“මගේ නිවස තියෙන්නෙ ජනාධිපතිවරයාගේ නිවසට යන පාරේ, ඒ නිසා මගෙන් ප්‍රශ්න කළා” – ජූලියන් බෝලිං

පසුගිය දා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට ගිනි තැබීම හා අලාබහානි සිදුකිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පිහිනුම් ශූර ජූලියන් බෝලිං සහ තවත් ව්‍යාපාරිකයෙක් අද(17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි..

ඔවුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පැය 8කට ආසන්න කාලයක් ප්‍රශ්න කර තිබේ.

අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පිහිනුම් ශූර ජූලියන් බෝලිං කියාසිටියේ තමාගේ වරදක් ඇත්නම් ඊට අදාළව දඬුවම භාර ගැනීමට සූදානම් බවයි.

ජූලියන් බෝලිං පැවසුවේ තමාගේ නිවස පිහිටා ඇත්තේ ද ජනාධිපතිවරයාගේ ගිනි තැබීමට ලක්වූ නිවස පිහිටි මාර්ගයේම වන බැවින් මෙම ප්‍රශ්න කිරීම් සිදුවන බවයි.

මෙම සිද්ධියට අදාළව වරදක් සිදුකර නොමැති බවත් තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම සම්බන්ධයෙන් කලකිරීමක් නොමැති අතර පරීක්ෂණවලට සහයෝගය ලබාදීමට සූදානම් බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.

සබැඳි

Leave a Reply

Your email address will not be published.