“ඩයස්පෝරාවේ ගැටලු සහ අපේක්ෂාවන් සොයා බැලීමට ඔවුන්ගේ කාර්යාලයක් පිහිටුවනවා”

ආර්ථික ස්ථාවරත්වයක් ඇති කළ යුතු බවත් ඒ වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරමින් සිටින බවත්එමෙන්ම චීනය, ජපානය සහ ඉන්දියාව සමගත් සාකච්ඡා කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ, සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී පෙරේදා (16 වැනිදා) පැවැති විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලනයේ සම්මාන උළෙල අමතමිනි.

එහිදි තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද කීවේය.

අපිට නැවත 2019 – 2020 කාලයට ආපස්සට ගමන් කරන්න බැහැ. අපි කල්පනා කළ යුතුයි. ආකල්පමය වශයෙන් වෙනස්වීමට අවශ්‍යයයි. එසේ කළහොත් මේ රටට අනාගතයක් තිබෙනවා. එසේ නොවුණහොත් අපි තවත් ලෙබනනයක් බවට පත් වෙනවා.

අද රටේ ආර්ථිකය කෙතරම් නරක තැනකද තියෙන්නේ කියලා මම ඔබට කිව යුතු නැහැ. මුදල් අමාත්‍යවරයා ලෙස පත්වූ විට මම හඳුනාගත් කරුණක් තමයි විදේශ විනිමය තත්ත්වය සැලකූ විට මම ශ්‍රී ලංකා ජනරජයට වඩා පොහොස‍තෙක් බව.

මගේ නිවසේ තිබෙනවා මා විසින් ඉතිරිකරගත් ඩොලර් දහසක්. ඒ අනුව මම ජනරජයට වඩා දහස් ගුණයකින් පොහොසත්. සංජීව් ගාර්ඩිනර් වගේ අය ගත්තොත් මේ ජනරජයට වඩා මිලියන් ගණනකින් පොහොසත්. ඒක තමයි යථාර්ථය.

දැන් අපි අසීරු කාලය පසුකරමින් ඉන්නේ. අපේ අවශ්‍යතාවන්ට ගෙවීම් කිරීම සඳහා ඩොලර් මිලියන දෙක තුන හොයාගන්න මහන්සි වුණ කාලය වාසනාවකට දැන් අපි පහුකරලා තිබෙනවා. නමුත් අපි තවම අර්බුදය ජයගෙන නැහැ. ආනයනය මත යැපෙන ආර්ථිකයක් ලෙස තවදුරටත් අපට ඉදිරියට යා නොහැකියි. අපේ වෙළෙඳ ශේෂය අද තිබෙන්නේ හිතකර තත්ත්වයක නොවෙයි.

ජන වර්ග අතර ගැටලුව අප විසඳාලිය යුතුය. යුද්ධය 2009 වසරේදී අවසන් වූ බැවින් අප නැවතත් යුද්ධ කළ යුතු වන්නේ නැහැ. අපි ඩයස්පෝරාව දෙස බැලිය යුතුයි. ඔවුන් ශක්තිමත් මෙන්ම ආයෝජන මූලාශ්‍රයක්. ඒ අනුව මම තීරණය කළා ඩයස්පෝරාවේ ගැටලු සහ අපේක්ෂාවන් සොයා බැලීම සඳහා මෙරට ඩයස්පෝරා කාර්යාලයක් පිහිටුවන්න.

සබැඳි

Leave a Reply

Your email address will not be published.