මැරෙන්නම ඕන දුක අහන්න – නැත්නම් එයිද ඔච්චර පිරිවර

දියේ ගිලී මිය ගිය පහලොස් වියැති දියණිය ගැබිනියක්! සිද්ධිය වාර්තා කිරීමට පුවත්පතකින් යයි]

ඔව් මහත්තයෝ ඔය තමයි
එහේට යන පාර
ටිකක් දුර ගියාම
අහුවෙයි පාළු අම්බලම
එතනින් හැරිලා ගියාමයි
අහුවෙන්නෙ වැලි පාර
එතන සුදු කොඩියක් ඇති
ඒ තමයි මළ ගෙදර
වාහනෙන් යන්න බෑ මහත්තයෝ
තියෙන්නේ අඩි පාර

ඔය කෙලී මල් විකිණුවා
ස්_කන්ධ කුමාර ගාව
ඉඳල හිටලා නෙළුම් අල’හෙම
ගෙනවා සති පොලට
කොපි පොතක් පැන්සලක් ගන්නට
හබල ගෙන තම අතට
හැමදාම ඈ ඔරුව පැද්දා
එතෙර වන්නට දිවිය
මහත්තයට කියන්න ඕකි තමයි
රැක්කෙ අප්පානැති ඒ ගෙදර

නංගිලා තුන්දෙනා එක්කලා
හැම පාන්දර ඕකි
ඉස්කොලෙ ගියෙ හිනා වීලයි
මලක් වාගේ කෝපී
ආයෙ ඇවිදින් මල් කඩාලා
හැමහවසකම පේවී
කතරගම මහ තොරණ අබියස
මල් විකුණුවා වේලී
කාර් වුනත් හෙට්ටු කරලමයි මල් ගත්තෙ
මහත්තයෝ පොඩි හන්දා ඕකි!

පූජ වට්ටියෙ බුලත් කොල උඩ
මොනරු එකදෙක තියාන
වැන්දා මිනිස්සු ගණන් බේරුවෙ
සතේටයි මල් අරගෙන
ලෙඩ වෙච්ච දවසකදි කැඳවත්
දෙන්න මිනිස්සු නැතුවට
ගල් ගසන්න ඇති තරම් ඇති
ඕකි බඩුවක් කියාන
මහත්තයෝ,
ඕකිගෙ මහ එකාට අලිය ගැහුවා කෙම්මුර
අම්මත් අබ්බගාතයි තාමත් ඒකිගෙම කරුමෙට

නඩයක පයට පොඩි වුනා
පිපෙන්න ලංවුන පොහොට්ටු
කතරගමම තදින් පියාගත්තා
කාත් කවුරුත් නැති නිසා ඇස් පිහාටු
කතා කරේ නෑ මහත්තයෝ
කවුරුත් අවනඩුව
කතරගම දෙයියන්ටත් හොඳටම වැඩියි
කරුමෙ තමයි ඒ දවස!

මහත්තයා පත්තරෙන් වෙන්නැති
මෙහේ නෑ කිරිපාට වාහන
ලියාගන්නට දුක තියෙවිද
දන්නෙ නෑ තදියමේ ගියාට
අම්මපා මහත්තයෝ පත්තරම ගියා,
මහත්තයා එක්ක ඔය යන්නෙ හතරවෙනි එක

කරුමෙ තමයි!
මැරෙන්නම ඕන දුක අහන්න
නැත්නම් එයිද ඔච්චර පිරිවර

තරිඳු අවිශ්ක ලියනගේ

සබැඳි

Leave a Reply

Your email address will not be published.