයේ ක්‍රමවේද භාවිතා කරමින් ජනාධිපති ධූරයට පත්වෙන තුරු මේවායින් බේරී සිටියා.
ජනාධිපති ධූරයට පත්වුණු පසුව ජනාධිපති මුක්තිය නිසා එම නඩු ඉදිරියට පවත්වාගෙන යන්නට බැරි තැනක දී ඔහු ඒවායින් නිදහස් වුණා.

ඒ නිසා දැන් සිදු කළ යුතු එක දෙයක් නම් එම නඩු නැවත ආරම්භ කිරීම සඳහා වන පෙළඹවීම ඇති කිරීමයි.
එය ගෝඨාභයගෙන් පළිගැනීම සඳහා හෝ ගෝඨාභය සමග ඇති පුද්ගලික ප්‍රශ්නයක් නිසා කළ යුතු දෙයක් නෙවෙයි.
එය ජනාධිපති මුක්තිය යන අදහස ලංකාවේ ක්‍රියාත්මක වන මජර ස්වරූපය වෙනස් කිරීම සඳහා ගත යුතු ඉතා ම වැදගත්, සාධනීය පියවරක්. එම ප්‍රශ්නය ගෝඨාභයට වඩා විශාල එකක්. මීටත් වඩා දරුණු ආකාරයකට ජනාධිපති මුක්තිය කියන කාරණය අනාගතයේ දී ලංකාවේ අවභාවිතා විය හැකියි.

ඒ සඳහා පූර්වාදර්ශය සැපයීම රටක් වශයෙන් අප කරන බලවත් වැරැද්දක්.

ඒ වගේ ම සිය පාලන කාලය තුළ රටේ ආර්ථිකය බංකොළොත් වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා වගවීම් යාන්ත්‍රණයකට (accountability mechanism) මුහුණ දිය යුතුයි.

ඒක අධිකරණමය ක්‍රියාමාර්ගයකින් හෝ විශේෂ කොමිෂන් සභාවකින් සිදු කෙරෙන දෙයක් වෙන්න පුළුවන්.
විශේෂයෙන් ම රාජ්‍ය ආදායම් අහිමි කරගනිමින් ව්‍යාපාරවලට බදු සහන ලබා දීම, රසායනික පොහොර තහනම් කිරීම, පසුගිය වසරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොයාම වැනි ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ ඇතැම් තීරණ මෙසේ ආර්ථිකය කඩාවැටීමට බලපෑවාද යන කාරණය ගැන විධිමත් විමර්ශනයක් සිදු විය යුතුයි.

එහිදී ගෝඨාභයට තමන් ගේ පැත්තෙනුත් කරුණු දක්වන්න අවස්ථාවක් ලැබෙනවා.

ඒ වගේ ම, එයින් වරදකරුවන් වන අයට නීතිය ක්‍රියාත්මක විය යුතුයි.

වඩාත් වැදගත් ඒ වගවීම් යාන්ත්‍රණය ස්ථාපිත කිරීම මිස ගෝඨාභය රටෙන් පිට තබාගැනීම නෙවෙයි.

වර්තමාන ආණ්ඩුව එවැනි දෙයක් කරන්නේ නැති බව කුඩා දරුවෙකුට වුණත් තේරෙනවා.

රටේ පුරවැසියන් කළ යුත්තේ ගෝඨාභය ලංකාවට එනවාට විරුද්ධ වීම වැනි සිල්ලර සටන් පාඨ කරතබාගෙන යාම නොව මෙබඳු ගැඹුරු වෙනස්කම් ඉල්ලා සිටීමයි.

ගැඹුරු සහ ඵලදායී වෙනස්කම් ජනතාව විසින් ඉල්ලා නොසිටින තාක්කල් පාලකයන් ජනතාවගේ කණෙන් රිංගා යමින් ඔවුන්ට සර්කස් පෙන්වනවා.

ජනතාවත් කාලයෙන් කාලයට එම සර්කස් බලමින් ත්‍රාසයට, භීතියට සහ කුතුහලයට පත්වෙනවා.

රසික ජයකොඩි
03 – 09 – 2022

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post “ගෝඨාභය එනව නම් මම ඉවත්වෙනවා”
Next post තවත් පොහොට්ටු මන්ත්‍රීවරු පිරිසක් කල්ලි මාරුවකට සුදානම්