‘කලල් දිය’ සමාජයට අවැසි ලියමනක් සේ හැඟෙයි

කලල් දිය

බක් මහට කෝණ මංගල්‍යය සමරන්නට රතිඤ්ඤා නැතුවා ම බැරි ය. ගැටවුන්ට ඒත් මදිය. ආකාස ගුණ්ඩු , බමර චක්කර , නිල් කූරූ ඇත්නම් පොඩිවුන්ට අවුරුදු ය. මහා උත්වසයකට නම් මල් වෙඩිල්ලක් නැත්තං උත්සවයෙන් වැඩක් නැති යැයි සිතේ.

දීප්ති මංගලා පිවිසෙන්නේ එහි නොදුටු පැතිකඩක් කියන්නට ය. ආකාසේ විවිධ රටා මවන මල් වෙඩිල්ලක නිර්මාණකරුවන් ගැනයි කලල් දියෙහි ලියවෙන්නේ. විස්ස වත්ත හා ඒ අවට ප්‍රදේශය තුළ බාල මහත්තයාගේ ප්‍රධානත්වයෙන් කෙරී ගෙන යන මෙම වෙඩි බෙහෙත් ආශ්‍රිත විවිධ නිමැවුම් පිළිබඳ ව කතුවරිය පුළුල් ලෙස කතිකා කරන්නේ මහපොළොවේ පය ගසන සැබෑ මිනිස්සුන්ගේ ජීවන ගංගාවේ කඨෝරත්වයත් ඒ හා සමගාමී ව දිගහරිමිනි.

පිටු 600කට අධිකව දිව යන මෙම කතාන්දරය තුළ මෙම වෙඩි බෙහෙත් ආශ්‍රිත ව සිදු කෙරෙන කර්මාන්තය තුළින් ලැබෙන ආදීන ව පිළිබඳ ව ඉතා සියුම් ලෙස පාඨකයා වෙත ගෙන එයි. කලල් යනු මඩයි. ඒ ගොහොරු මඩ තුළ ඉපදෙන ; ඉපදුණු ; වසන ; මිනිසුන් රැකියාව නිසා ම අප්‍රමාණ ව බැට කයි. ඇසිල්ලක් තුළ ගිනිගෙන අළුවී යා හැකි වූත් අත පය නොමැති ව අබ්බගාත වන්නට සිදුවන්නා වූත් ජීවිත පිළිබඳ ව ඇය සියුම් ව විවරණය කරයි.

සෙදාරා තුළින් කලල් දිය මත පිපුණු පියුමක විලාසයක් ගොඩනංවන කතුවරිය සෙදාරා තුළින් උතුම් මිනිස් දහම් ප්‍රකට කරන්නට කෘතිම උත්සාහ ගන්නා අවස්ථාද ඇත. අනුලාවතී ජීවත් වන්නට කළ රැකියව ම ජීවිතයට කරුමයක් කරගත්තද අවසානය වන තුරු රැකියාවෙන් ඈත්වන්නට අකැමැති වෙයි. රන්දික තුළින් නිසි අධ්‍යාපන නොමැති කළ සමාජයට බිහිවන අහිතකර පිළිල පිළිබඳවත් සඳනිකා තුළින් වේගයෙන් දුවගොස් හති වැටී මංමුලා වන ජීවිතයක් පිළිබඳවත් කතුවරිය ඉඟි කරයි. විස්ස වත්ත නම් කලල් දිය තුළින් එගොඩ වන්නට තැනූ සඳනිකා තුළින් වර්තමාන සමාජ තරුණ තරුණියන්ට පවා යම් උපදෙසක් ඇය දීමට උත්සාහ කර ඇත. ඊට අමතර ව වින්දුල , සේතුංග , චන්දුල ආදී චරිත ඉතා අපූරුවට නිර්මාණය කර ඇත.

දිවි ගැට ගසාගන්නට වෙනත් විකල්පයක් නොමැති වූ විට කරුමය පවා රැකියාව ලෙස කරන්නට විස්සවත්ත පසු බාන්නේ නැත. විස්සවත්තේ මිනිසුන් යනු එක් වරකින් සුණු විසුණුව යන රතිඤ්ඤායකි , මල් වෙඩිල්ලකි , බඹර චක්‍රයකි , ආකාස ගුණ්ඩුවකි. අවසානයේ ඉතිරි වන්නේ ඔවුන්ගේ සැකිල්ල පමණි.

කතුවරිය මෙම වෙඩි බෙහෙත් ආශ්‍රිත ගම්මානයක දරු දැරියන්ට ශිල්ප දෙන අතරතුර ලද අත්දැකීම් හා ඒ ආශ්‍රිත දේ පිළිබඳව ඇය තොරතුරු ගවේෂණය කළ බැව් පෙරවදනේ සඳහන් ය. විස්සවත්ත තුළින් විවිධාකාර මිනිසුන් අප හමිවට ඇය ගෙන්වයි.රැකියාව තුළ එම මිනිසුන් මුහුණ දෙන විවිධාකාර සිදුවීම් විශාල ප්‍රමාණයක් ඇය නවකතාව පුරාවට සීරුවට දිග අරියි. රැකියාවෙන් පමණක් නොව විස්සේවත්තේ එවුන්ට සොබාදහම පවා ලැබුණේ කුඩම්මාගේ සැලකිලි ය. ඔවුන්ට ස්වභාවික ආපදාවන්ගෙන්ද ඒ හැටි අඩුවක් පාඩුවක් නොවී ය. අවසාන භාගයේ සෙදාරාගේ ජීවිතය තුළ වන හැරවුම තුළින් වෙනත් පරිසර කලාපයක් ගැනද කියවේ. එහිදීද කතුවරිය බොහෝ තොරතුරු ගවේෂණය කර ඇත. නමුත් ඇය නවකතාව වාර්තාවක් වන්නට ඉඩ නොදී ඇත.

නවකතාව විශිෂ්ට ම නිර්මාණයක් ලෙස නොව වටිනා නිර්මාණයක් ලෙස පමණක් හඳුන්වමි. කතා රසය නොබිඳ ගලා යන මුත් නවකතාව තුළ දොස් නැතුවාම නොවේ. අතිශය දීර්ඝ නවකතාවක් හෙයින් නවකතාවේ සෑම කොටසක් ම එක ලෙස රසවත් නොවේ. නවකතා ගෙතුමේ ප්‍රබලම අවස්ථා ලෙස පිටු සියය ඉක්මවූ පසු ඇති කොටසත් තිස් හත තිස් අට පරිච්ඡේද බව සිතෙයි. උස් පහත් වී ගලා යන රේඛාවක් සේ නවකතාවේ ප්‍රබලත්වය ගලා යයි.

කලල් දිය අඳින ලද දිදුලන රබර් පටියක් බඳු ය. එය දීප්තිමත් භාවය කතාව ඇදීම තුළින් යම් තරමක් වියැකී ඇත. ඇතැම් අවස්ථාවලදී මෙය පාඩම් පොතක් කරන්නට ඇය උත්සාහ දරා ඇත. පාඨකයාට සිතන්නට ඉඩ නොදී ඇය ඍජුවම සිතට යම් යම් දේවල් එබ්බවීම නිසා යම් තරමක නීරසක් දැක ගත හැකි ය. නව්‍යතාවකට වඩා කතුවරිය සමාජ කැඩපතක් දැක්වීම ඇතැම් පාඨකයින් නවකතාවෙන් ඈත් කරන්නට හේතු විය හැකි ය. නමුත් කතාන්දරයේ අඛණ්ඩ බද්ධතාවය ඈ නොබිඳියි. එය අගය කළ යුතු ය. නවකතාව තුළ නම් පිළිබඳ ගැටලු ආදීය දැක ගත හැකි මුත් එහි දීර්ඝත්වය නිසා නොසලකා හැරීමට සිදුවේ.

කලල් දිය සමාජයට අවැසි ලියමනක් සේ හැඟෙයි. නව්‍යත්වයකට වඩා පවත්නා සමාජය තුළ විවිධ වූ මිනිසුන්ගේ ගති ස්වභාවයන් ඇය ප්‍රබලව ඉදිරිපත් කරයි. එයට උපහාසයක් ද ඇතැම් විට ඈඳයි. ස්වර්ණ පුස්තක දෙවැනි ග්‍රන්ථ දොළහ අතරට පැමිණ ඇති මෙය අවසන් පහට යාමත් නොයාමත් අතර දෝලනයක් නිසැකයෙන් ඇතිවනු ඇත. අනවශ්‍ය දීර්ඝත්වය එයට බාධාවක් සේ හැඟේ. කතුවරියගේ අව පෑළවිය මීට ඉදිරියෙන් තිබෙන බව මට හැඟේ. කෙසේනමුත් කතා සාරය හරවත් එකකි.

අකලංක මාතරගේ

සබැඳි

Leave a Reply

Your email address will not be published.