ගාලුමුවදොර අරගල භූමියෙන් ඉවත් වෙයි, පෙත්සම් ඉල්ලා අස්කර ගනී

ආන්දෝලනයට ලක්ව ඇති ගාලුමුවදොර ගෝඨාගෝ ගම අරගල භූමියෙන් ඉවත්වන ලෙස පොලීසිය කර ඇති නියෝගයක් බලරහිත කරන ලෙස ඉල්ලා අරගලකරුවන් සිව්දෙනෙකු ඉදිරිපත් කර තිබූ රීට් පෙත්සම් හතරක් අද (10) ඔවුන් ඉල්ලා අස්කර ගත්තේය.

පෙත්සම් අභියාචනාධිකරණය විනිසුරුවන් වන සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබුවේය.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි එම්. ඒ. සුමන්දිරන්, සාලිය පීරිස් යන ජනාධිපති නීතිඥවරු ඇතුළු නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයින් ගාලුමුවදොර ප්‍රදේශයෙන් ඉවත්වීමට තීරණයකර ඇති බවයි.

මේ නිසා තවදුරටත් මෙම පෙත්සම පවත්වාගෙන යාමට ඔවුන්ට අවශ්‍යතාවයක් නොමැති බවත් ඔවුන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම්වලට අගතියක් නොවන පරිදි ඒවා ඉල්ලා අස්කරගැනීමට අවසරදෙන ලෙසත් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පෙත්සම නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සහ පොලිස්පතිවරයා සහ කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන යන ය පැවසුවේ එම ඉල්ලීම විරුද්ධ නොවන බවයි.

මේ අනුව පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසරදුන් අභියාචනාධිකරණය ඒවා මුල් අවස්ථාවේදීම ප්‍රතික්ෂේප කිරීමට ද නියෝග කළේය.

පූජ්‍ය මිරහවත්තේ කාශ්‍යප හිමි, ඉරෝෂ් අල්පොන්සු, අසංක අබේරත්න සහ ළහිරු ඇන්ටන් මධුෂාන් ප්‍රනාන්දු යන අරගලයේ නියුතු අය විසින් එම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

සමාජවාදී තරුණ සංගමය මෙම අරගලබිමෙන් සමුගැනීම සටහන් කර තිබුනේ මෙසේය

2022 අගෝස්තු 10
වේලාව දහවල් 01:05 යි !
ගෝල්ෆේස් අරගල භූමියට සමාජවාදී තරුණ සංගමයේ සහෝදරත්වය පැමිණි වෙලාවක
කැමරා කාචයක සටහන් වූ පින්තූරයක්

ඉදින් දැන් වත්
තුලාව බිම තබා
කඬුව අත හැර
දෑස් බැදි කලු රෙදි කඩ
ඉවත් කර බලනු !

සියල්ලෝ නික්ම ගොසිනි !

උන්,
සිටිනා තාක් නුඹ දෑස් හැර බැලුවේ නැත !
හැර දමා යද්දී වත් කඩුව බිම අත හැරියේ නැත !

තුලාව පසකට බරව තිබුනත් සමබරව ඇති වග පෙන්නන්ට තව දුරටත් අවශ්‍යය නැත !

ඉතින් සොයුරිය මින් ඉදිරියට නුඹ තනිව, ඔතන සිටීමෙන් පලක් ඇත්තේම නැත ? 

සබැඳි

Leave a Reply

Your email address will not be published.