මේ වගෙ තවත් ගී ඇති ඔබ මනබැන්දූ – මතකෙට නගමු අපි අද ඒ වගෙ සින්දූ

ගායකයින්ගෙ පෙම්වතියන් වුණු ළන්දූ
අමතක නොවන ලෙස ගී තුළ නම රැන්දූ
මේ වගෙ තවත් ගී ඇති ඔබ මනබැන්දූ
මතකෙට නගමු අපි අද ඒ වගෙ සින්දූ

ගත්තේ නැති නිසා තම සිත තුළ හංගා
ගත්තා තව පෙමක් අපෙ සවනට රිංගා
නම කිව් සැනින් සිහිවෙයි ඔබටත් සිං ගා
රෝහණ බෝගොඩගෙ දිවි කතරෙහි ගංඟා

සුරූපි දේහ විලසින් නෙත සුවය සැදූ
ප්‍රේමය කියන එක නම් වික්ටටත් පොදූ
පෙම්බර විශේෂණයක් නම මුලට යෙදූ
ඇයගෙන් මිදුණෙ නැති වික්ටගෙ පෙමයි මධූ

තව හැඩකාරයෙක් ආලෙන් වෙලීය
මිනිහත් හෙමිහෙමින් පෙම් මල් නෙලීය
පිටවී යද්දි ඇය ඔහු සිත සැලීය
ඇය අප දුටුව ලන්ත්‍රගෙ නාමලීය

පෙර එක් පෙමක දුක පවනක් ලෙස හමනෝ
ඒ පෙම් කතාවම කාගෙත් ඇස් තෙමනෝ
වැටෙනා කඳුළු රහසින් අපි පිසදමනෝ
කපුගේ ආදරෙයි තව ඔබ හට සුමනෝ

හිටියෙම ජෝති නම් අඟනුන් මැද සෙවනේ
ලැබුවෙත් මැනිකෙලාගෙන් නිති පෙම් සුව නේ
ඒ පෙම් කතා ගී ලෙස රැඳුණා සවනේ
කෝ ගිය දුලීකා ආදර මල් පවනේ

හෙළුවා මල්සරා බැල්මද අගේය
සෙනෙහස කියාගන්නට නොම හැඟේය
මල්වාරම්ද කියවෙනවා වගේය
පෙම් කළෙ රන්මලී හට බැද්දගේය

ඉන්නව සිව්දෙනෙක් සප්තස්වර ලෝලී
උන් ගැන ලිවිය යුතු නැත දිග පත හෑලී
නෙල්සන් ආත්මා සී.ටී. සහ ෂර්ලී
හතරම පෙම් කළේ නමකට එය මාලී

ඇයි ඔබ නදීකා ගියෙ නොමැතිව සද්ද
අපෙ පොඩි කාලෙ මතකයෙ ඇත්තෙම නැද්ද
හුරතල් බාලවිය හදවත් පිරිමැද්ද
කාලය ගැන කියපු සුනිලුත් කොහි ඇද්ද

ඉස්සර වගෙම ලඳකගෙ හුරු හඬ සොයනා
මේ ලෙස කතාවක් එක ගීයක තියෙනා
ආසයි අහන්නට කියමින් තව ගයනා
කිව්වද සනත් එක වදනක් හෝ නයනා

මේ යුවතියත් පෙම්වතියක් වුණාය
ඒ විත්තියත් කීමට වුවමනාය
ගීයෙන් නිතර නම හඬගෑ කෙනාය
සූරියසේනගේ නේරංජනාය

ආදරයෙන් හද එතුණේ ඉබේය
ගම්මානෙට එළි ඈගෙන් ලැබේය
මෙවැනි පෙම් කතා මතකයෙ තිබේය
ස්වර්ණලතා වෙත ⁣බැඳුණේ අබේය

පෙම්වන්තියක් පෙම්වතෙකුට පෑව නුරා
හීනෙන් පවා එනවලු ඇය ඔහුව කරා
පෙම් කළ අයුරු ගීයෙන් කී හැටිනෙ සිරා
ලාලනියක් වගේ මාලනියකට ක්ලැරා

වුණමුත් විරහ ගීයෙහි ඉහළම ශ්‍රේණී
තම ප්‍රේමයට කරගත්තේ නැත හානී
නෑසූ කතා කිය කිය දමමින් පානී
ම්ල්ටන් පෙරේරා පෙම් කළ කල්යාණී

ඇත පෙම් කතාවක් තව අපෙ හදෙහි ඇනී
ඇසෙනා වාරයක් පාසා රිදෙනු වැනී
කුලමල ජාති නිශ්ඵල බව ඔහුට දැනී
ඉල්ලුවෙ දිවුල විතරක්මයි ශාන්තිනී

පෙම් කර සුභාෂිණියට ගානෙහි හන්දී
ලැබුණේ ඇරයුමයි මඟුලට ලෙස වන්දී
තමුසෙත් පෙම්වතෙක් වගෙ තිරයෙහි හින්දී
ඉන්නේ කොහෙද පුන්සිරි දැන් සෙව්වන්දී

ප්‍රියන්ත කොඩිප්පිලි

සබැඳි

Leave a Reply

Your email address will not be published.