ප්‍රේමයට පර්යාය මිනිසුනි,

ඉතින් ඒ
ආදරේ පාට ය;
කිලුටක් නොමැති අතකින්
කහටක් නොරැඳි හදකින්
තව හදවතක තැවරූ
සදාකාලික
ආදරේ පාට ය

ගිනි ගැනුණු මව්බිමක
වේදනාවෙන් පිරුණු කෙඳිරුම
තවත් ඉහිළිය නොහී
දැන-නොදැන
මග අසා සපැමිණි
රැයක්-දහවලක් නැති
ප්‍රේමයට පර්යාය මිනිසුනි,
එකිනෙකා තනි තනිව
හුස්ම හිරවී මියෙන ගොම්මනක
ආදරය ඇවිළවූ
කල්පයක් බඳු, විසල් ඒ මොහොත
අප නික්ම ගිය පසු ද
මැකී වියැකී බොඳව නොයනු ඇත

බොහෝ මායිම් පිරුණු
අතීතය වළදැමෙන,
උස්ව නැගි මහ පවුරු
ඉරිතැලී මහ හඬින් ඇද වැටෙන
යම් දිනෙක,
කොහේ හෝ යම් තැනෙක
අපට අප යළිදු මුණගැසෙනු ඇත

උස්ව නැගි කටහඬින්
ළං ළංව ආදරය බෙදාගත්
විඩාවක් නාඳුනන හිතවතුනි,
කටුක ගන කලුවරක
මිනිස් අහිනක් එක් ව
ප්‍රභාතය ප්‍රවේසම් කළ අයුරු
එතැන් සිට, සියවසක් කල් ගියද
යම් දිනෙක,
කොහේ හෝ යම්තැනෙක
නම නොදන්නා විහඟ කටහඬක
මියුරු මී බඳු සරින් ගැයෙනු ඇත…

සෞම්‍ය සඳරුවන් ලියනගේ

සබැඳි

Leave a Reply

Your email address will not be published.