අපි ඒක මිහිදන් කරලා අලුත් ආශාවක් එක්ක ජීවත් වෙන්න පටන් ගමු

නොපැහැදිළි අහස වඩා අර්ථවත් ය…

අපි කොච්චර තරම් ආදරය කරන කෙනෙක් උණත් ඒ කෙනා මරණයට පත් උනොත් එයාගේ මළසිරුර හැමදාම ළඟ තියාගන්න හදන්නේ නැහැ. මළසිරුර අපි මිහිදන් කරනවා. හැබැයි ආදරය ළඟ තියාගන්නවා.

එක කාලයක් තිබ්බ ගෝල්ෆේස් එකෙන් කොටුව පැත්තට එන්න බැහැ. ආපහු තල්ලු වෙනවා. මොකද ඒ තරමට ජන සන්නිපාතයක් ගෝල්ෆේස් එක පැත්තට ගලාගෙන ආවා. අපි හැමෝම ආදරය කළා ඒ විකසිත වීමට.

ලස්සන කොල්ලෝ කෙල්ලන්ගෙන්, ආගමික පූජකතුමන්ලාගෙන්, දේශපාලනික වගේම දේශපාලනය ගැන වැඩි හැඟීමක් නැති අයගෙන් මේක පිරිලා ගියා. එක එක මාදිලියේ සටන්පාඨ සහ පුවරු මේ භූමියේ දකින්න තිබ්බ. ඒකෙ ලස්සන ගැන වුණත් දැන් නම් කවි ලියල වැඩක් නැහැ.

පොප් අප්රයිසින් (popular uprising) කියල කියන්න පුළුවන් පොදුජන නැඟිටීමක් ඒක. ලංකාවේ විතරක් නෙවෙයි දකුණු ආසියාවේ පවා එහෙම වෙච්ච ප්‍රථම එක කියල මම මීට කලින් ලිව්වා.

කවුරු කොහොම මොනවා කිව්වත් ඒ නැගිටීමෙන් ලාංකික දේශපාලනය තිගැස්මකට ලක්වුණා. ඒකෙ බලපෑම නොයෙක් විදියට නොයෙක් දිශානතීන් ඔස්සේ ගමන් කරලා තියනවා. අනාගතය ඇතුළෙත් ඒකෙ බලපෑම ලාංකික සමාජය ඇතුලේ තියේවි.
අපි කොපමණ ආදරය කළත් ඒ ආශා වස්තුව (object-desire) එක්ක දැන් අපි ජීවත් වෙන්න ඕනි නැහැ. අපි ඒක මිහිදන් කරලා අලුත් ආශාවක් එක්ක ජීවත් වෙන්න පටන් ගමු. අලුත් එකක් හදාගන්න ආරම්භයක් වේවි ඒක.

ගෝල්ෆේස් අතීතකාමයක් තියාගන්න ඕනි නැහැ. ඒ මතකය ඔස්සේ නැවත අපේ අතීතය පාවා දුන්න කියලත් හිතන්න ඕනි නැහැ. වමේ දේශපාලනයේ එක මූලික රෝග ලක්ෂණයක් තමයි අපේ උරුමය අතීතය විසින් පාවා දුන්න කියල හිතන එක (betrayed by the past).

වමේ කෙනෙකුට වැදගත් වෙන්නේ අතීතය පිළිබඳ මතකයකට වඩා අනාගතය ගැන වූ මතකයක් එක්ක ඉදිරියට යාම (future oriented memory).

මහපොළොවේ ඇත්තටම යථාර්තයක් කරන්න පුළුවන් යම් අනාගත මනෝරාජ්‍යක් වෙනුවෙන් කැපවෙනවා වෙනුවට අතීත මතකය එක්ක බැඳුණු මෙලන්කොලියාවක් වෙත නැවත නැවත ගමන් කිරීම ශක්තිය අපතේ යැවීමක්. තේරුමක් නැති දෙයක්. ඒ නිසා ගෝල්ෆේස් එකේ පාඩම ඉගෙන ගෙන ඒ මෙලන්කොලියාවෙන් ගැලවෙමු.

විසිවෙනි සියවසේ වමේ පරාජයන් ගණනාවක් ගැන මතකයෙන් ගැළවෙන්න බැරුව දැඟලුවට ගෝල්ෆේස් කියන්නේ යම් ජයග්‍රහණයන් ප්‍රමාණයක් සමරන්න පුළුවන් ප්‍රපංචයක්. එකම දේ එය එහි අවසානය දක්වා ගෙනියන්න බැරිවීම.

ගෝල්ෆේස් කියල විප්ලවීය අවකාශයක් බිහිවුන විදිය ගැන භක්තිමත් වෙමින් (ඒකම අදාලයි රුසියානු චීන සහ තවත් බොහෝ මිනිස් නැගිටීම් වෙනුවෙන්) අපි එතැනින් කායිකව වගේම මානසිකවත් වෙන්වෙමු.

ඉතිං තවත් අනාගතයේ දවසක යම් විප්ලවක් සිදුවෙන එක වෙනුවෙන් සිහින මවන ගමන් තමාවවත් විප්ලවීය කර ගන්න වෙනවා. ඒක තමයි ලොකුම විප්ලවය විය හැක්කේ.

ගෝල්ෆේස් වෙනුවන් අවසන් සටහනක් ලියන්න ඕනි නිසයි එහෙම ලිව්වේ. ඒ වගේම අනාගත නිමේෂයන් ගෝල්ෆේස් විදියටම වෙයි කියල හිතන්න එපා. ඕනෑම වෙලාවක ඕනෑම දෙයක් වෙන්න පුළුවන් අවදානම් සමාජයක අපි ජීවත් වෙන්නේ.

‘රාජ්‍යයට හෝ රාජ්‍ය බලයට එරෙහිව සටන් කරන්න ඔබ තේරීමක් කරයි නම් එසේනම් රාජ්‍යයෙන් ඈත්වනවා වෙනුවට රාජ්‍යයට තව තවත් ලංවන්න උත්සාහ කරන්න. ලෙනින් කළේ ඒක’ (ස්ලාවෝ ජිජැක්).
ආයුබෝවන් ගෝල්ෆේස්.

මහේෂ් හපුගොඩ

[email protected] Occupy Wall Street

සබැඳි

Leave a Reply

Your email address will not be published.