හිතේ ඇඳුනු අරගලය… හිතේ මැවුනු කූඩාරම ගලවන්න කාටද පුළුවන්

ඒ හරි ලස්සන මාස කීපයක්. ලෝක ප්‍රසිද්ධ විකිපීඩියා වෙබ් අඩවිය කියන විදිහට “ශ්‍රී ලංකා පුරවැසියන්ගේ නොනවතින අරගලයට මාස හතරක් සති තුනක් හා දවස් දෙකක් ගෙවිල ඉවරයි.”

මේ මාස පහකට ආසන්න කාලය ඇතුලතදි ලංකාවෙ කෛරාඨික දේශපාලනය දෙදරුවා… ගතානුගතික සමාජය උඩුයටිකුරු කරා විතරක් නෙවේ සාම්ප්‍රදායික නූගත් මනස යම් තාක් දුරකට අවධිකරන්නත් ලංකාවෙ තරුණ කණ්ඩායම් වලට හැකියාව ලැබුනා.

වැදගත්ම දෙය යටත් වැසියා හා පුරවැසියා කවුද කියල අරගල කරුවන් විසින් මුළු ලාංකීය සමාජයටම පැහැදිලි කරල පෙන්නල දීමයි.

උතුරු නැගෙනහිර යුද්ධය.. ලෝක ක්‍රිකට් ශූරතාවය… සුසන්තිකාගෙ රිදී පදක්කමට වඩා ලංකාව ගැන පහුගිය මාස කීපය තුල මුළු ලෝකයම කතා කලා. ඒකට හේතුවුනේ මෙතෙක් කල් නිදා සිටි ලංකාවේ සාමාන්‍ය වැසියාගේ අවධිවීම.
අරගල හා සටන් යනු උගුර ලේ රහ වෙනකල් කෑ ගැසීම…. දාඩිය ලේ සහ කඳුළු එක්ක සටන් කිරීම… ජීවිත පූජා කිරීම.. කියල වරදවා හිතාගෙන හිටපු ලංකාවෙ සමාජයට විතරක් නෙවේ මුළු ලෝකයටම අළුත්ම පාඩමක් උගන්වන්න මේ අරගල කරුවන් කියන කොටස සමත් වුනා.

ඊට අමතරව යම් ප්‍රදේශයක ස්ථාන ගතවෙලා ( Occupying) පීඩන කණ්ඩායමක් ( preasure group) විදිහට පාලන තන්ත්‍රයට බලපෑම් කරන්නෙ කොහොමද කියන පාඩම මේ අය ලංකාවෙ සමාජයට කියල දුන්න.
සංගීතය.. නැටුම්.. නාට්ටි.. චිත්‍ර ප්‍රදර්ශන හා චිත්‍රාගාර.. සිනමා.. සංවාද වගේ බොහෝම අපූරු අංග එක්ක… විනෝදයෙනුත්.. බුද්ධියෙනුත් අරගල කරන හැටි ඒ අය ලෝකයට කියල දුන්න.

ලෝක ඉතිහාසයේ කවදාවත් සිදු නොවුනු විදිහට ලෝකයේ ප්‍රසිද්ධ නගර වල ගෝඨාගෝගම ඉදිවුනා.
මෙල්බර්න්.. ලන්ඩන්.. පැරිස්.. බර්ලින්.. ජිනීවා.. ස්ටොක් හෝල්ම්.. සුරිච් වගේ නගර වල මේ ගම් ඉදිවුනා. ඒ හරහා ලාංකිකයන්ගෙ ඩයස්පෝරාවේ එකතුවක් පලමු වරට නිර්මාණය වෙනව.
ලෝකය පුරා විහිදිලා ඉන්න .. ලංකාවට වගේම සාධාරණයට ආදරය කරන කොටසක් හඳුන ගන්න ලැබෙනව මේ අරගලය හරහා.

ලංකාවෙ එක ආන්ඩුවකට… මහා කෝටිපතියෙකුට.. දාමරික දේශපාලකයෙකුට පුලුවන්ද මේ නගරෙක එක ගමක් හදන්න ඒ අයගෙ නමින්..?
ඔබ යටත් වැසියෙක් නම් ..ඩයස්පෝරාව කීවම කලබල වුනා නම්… හිතට මදි වගේ දැනෙනව නම් කරුනාකරල ඩික්ශනරිය අතට අරගෙන තේරුම බලන්න වෙනව.

විශේෂයෙන්ම ගොබ්බ යටත් වැසියන්ට තක්කඩි දේශපාලකයන් මවල දීල තියෙන විකාර තේරුම් පැහැදිලි කිරීම ලේසි නෑ.
ආණ්ඩුවක් ගෙදර යවපු… කටමැත දොඩවපු ජනාධිපති කෙනෙක්.. දේවත්වය ආරූඪ කරගෙන හිටපු අගමැති වරයෙක් පන්නල දාපු අරගලය ලබාගත් ජයග්‍රහන බොහොමයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය… ලෝක මානව හිමිකම් කොමිසම.. යුරෝපා සංගමය.. ඇම්නස්ටි ඉන්ටනැශනල් ආයතනය වගේ ලෝකය පිලිගත් බලවත් ආයතන හා සංවිධාන එකට හිටගන්නෙ අරගල කරන සාමකාමී බුද්ධිමත් පුරවැසියන් සමග මිස කපටි දේශපාලකයන් හෝ අටවාගත් ප්‍රභූ පිරිස එක්ක නොවන බව පැහැදිලිවම දකින්න පුළුවන්.

සිංහල, දෙමළ, මුස්ලිම්.. ක්‍රිස්තියානි.. බර්ගර් වගේ හැම ජන කොටසක්ම.. ආගමක්ම එකට එකතු කරපු බොහොම ලස්සන සිද්ධි මාලාවක් තමයි අරගලය කියන්නෙ.
මේක දරාගන්න බැරි කාටද.? දරාගන්න බැරි නූගත් යටත් වැසියන්ට.

ඉන්දියානු කුල ක්‍රමයට දීර්ඝ කාලයක් අනුගත වෙලා රජ පාලනය යටතේ ලංකාව තුල බිහිවුනේ වහල් සමාජයක්.
පෘතුගීසි..ලන්දේසි හා ඉංග්‍රීසි පාලනයන් තුල මේ වහල් සමාජය ලංකා සංස්කෘතියේ මුල් ඇදගන්නව.
1948 න් පස්සෙ සුද්දා වෙනුවට බොරු ප්‍රභූ පන්තියක් බිහිවෙනව දේශපාලකයන් නමින්.
රජාට වඳින්න පුරුදු වෙලා හිටපු යටත් වැසියා සුද්දන්ට වඳින්න පුරුදු වෙනව. සුද්දන්නටත්.. දේශීය නිළමේටත් වඳින්න පුරුදු වෙච්ච යටත් වැසියා දේශපාලකයාට වඳින්න ගන්නව.
මේ සමාජයේ වැඩිදෙනා තවම දේශපාලකයෙක් දකිද්දි අමුඩ ලේන්සුව අතට අරන් පාරෙ අයිනට වෙලා කානුවට බහිනව.
ප්‍රාදේශීය සභා මන්ත්‍රී දැක්කත් දෙකට නැමිල ඇඹරිලා සර් කියන මේ සමාජයේ ඇස් ඇරෙව්වෙ අරගල කරුවන් විසින්.
නමුත් තවත් විශාල කොටසක් ඉන්නව තමන්ගෙ අමුඩ ලේන්සුව තියෙන්නෙ කොතැනද කියලවත් තේරුම් නොගත්.

සමාජ මාධ්‍යයටත් වඩා රජයේ මාධ්‍ය මගින් අරගල කරුවන් හා අරගලය ගැන පුදුමාකාර මෝඩ කතා කියන කාලයකයි අපි මේ ඉන්නෙ.
නමුත් මේ කතංදර වලට තියෙන්නෙ කෙටි ආයුශ කාලයක්.
ඒකට හේතුව ඩිජිටල් උපකරන හරහා සමාජ මාධ්‍ය තුල තවත් තොරතුරු රාශියක් සැරිසැරීමත්.. විදේශ මාධ්‍ය හරහා ලෝකයට සත්‍ය කරුණු බෙදා හැරීමත් කියන කාරනා දෙකයි.
රාජපක්ශ රෙජිමයේ මහා සල්ලි කන්දරාව වියදම් කරත් විකිපීඩියා වෙනස් කරන්න ඒ අයට බෑ. බීබීසී හෝ අල් ජසීරා සල්ලිවලට ගන්න ඒ අයට බෑ.

අඩුම තරමෙ සමාජ මාධ්‍යට ලියන අපි වගේ අයගෙවත් අදහස්.. තොරතුරු වෙනස් කරන්න ඒ දේශපාලකයන්ට හැකියාවක් නෑ.

‘එදා මහාවංශය ලියල අපිව රැවැට්ටුවා… සිළුමිණ.. දිනමින වගේ කහල ගොඩවල් වලින් මිනිස්සුන්ව ගොනාට ඇන්දුවා. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව.. ජාතික රූපවාහිනිය.. ස්වාධීන රූපවාහිනිය හරහා කුණු ගොඩවල් පෙන්නල මිනිස්සුන්ව රැ
වැට්ටුවා.

ඒ නිසාම රජකාලෙ ගැනත්… යටත් විජිත සමය ගැන වගේම නිදහස ලැබීම ගැනත් අපිට අහන්න්න වුනේ පාලකයන්ට අවශ්‍ය වූ ජරා ජීර්ණ බොරු විතරයි.

හැත්තෑ එකේ කැරැල්ල.. 88/89 කාලය.. උතුරු නැගෙනහිර යුද්ධ කාලෙ වුනත් මේ අය වැපිරෙව්වෙ බොරුව.
නමුත් අද ඒ විදිහට බොරුව වපුරන්න ඒ අයට බැහැ.
අරගල කරන මිනිස්සු මගට බැස්සෙ ඒ අයට කන්න නැති නිසා නෙවේ… තමන් ජීවත් වෙන සමාජයේ වැඩි දෙනා දේශපාලකයන් නිසා දුක් විඳින නිසයි ඒ අය පාරට බැස්සෙ.
මේ මාස කීපය හරි සුන්දරයි… අවුරුදු තිහක් ලංකාවෙ ජීවත් වෙලා හඳුන ගන්න බැරිව හිටපු සිය දාස් ගානක් පහුගිය මාස කීපයේ හඳුන ගත්ත.

අවුරුදු දහයක් දොලහක් එකට ඉගෙන ගෙන මිත්‍රයන් කියල හිතන් හිටි සමහරෙක්, ගොබ්බයෙක්.. යටත් වැසියෙක්… දේශපාලන හෙන්චයියෙක් කියල හඳුන ගද්දි… කිසිම දවසක හැබෑ ජීවිතයේ මුන ගැහිල නැති අමුත්තෙක් සැබෑ මිනිසෙක්..වටින යාළුවෙක් විදිහට හඳුනා ගන්න ලැබීමම ලොකු ජ‍යග්‍රහනයක්.

එකට ඉගෙන ගත්.. එකට රැකියාව කරපු මිත්‍රයන් යැයි සලකපු යටත් වැසියන්ට වඩා රට වෙනුවෙන් සටන් කරපු මේ තරුණ පරපුර.. අරගල කරපු මිනිසුන් යහළුවන් විදිහට සලකන්න ලැබීම පුදුමාකාර සතුටක් ගෙනදෙන දෙයක්.
අරගලය ඉවරද… මං හිතන්නෙ නෑ.
ඒ අය මග පෙන්නුවා.. තව දුරටත් මග පෙන්වාවි.

අහස කඩන් වැටෙනව වගේ වහිද්දි… මහා හුලඟින් කූඩාරම් ඉගිලෙද්දිේ අය දරාගෙන හිටිය. අවිගත් හමුදාව.. පොලීසිය පහර දෙද්දි ඒ අය දරාගෙන හිටිය.. බුද්ධි අංශ.. බලවත් දේශපාලන දාමරිකයන් කුමන්ත්‍රණ කරද්දි ඒ අය සැලුනෙ නෑ.
ඒ අය පය තිබ්බෙ නොදන්න ලෝකයකට… නොදන්න දවසකට… නොදන්න පාරකට.
ඒ හරහා ඉගෙන ගත්… ඉගැන්වූ දේ නම් බොහොමයි

ඇඟ රිදුනු දේශපාලකය වගේම හිත රිදුනු වහල් ජනතාව ඒ අයට පහර පිට පහර ගහනව.
නමුත් ගහන්න ගහන්න.. පහර දෙන්න පහර දෙන්න ඒ අය මුවහත් වෙනව.
යටත් වැසියන් විදිහට දේශපාලකයන් වටා ජීවත් වෙන ජන කොටස මේ තරම් කාලයක් තමන් ජීවත් වුනු වහල් මානසිකත්වය අභියෝගයට ලක් කරපු අරගල කරුවන් එක්ක පසුවෙන්නෙ පුදුම වෛරයකින්.
සමාජ මාධ්‍ය හරහාත්.. ජන මාධ්‍ය හරහාත් .. පොලීසිය හා ආරක්ශක අංශ හරහාත් පිටවෙන්නෙ මෙන්න මේ වෛරයයි.
පහුගිය දවසක කෙනෙක් සමාජ මාධ්‍යයේ පල කරල තිබුනා එක පෝස්ටුවක්.
“අරගල කරුවනි.. මීට පසු රෙදි ගලවන්න කලින් අඳින රෙද්ද තීරණය කරපල්ලා .. නැතිනම් උඹලා හැමදාම හෙළුවෙන්..” ඒ පෝස්ටුවේ ලියල තිබුන.

මෙන්න මේකෙන් පැහැදිලි වෙනව කොයිතරම් වහල් මනසක්ද මේ කොටසට තියෙන්නෙ කියල. තමන් වහලෙක් බවවත් ඒ පුද්ගලයා දන්නෙ නෑ.

මිනිස්සු කොටසක් අරගල කරන්නෙ එක රජෙක් අයින් කරල තව රජෙක් ගේන්න නෙවේ. අරගලයක් කියන්නෙ පවතින අසාධාරණ ක්‍රමයට තත්වයට විරුද්ධ සටනක්. නිවැරදි ක්‍රමයක් ලැබෙන තෙක් ඒ අය ප්‍රශ්ණ කරනව.. සටන් කරනව.
නමුත් යටත් වැසියා හිතන්නෙ එක පාලකයෙක් අයින් කරල වැඳ වැටෙන්න තව පාලකයෙක් ගෙන ආ යුතු බව පමණයි.
අඩුම තරමෙ මේ යටත් වැසියන් තමන්ගෙ නොදන්නා කම.. නූගත් කම ගැනවත් දන්නෙ නැති එක කොයිතරම් අවාසනාවක්ද.?

මේ වගේ මිනිස්සු ඉන්න සමාජයක අරගලය ලද ජයග්‍රහන පුදුමාකාර වන්නේ මෙන්න මේ හේතුව නිසයි.
මෙන්න මේ කොටස දේශපාලකයන්ගේ ගිනිපිහ් මීයන්ද.. නැත්තං ලිං කටින් කවදාවත් එලිය නොදැකපු මැඩියන්ද කියල තීරණය කරන්න කියවන ඔබට බාරයි.
අරගල භූමියේ කූඩාරම් ගලවගෙන යන්න යාවි..
ඒත් හිතේ ඇඳුනු අරගලය… හිතේ මැවුනු කූඩාරම ගලවන්න කාටද පුළුවන් .
ගෝල්ෆේස් කියන්නෙ මුළු ජීවිත කාලයටම හිතේ රැඳෙන අරගල බිමක්.
ගෝඨාගෝගම කියන්නෙ ලෝකය පුරාම ඉදිවෙච්ච විශ්ව ගම්මානයක් විතරක් නෙවේ… ඒක සංකල්පයක්.

Malcolm Sang

08082022- Geneva. Switzerland.

සබැඳි

Leave a Reply

Your email address will not be published.