නමුණුකුල පාමුළ ‘ජන ගොවිපලට’ වැඩි මහා සංඝරත්නයේ ශ්‍රම පූජාව

ගෞරවනීය භික්ෂූන් වහන්සේලා ද ජන ගොවිපලට වැඩි අතර තම ශ්‍රමය දහදිය ගොවි බිම වෙත පිදුවහ.
මේ වන විට අප රට තුළ කෑම බීම හිඟවී, මිල ගණන් අධික ලෙස ඉහළ ගොස් , රටපුරා අධිවේගයෙන් සාගතයක් පැතිර තිබේ. දිනකට බඩගින්නේ සිටින මිනිසුන් මේ වන විට රට පුරා මිලියන ගණනින් වැඩිවෙමින් තිබේ.

මන්දපෝෂණය දරුවන් තරුණයන් වැඩිමහල්ලන් වෙලා ගනිමින් තිබේ. දායකයන් පන්සල් වෙත දෙනු ලබන දානමාන අඩුවෙමින් අවලංගු වෙමින් පවතී. ඈත දුෂ්කර ඉමේ තිබෙන සමහර පන්සල්වල බුදුන්ට පුදන බුද්ධ පූජාව ද නොලැබීමෙන් තිබේ. භික්ෂූන් වහන්සේලා ද බඩගින්නේ සිටින වේල් ගණන වැඩි වෙමින් පවතී. උන්වහන්සේලාද මන්දපෝෂණයට ගොදුරු විමේ අවදානමක් පවතී. මේ අපේ ජීවිතකාලය දකින, අපගේ මාතෘ භූමිය හා ජනතාව මූහුන දෙන අභාග්‍ය සම්පන්නම පරිච්චේදයි.

මෙවන් තත්ත්වයක් තුළ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක විසින් සාගතයට ගොදුරු විය හැකි ජනතාව මුදවා ගැනීම උදෙසා ජන ගොවිපල සංකල්පය හඳුන්වා දෙනු ලැබීය. මේ වන විට රට පුරා ජන ගොවිපල සිය ගණනාවක් ක්‍රියාත්මක වේ. බදුල්ල මහ නගර සභා භූමිය තුළ ක්‍රියාත්මක වන සීත නමුණුකුල පාමුළ, මුතියංගන පෙනෙන මානයේ වන හිඳගොඩ ජන ගොවිපල තුළ පෙරේදා (13) අපූරු සිදුවීමක් දුටිමි.

ප්‍රදේශයේ ගෞරවනීය මහා සංඝරත්නය තමන්ට දන්පැන් ලබාදෙන ජනතාව විසින් සාමූහික ව ගොඩනඟා ඇති, මෙම ජන ගොවිපල වෙත පැමිණ පෙරේදා දිනය පුරා තම ශ්‍රමය ද දායකයින්ගේ ගොවිතැන් කටයුතු සඳහා සම්මාදම් කළහ.
මෙය අසිරිමත් ආදර්ශයකි, රටට ඉගැන්වූ බලවත් පාඩමකි. පසුගිය කාලයේ අප දුටුවේ අතළොස්සක් වූ මහා සංඝරත්නයේ පිරිස්, ජාතිවාදය ආගම්වාදය අවුළුවාලීම සඳහා මහමඟට වැඩි ආකාරයයි.

ජන ගොවිපලට වැඩි ගෞරවනීය මහා සංඝරත්නය පෙරේදා පෙන්වා දෙනු ලැබූයේ මහා සංඝරත්නයේ අද දවසේ සැබෑ කාර්ය භාරය මෙය බවය. සැබවින්ම ජාතියට පණ දීම උදෙසා අප කළ යුතු ප්‍රධානම කාර්යය වන්නේ අප රටෙහි ආර්ථිකය පමණක්ම නොව උරුමය පමණක්ම නොව මහා සංස්කෘතිමක් හා බැඳුණු කෘෂිකර්මාන්තය පවත්වාගෙන යාමය. අද මහා සංඝරත්නය පෙන්වා දුන්නේ ඒ ජාතික යුතුකමයි. තමන් වෙත පැවරුණු ජාතික කාර්යයභාරයි.

ඉතිහාසය ද, අද ද, කෘෂි කර්මාන්තය බිඳ වැටුණුවිට, ( වර්තමානයේ මෙන් හිතාමතා බිදවැට්ටවූ විට) රටේ ආහාර සුරක්ෂිතතාවය, සාගතය මන්දපෝෂණය පමණක් නොව ආගම ජාතිය සංස්කෘතිය ඇතුළු බොහෝ දේට එයින් සිදුවන හානියේ තරම් පෙන්වා ඇත. අප මාතෘ භූමියේ කෘෂිකර්මාන්තය ගහට පොත්ත මෙන් රටේ සෑම දේකටම බැඳී ඇති බව අප වටහා ගත යුත්තෙකි.

” සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා ” ( සියලු සත්වයෝ ආහාර ප්‍රධාන කොට පවතී) බදු දහමේ ද පවසති. සැබවින්ම බුදුදහමේ පෙන්වාදෙන ධාර්මිකම වෘත්තීය වන්නේ ගොවිතැනය.

මීට පෙරද භික්ෂූන් වහන්සේලා ගොවිතැන් වල නියැලෙන ආකාරය කලාතුරකින් අප දැක ඇත. ඒ උන්වහන්සේලාට දානමාන හිඟ වූ විට පන්සලට අයිති ගොවිබිම්වලදීය. ගෞරවනීය මහා සංඝරත්නයේ අද සිදූකළ ශ්‍රම පූජාව ඊට හාත්පසින්ම වෙනසක් ඇත්තේය. තමන්ට මෙතෙක් කල් දානමාන දුන් දායකයන් හා දරුවන් කුසගින්නට ගොදුරුව ඇති මොහොතක ඔවුන්ගේ කුස් පිරවීම සඳහා ඔවුන් වෙනුවෙන් මහා සංඝරත්නය ගොවිබිමේ ශ්‍රමය වගුරුමකි.

වක්කඩෙන් අත සෝදාගෙන, ගොවි කමේ පැහැයක – කුරහන් සාටකය කරේ දමාගෙන, මහපොළොවට වැඳ නමස්කාර කර රුවන්වැලි මහා සෑය අබියස දිවුරා ජනයා ඉහලින්ම රවටා දැමූ පාලකයන්, අද ගෞරවනීය පූජ්‍ය පක්ෂයේ ද සාමාන්‍ය ජනතාවද බලවත් පීඩාවට පත්කොට තිබෙන මොහොතක බිඳ වැටුණු මේ මාතෘ භූමිය නැවත ගොඩනැගීම උදෙසා ගොවි බිමේදී සාමූහික ඔවුන් පෙන්න මේ ආදර්ශය සමාජය ගැඹුරින් තේරුම් ගත යුතුය.

ජයග්‍රහණයක් ලැබූ පසු රට ජයගනු ඇතැයි සිතා මෙරට තරුණ පරම්පරාව ස්වෙච්ඡාවෙන් පැමිණ මහමග බිත්ති හා තාප්ප නේක නේක වර්ණයෙන් සිතුවමට නැගුවේය. දැන් මේ රට මුහුණ දී තිබෙන්නේ ජයග්‍රහණයකට නොව මහා අභියෝගයකට ය. ඒ සඳහා රටේ නෙත් පෑදීම උදෙසා , රටට මග පෑදීම උදෙසා අද සිදු කළ කාර්යය අප පැසසිය යුතුය.

ජාතික භික්ෂු පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සභාපති, බදුල්ල දිස්ත්‍රික් හිටපු පිරිවෙන් ගුරු උපදේශක, සොරණාතොට සද්ධර්මලංකාර පිරිවෙන් කෘත්‍යාධිකාරි, හා සොරණාතොට වැලිහිඳ විහාරයේ විහාරාධිපති ගෞරවනීය දෙහිවින්න ගුණානන්ද නායක හිමි ද, ජාතික භික්ෂු පෙරමුණේ බදුල්ල දිසා සභාවේ ගරු භාණ්ඩාගාරික ඌවපරණගම කටුගල්ල රතනජෝති පිරිවෙනේ කෘත්‍යාධිකාරී, වැලිමඩ ගල්ඒදණ්ඩ විජිතාරාම විහාරයේ විහාරාධිපති, ගෞරවනීය වීරකැටියෙ අනුරුද්ධ නායක හිමි ද, බ / බොගොඩතලාව මහා විදුහලේ ආචාර්ය ගෞරවනීය කිරින්ද සිරිනන්ද හිමි ද ප්‍රමුඛ මහා සංඝරත්නය ගොවිබිමට වැඩි අතර, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සංචාරක අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය රුවන් රණසිංහ සහෝදරයා ප්‍රමුඛ ගොවි ගෙවිලියන් උන් වහන්සේලා සමඟ ගොවිබිමේ ගොවිතැන් කටයුතුවල නියැළීම මනරම් දසුනක් විය.

ගොවි බිමේ තිබෙන පැල්පත තුළදී ගොවීන් විසින් සූදානම් කළ දානය ගෞරවනීය මහා සංඝරත්නය වෙත පූජා කළ අතර, අද අප කාගේත් සිත් සතන් පහන් කළේ අනාගතය ගොඩ නැගිය හැකි මාවතක් විවර කර දීමටත්, බිඳවැටුණු – ඇදවැටුණු රටක ගොඩනැගීමට ඇවැසි මෙවැනි ධෛර්යය කැඳවීමක් දැක බලා ගැනීමට හා විඳගැනීමට හැකි වීම හේතුවෙනි.

සමන්ත විද්‍යාරත්න

(හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී)

සබැඳි

Leave a Reply

Your email address will not be published.