ඉතිහාසඥයෙකුගේ පරිනතබව ඉක්මවා ගිය ‘කැන්ඩි මහල්’

ඉතිහාසය යනු ප්‍රබන්ධකරණය සදහා සරු බිමක් බව නිසැකය. ඉතිහාසඥයාගේ කරුණුමය සීමාව ඉක්මවා යාමේ නිදහස ප්‍රබන්ධකරුවා සතුව පවතී. විකල්ප ඉතිහාසයක් පරිකල්පනීයව ගොඩ නැංවීමට ප්‍රබන්ධකරුවාට ඉඩහසර සලසා දෙන්නේ මෙකී නිදහස මගිනි. මෙලෙස නිර්මාණය කෙරෙන ඓතිහාසික ප්‍රබන්ධයේ සාර්ථකත්වය රඳා පවත්නේ කරුණුමය ඉතිහාසය සහ පරිකල්පනය මැනවින් සංකලනය කිරීම මෙන් ම ඒවා අතර සමතුලනය පවත්වා ගෙන යාම මතය. සිංහල නවකතාව තුළද ඉතිහාසය අධිනිශ්චය වීමේ ප්‍රවණතාව අඛණ්ඩව සිදුවෙමින් පවතින බව පැහැදිලිය. මෙහිදී නුවර යුගය සිංහල නවකතාකරුවාගේ ප්‍රධාන වැඩබිම බවට පත්ව තිබේ.

සුනේත්‍රා රාජකරුණානායකගේ කැන්ඩි මහල් නවකතාව මෙම කතිකාව ඉදිරියට ගෙන යා හැකි නිමිත්තක් සපයයි. මෙය නැංසිනාවත, පාරාදීසයේ සොල්දර ගෙදර, එලෝදියාව සහ යාපනයේ ජීවිතය නම් පරිච්ඡේද හතරක් යටතේ පිටු 494ක් පුරා දිවෙන නවකතාවකි. මෙරට සමාජය වාර්ගික, ආගමික, කුල, සංස්කෘතික යනාදී වශයෙන් සංකලනය වී ඇති ආකාරයත් එම සංකලනයේ විචිත්‍රත්වයත් මෙම නවකතාවේ මූලික තේමාත්මකය වේ. එමෙන්ම ආර්ථික, සමාජීය, දේශපාලනික සහ සංස්කෘතික උවමනා මත එම මිශ්‍ර වීම සිදු වී ඇති අයුරු කතුවරිය මෙම නවකතාව මගින් කතිකාවට බඳුන් කරයි. මෙහිදී ඇය ඉතිහාස ගවේෂණයට දක්වා ඇති කැපවීම සහ මහන්සිය සැබැවින්ම විශ්මයජනකය. එය ඉතිහාසඥයෙකුගේ පරිනතබව පවා ඉක්මවා යන්නකි. මෙම නවකතාවේ ආඛ්‍යාන රටාවේදී ඇය අනුගමනය කරන්නේ පරිච්ඡේද හතර තුළ වෙනස් කථකයන් හතර දෙනෙකු පෙරබිමට ගෙන එන ක්‍රමවේදයකි.

කෙසේවෙතත්, නවකතාවේ මුල් පරිච්ඡේද දෙක තුළ අපූරුවට නඩත්තු කරන කරුණු සහ ප්‍රබන්ධය අතර සමතුලනය අවසන් පරිච්ඡේද දෙක තුළ ක්‍රමයෙන් ගිලිහී යන බව පෙනේ. අවසන් පරිච්ඡේදයේදී එය වඩාත් හොඳින් විද්‍යාමාන වේ. පරිච්ඡේදවල නාමකරණයෙන් පවා ඒ බව පැහැදිලි වේ. අවසන් පරිච්ඡේදයේ නාමය පවා(යාපනයේ ජීවිතය) අනෙක් පරිච්ඡේද තුනෙහි නාමයන්ට සාපේක්ෂව ප්‍රබන්ධමය හැඟවුමකින් තොරය. එහෙයින් මෙය ප්‍රබන්ධමය අලංකාරයේ සිට ඉතිහාස ගවේෂණයේ විශිෂ්ටත්වය දක්වා වූ ආඛ්‍යාන ගමන් මගක් සහිත නවකතාවක් ලෙස සැලකිය හැකිය. මේ නිසා නවකතාවේ අගභාගයට යනවිට පාඨකයාට ප්‍රබන්ධයට වඩා ඉතිහාසය අභිමුඛ වේ. එහෙත් පාඨකයා ඉතිහාස ගවේෂණයේ වසඟය තුළ රඳවා ගැනීමට කතුවරියගේ ලේඛන පරිචයට හැකියාව ලැබේ.

මෙම නවකතාවේ තේමාත්මකය සැබැවින්ම වත්මන් ලාංකීය සමාජයේ නොමඳ අවධානයට යොමු විය යුත්තකි. 21 සියවසේ දෙවන දශකයේ ජීවත් වුවත් තවමත් මාගල් වැනි වාසගම් භාවිත කරමින් තම පරම්පරාවේ ගර්වය අනෙකාට පෙන්වීමට වෙර දරන මිනිසුන්ගෙන් අඩුවක් නැති දූපත් සමාජයකට කැන්ඩි මහල් යනු එම ගර්වයේ නිරුවත දැක ගැනීමට අවකාශ සලසන ගවේෂණාත්මක වෑයමකි.-

උදිත අලහකෝන්

සබැඳි

Leave a Reply

Your email address will not be published.