කොළපාට ඇස් ඇති ඇෆ්ඝන් දැරිය..

මේ දැරිවි නොදැක්කෙ කවුද.. බොහොම ටික දෙනයි. මේ දැරිවිව දන්නෙ කවුද ඒත් බොහෝම ටික දෙනයි.
මං එයාව දැක්කෙ කෑගල්ලෙදි.

හරියටම කියනව නං වරකපොලට යන පෞද්ගලික බස් නතර කරන තැන පාර අයිනෙ පදික වේදිකාවෙදි. තවත් හරියටම කියනවනම් ඒ දවස් වල තිබුනු නිව් ශ්‍රියාණි කියන රෙදි සාප්පුව ඉස්සරහ පාර අයිනෙ. ඊට ඉස්සරහ පාරෙන් එහා පැත්තෙ ෆාමසියක් තිබුන වගෙත් මතකයි.ඒ 1991 අවුරුද්ද.

මේ රූපෙ මගෙ හිතට තදින්ම වැදුන ඒ මොහොතෙම.

ඇත්තටම මේ කෙල්ල හිටියෙ පදික වේදිකාවෙ විකුනන්න තිබ්බ පෝස්ටරේක. මට ඒක ඇත්තටම ඕනෙ උනත් ඒ දවස් වල ඒකට ගෙවන්න රුපියල් පහලවක් හොයා ගන්න එක ලේසි වැඩක් නෙමේ.

සති දෙකකට විතර පස්සෙ රුපියල් පහලව එකතු කරගෙන පෝස්ටරේ ගන්ඩ ගියත් ඒක එතන තිබුනෙ නෑ. එදා අඬන්න තරං දුක හිතුන.
තව එකක් ගෙනල්ල තියන්නම් ඒ පෝස්ටර් විකුණන කෙනා කිව්වත් ඒ පෝස්ටරේ ආයෙ කවදාවත් එතනදි දැක්කෙ නෑ.

කොහොම උනත් මේ පිංතූරෙ මගේ මතකෙ හැමදාම තිබුණ. කොහෙදි හරි ඒ ගැන ලියවුණු පත්තර කෑල්ලක් තිබුනොත් මං අකුරක් නෑර කියෙව්ව.
මෙයා ගැන මං දැන ගත්තෙ සමුදුර පත්තරේට පිං සිද්ද වෙන්න. ( ඒ කාලෙ මට සමුදුර පත්තරේ අද විකිපීඩියා වගේ)
කොහොමද මේ දැරිවිගෙ පිංතූරෙ කෑගල්ලට ආවෙ.? ඒ නැශනල් ජෝග්‍රොෆික් සඟරාවට පිං සිද්ද වෙන්න.

1985 වසරෙදි නැශනල් ජෝග්‍රොෆික් සඟරාවෙ මුල් පිටුව සැරසුනේ මේ ඇෆ්ඝන් දැරිවිගෙ රූපෙන් තමයි. කොල පාට, ලස්සන ඇස් වලින් බලන කෙනාව අළු කරන්න තරම් බලයක් තිබ්බ ඇසුත් එක්ක මේ පිංතූරෙ ලෝක ප්‍රසිද්ද උණා.
මේ පිංතූරෙ ගත්තෙ ජෝග්‍රොෆික් සඟරාවෙ ඡායා රූප ශිල්පියෙක් වූ ස්ටීව් මැක්කරි 1985 දී පාකිස්ථානයේ ඇෆ්ඝන් ජාතික සරණාගත කඳවුරකදීයි.

මේ පිංතූරෙත් එක්කම ස්ටීව් ලෝක ප්‍රසිද්ද උනා විතරක් නෙමේ ලොකු ධනවතෙක් බවටත් පත් උනා. ඇෆ්ඝන් දැරියගෙ පිංතූරෙ ඩොලර් මිලියන ගණන් වලට අලවි උනා.

ඒ එක්කම ඇමරිකානු මාද්‍ය සෝවියට් කොමියුනිස්ට් පාලනයට විරුද්දව මේ පිංතූරෙ පාවිච්චි කරා. ඒ අය කියන විදිහට ඇෆ්ඝන් දැරිවියත් එයාගෙ පවුලෙ අයත් ඇෆ්ඝනිස්ථානයෙන් පලා ඇවිල්ල තියෙන්නෙ සෝවියට් බෝම්බ යානා මේ ඇෆ්ඝන් ගම් පලාත් සම්පූර්ණෙන්ම විනාශ කරපු නිසයි.

මේ කෙල්ලගෙ අම්මත් මේ බෝම්බ ප්‍රහාරයකට අහුවෙලා මැරුණු බව මං සඟරාවක කියෙව්ව. ඇමරිකාවයි සෝවියට් දේශයයි (අද රුසියාව) බලය පෙන්නන්ඩ මරා ගන්න එකෙන් අමාරුවේ වැටුනෙ ඇෆ්ඝනිස්ථානය විතරක් නෙමේ. මේ දෙගොල්ල නිසා ඇතිවෙච්ච කරදර හා ගැටුම් වලින් ලෝකෙ තවත් පීඩා විඳිනව. ඒක වෙනම මාතෘකාවක් වෙන දවසක කථා කරමු.
කොහොම උනත් හම්බ වෙච්ච සල්ලි පැත්තක තියල ස්ටීව් දිගටම ඡායා රූප ශිල්පියෙක් විදිහට වැඩ කරගෙන ගියා.

එතකොට මේ ඇෆ්ඝන් දැරිවි.. ?

කළබල වෙන්න එපා.. ලෝකෙ ගොඩාක් ව්ටින දේ වගේ අපි එයාවත් සම්පූර්ණයෙන්ම අමතක කරල දැම්ම. අපි එහෙමනෙ.

වාසනාවකට වගේ නැශනල් ජෝග්‍රරෆික් සඟරාවෙ ලේඛකයෙකුට අදහසක් ආව මේ කොල පාට ඇස් තියෙන ඇෆ්ඝන් දැරිවිට උනේ මොකද්ද කියල හොයල බලන්න.
2002 මුල් කාලෙ මේ සඟරාවෙ කන්ඩායමක් ස්ටීව්වත් එකතු කරගෙන පාකිස්ථානෙ පෙශාවා නගරෙට යනව එයා ගැන හොයල බලන්න.

ගෑණු ලමයගෙ පිංතූරෙ පෙන්නමින් කණ්ඩායම දවස් ගානක් ගත කරනව තොරතුරක් හොයාගන්න.
පිංතූරෙ ගත්ත සරණාගත කදවුර තාම තියෙනව..

එතනදි මේ අයට හම්බ වෙනව තරුණයෙක් මේ දැරිවිව දැනගෙන හිටපු.
1985 අවුරුද්දෙ ඉදල මේ තරුණයා මේ කදවුරේ ජීවත් වෙන්නෙ.

වැරදි ඔත්තු සිය ගාණකට පස්සෙ කණ්ඩායමට ලැබෙන හොඳ තොරතුරක් මේක.
මේ තරුණයා දුන්නු තොරතුරු වලට අනුව එයා දැන් ජීවත් වෙන්නෙ එයාගෙ ඉපදුණු ගමේ. පෙශාවා ඉඳල දවස් තුනක ගමනකින් පස්සෙ අපේ කණ්ඩායම ලඟා වෙනව දුශ්කර කඳුකර ගම්මානයක් උණු ටෝරාබෝරා ගමට.
අවුරුදු දාහතකට පස්සෙ ස්ටීව්ට අන්තිමට හම්බවෙනව තමාට වාසනාව ගෙනත් දුන්නු කෙල්ල.

ලස්සන ගිනි ගන්න ඇස් ඇති තරුණියක් වෙනුවට ස්ටීව් දකින්නෙ තමන්ගෙ වයස වගේ දෙගුණයක් පෙනුම තියෙන අව්වෙන් ,කරදර වලින් මැලවිලා ගිය මැදිවියේ ගැහැනියක්.
පස්සෙ කාලෙක ස්ටීව් කියල තිබුණ ඒ දැක්ක මොහොතෙ ඇස්දෙකට කඳුළු ආපු බවත් තමං ගැනම ලැජ්ජ හිතුණු බවත්.
අන්තිමට අපි දැන ගත්ත එයාගෙ නම.
ශර්භාත් ගුලා.
ශර්භාත් පශ්තුන් කුලයට අයිති කෙනෙක්. ඇෆ්ඝන් යුද වීරයො හැමෝම වගේ පශ්තුන් කුලයට අයිති අය.

ඇෆ්ඝන් ජන විශ්වාස වලට අනුව පශ්තුන් කුලයේ අයගේ ගින්න ( යුද්දයට හා සටනට දැවෙන ගින්න) නිවෙන්නේ ගලා යන ජලය ඇතුලෙදි විතරයි.

ස්ටීව් කියනව එයා ඇස් වලින් පෙන්නපු ගින්නෙන් ඇතුලාන්තය පිච්චිලා ගියා වගේ දැනුන කියල. ශර්භාත්ගෙ වයස ඒ වෙද්දි අවුරුදු 28ක් හෝ 29 ක් විය යුතු උනත් ඇයට අවුරුදු 45 ක පමණ පෙනුමක් තිබුනු බවයි ස්ටීව් තවදුරටත් එයාගෙ සටහන් වලින් කියන්නෙ.
1985 දී ස්ටීව් ගත්ත පිංතූරය ඇරුණම ඇය වෙනත් ඡායාරූපයක් මුලු ජීවිතේ පුරාවටම පෙනී ඉඳල නැහැ.
මේ දාහත් අවුරුද්දට ශර්භාත්ගෙ හම රළු වෙලා.. කෙස් ගස් සුදුවෙලා..හකු යටට බැහැල..කොන්ද කුදු වෙලා.. ජීවිත කාලෙම මහන්සිවෙලා කරදර විදපු මැදිවියේ ගෑණියෙක් ඉස්සරහ මගේ ආත්මය කඩා වැටුනා.. ස්ටීව් ලියල තිබුන.

සෝවියට් හා ඇමරිකානු ගැටුමෙන් ආරම්භ උනු ඇෆ්ඝන් යුද්දය .. තලේබාන් ..අල්කයිඩා වගේ සංවිධානත් එක්ක ඈඳිලා ගිහිල්ල මිලියන එක හමාරකට වඩා ජීවිත බිලි ගත්ත. තවත් මිලියන තුන හමාරක් සරණාගතයො බවට පත් උනා.

ලංකාව වගේ රටවල් උනත් බැට කන අන්තවාදී ඉස්ලාම් සංවිධාන බිහි උනේ ඇෆ්ඝන් යුද්දෙන් බව කාටත් අමතකයි.
2002 වාර්ථා උනු තොරතුරු අනුව ශර්භාත්ගෙ පවුල වගේම ඒ ගම්වල හැමදෙනාම 1984 අවුරුද්දෙ පාකිස්ථානයට පලා ගිහිල්ල තියෙන්නෙ සෝවියට් භටයන්ගෙන් බේරෙන්නත් ඒ වගේම බෝම්භ දාන සෝවියට් යානා වලින් බේරෙන්නයි.

කොහොම උනත් පකිස්ථානයේ සරණාගත කඳවුරේ ඉඳල මේ තරුණ කෙල්ල ආපහු තම ගම් පලාතට ඇවිල්ල තියෙන්නෙ 1990/91 කාලෙදියි.

එදා ඉඳල එළුවෝ බලා ගන්න එකේ ඉඳල ගල් කැඩීම දක්වා.. දවසකට හැතැම්ම ගානක් වතුර හොයන්න ඇවිදින එකේ ඉදල පාරවල් පඩි පෙලවල් හදන එක දක්වා හැම වැඩක්ම එයා කරල තියනව. සමහර විට දවසට පැය පහලවක් දක්වා වැඩ කරල තියනව ජීවිතේ ගැට ගහගන්න.

ඒ විතරක් නෙමේ ශර්භාත් දරුවො තුන්දෙනෙක්ගෙ අම්ම කෙනෙක්. හතර වෙනි දරුවා උපතේදීම නැති වෙලා. ශර්භාත් විවාහ වෙද්දි එයාට අවුරුදු දහතුනක් හෝ දාහතරක්. ඉස්ලාම් මූලදර්ම වාදී නීති තදින්ම ක්‍රියාත්මක වෙන ඇෆ්ඝනිස්ථානය වගේ රටක මේක ඒ තරම් පුදුම වෙන්න දෙයක් නෙමේ. කොහොම උනත් දරුවො තුන්දෙනෙකුත් එක්ක පාරක්..රෝහලක්..පාසැලක් කිට්ටුවක නැති ගොඩාක් දුශ්කර ගමක, හිම..වැස්ස.. ලෙඩරෝග .. කුසගින්න එක්ක මේ දැරිවි ජීවත් වෙන්න කරපු උත්සාහය ගැන මං ලියන්න යන්නෙ නෑ.

එයාගෙ ස්වාමි පුරුශයත් රැකියා දෙක තුනක් කරමින් තමංගෙ පවුල නඩත්තු කරන්න උත්සාහ කරල තියනව.
භර්ශාත්ගෙ සහෝදරය කියන විදිහට මං එයා හිනාවෙලා ඉන්නව දැක්කෙ සමහර විට එහාගෙ පලවෙනි දරුව ඉපදුන දවසෙ හරි එහෙම නැත්තං එයා විවාහ උනු දවසෙ වෙන්න ඇති. එහෙම නැත්තං බුර්කාවෙන් මූණ වහගෙන දවස් පුරාම වැඩ කරපු මගේ අක්කව විතරයි මං දන්නෙ.

ස්ටීව් ගෙ ලිපිය මෙතනින් ඉවර වෙනව. ඒත් මේ ඇෆ්ඝන් දැරිවි ගැන තිබුනු මතකය මගෙ හිතේ කවදාවත් වෙනස් උනේ නෑ.

දැනගන්න ලැබුණු තොරතුරු වලට අනුව 2012 දී මේ අවාසණාවන්ත තරුණියගෙ සැමියා හෙපටයිටීස් රෝගයෙන් මියගිහිල්ල. දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න තියන උවමනාව හිංද එයා එයාගෙ දරුවොත් එක්ක පාකිස්ථානයට සංක්‍රමණය වෙලා තියනව. මං සැක කරන විදිහට ජෝග්‍රොෆික් සඟරාව ශර්භාත්ගෙ පවුලට මුදලින් උදව් කරන්න ඇති.

නමුත් දුකට කාරණේ මේක නෙමෙයි දෙවෙනි පාරටත් ස්ටීව්ගෙ කැමරාව ඉස්සරහ බුර්කාව නැතිව පෙනී හිටියට ඇයටත් ඇගේ පවුලටත් ඒ ගමේ ජීවත් වෙන්න බැරිව ගිහිං තියනව.

මං පහුගිය කාලෙ දැක්ක සමහර ඉන්දියානු හා පාකිස්තාන පත්තර “ඇෆ්ඝන් තරුණිය නිරුවත් කල ජඩ මාද්‍යවේදියා” විදිහට ස්ටීව්ව හඳුන්වල තියනව. ඒ ගැන විනිශ්චය කිරීම මගේ රස්සාව නෙමේ.

ඊට පස්සෙ මේ. කොලපාට ඇස් හා ගිනිගත් බැල්ම තියෙන ගහැණිය ගැන අපට අහන්න ලබෙන්නෙ 2016 දී. ඒ පකිස්තානු ෆෙඩරල් පොලීසියෙන් වැරදි හැඳුණුම් පත් හා ලියකියවිලි මගින් පෙනී සිටීමේ වරදට ශර්භාත්ව අත් අඩංගුවට ගත් පුවතත් එක්කලයි.
මේ සඳහා වැරදිකාරිය වූ මේ ගැහැණිය දවස් පහලවක සිරදඬුවමකට පස්සෙ ඇෆ්ඝනිස්ථානයට පිටුවහල් කරනව. මේ තීරණය විවේචනය කරන්නත් එයාට අවශ්‍ය රැකවරණ දෙන්න කියලත් විවිධ සංවිදාන හා මාධ්‍යවේදීන් හඬනගනව. වාසනාවකට ඇෆ්ඝනිස්ථානයේ ජනාධිපති අශ්‍රාෆ් ඝානි මේ ගැහැනියව පිලිගන්නව ජනාදිපති මන්දීරයෙදි.
ඩේලි ටෙලිග්‍රාෆ් පත්තරේ වාර්තා කරන විදිහට ශර්භාත් සහ එයාගෙ දරුවන්ට ජීවත් වෙන්න නිවසක් හා පහසුකම් ඇෆ්ඝන් රජයෙන් ලබාදීල තියෙනව.
පස්සෙ දවසක මාධ්‍යවේදියෙක් අහපු ප්‍රශ්ණයකට ශර්භාත් උත්තර දීල තියෙනව.

“ඔව් මං වැරදි හැඳුණුම් පතක් පාවිච්චි කලා. බුර්කාව අයින් කරල පිරිමියෙක්ගෙ මූණ බලපු ගැහැනියෙක්ට මේ රටේ පාඩුවේ ජීවත් වෙන්න පුළුවන් කියල උඹ හිතනවද?” . “ගණිකාව, ණහැදිච්ච ගෑණි කියල තමංගෙ අම්මට කියද්දි මගෙ දරුවො අහගෙන ඉන්නෙ කොහොමද. මං ඒ දවස් වල හිතුවෙ නෑ මේ පිංතූර දෙක මෙච්චර විනාශයක් කරාවි කියල.
මුල්ම පිංතූරෙ ගද්දි මං හිටියෙ තරහිං .. බයෙන්..මං ඒ කැමරාවක් දැක්කමයි. මට ඕනෙ උනේ පුළුවන් තරං ඉක්මනට මගේ පංති කාමරයට දුවල හැංගෙන්නයි. ඒ දවස් වල පංතියේ උගන්නපු ගුරුවරිය කිව්ව හිංදයි මං ඒ පිංතූරෙට මූණ දුන්නෙ.
දෙවනි පිංතූරෙ ගනිද්දි මට පොඩි සතුටක් දැනුන. මාව කාට හරි මතකයිනෙ කියල මට හිතුන.
මං දැනගත්ත ඒ පිංතූරෙ ලෝකෙ පුරාම ප්‍රසිද්ද උනා කියල, ඒත් මට ඒ ගැන වැඩි වැටහීමක් නෑ.
ඒ පිංතූරෙන් මට උනේ උදව්වකට වඩා අවැඩක්.
සමහර විට ඒ මගේ අවාසනාව වෙන්න ඇති.”

එතනින් පස්සෙ මේ කොල පැහැති ඇස් ඇති දැරිවිය ගැන කිසි තොරතුරක් නැහැ.
මගේ එකම විශ්වාසය ශර්භාත් එයාගෙ දරුවොත් එක්ක පාඩුවේ ජීවත් වෙනව කියන එක විතරයි. ජීවිත කාලෙ පුරාම වින්ද දුක් කරදර වලට හරියන්න අඩුම තරමෙ ඒ සැනසීම ඒ දැරිවිට ලැබෙන්න ඕනෙ කියන එක. මගෙ වගේම මේක කියවන හැම දෙනාගෙම ප්‍රාර්ථනය කියලත් මං දන්නව.

ලෝකෙ පුරාම ප්‍රසිද්ද වූ පිංතූරයක්.. ඩොලර් මිලියන ගානක් උපයපු ඇස් දෙකක්. සුඛෝපභෝගී හෝටල් ..මන්දිර වල බිත්ති සැරසූ ඡායාරූපයක්. කෑගල්ලේ පදික වේදිකාවේ අලවි කරපු පෝස්ටරයක්.. සියවසේ මෝනලීසා ලෙස හඳුන්වපු මුහුණක්.. ඒ ඔක්කොමත් එක්ක ජීවිත කාලෙ පුරාවටම දුක් වින්ද දැරිවියක්.
තවත් මොනව කියන්නද…?

සටහන – Malcolm Sang

(තොරතුරු මූලාශ්‍ර : National Geographic, Wikipedia, daily telegraph, the times
හා මගෙ පවුද්ගලික තොරතුරු ලේඛණය.)
පිංතූර අනුග්‍රහය : National Geographic

සබැඳි

Leave a Reply

Your email address will not be published.