සර්ව පාක්ෂික ආණ්ඩුවක් ද? සර්ව පාක්ෂික පාලනයක් ද? ලිහා ගනිමු මේ අපබ්‍රංසය……

ලංකාවේ දේශපාලකයින්ට අළුත් සංකල්පයක් විකුණා ගැනීමට අවශ්‍ය වූ විට මුලින්ම ඔවුන් කරන්නේ බෞද්ධ සංඝයා (විශේෂයෙන්ම මල්වතු ,අස්ගිරි) ලවා ප්‍රකාශයක් කරවා ගන්නවා. ඊලඟට නීතිඥ සංගමය වැනි වෘත්තීය සංවිධානයක් ලවාත් ඊට සමාන යෝජනාවක් කරලියට ගේනවා. ඒවා පෝෂණය කිරීමට රජයේ මාධ්‍ය සහ රජයට ආවඩන පෞද්ගලික මාධ්‍ය පාවිච්චි කොට දිවා රෑ කාලයක් තිස්සේ තොරොම්බල් කොට අවසානයේ එම අදහසට විපක්ෂ කණ්ඩායමකුත් නිර්මාණය කරගන්නවා. කෙසේ හෝ අවසානයේ සියළු දෙනා එකතු වී ඔවුන්ගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට පටන් ගන්නවා. රටේ ජනයාත් දෙපිල තුන්පිල බෙදී දේශපාලකයින්ගේ න්‍යාය පත්‍රය කරගහන් යනවා. දැනුත් සිදුවන්නේ එයයි. කපටි දේශපාලකයින් මෙවර අලෙවි කලේ “සර්ව පාක්ෂික ආණ්ඩුව” නැමැති ලොලිපොප් එකයි.

මේ දිනවල ආණ්ඩු පක්ෂ , ව්පක්ෂ, සංඝයා , සිවිල් සංවිධාන, මාධ්‍ය වගේම රටේ බහුතර මැද පංතියේ ජනයා කතා කරන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුව රටේ පවතින ප්‍රශ්න වලට තිබෙන එකම විසඳුම කියායි. එහෙත් මේ ගුලිය පිළිනොගන්නා එකම දේශපාලන පක්ෂය ජාතික ජනබලවේගය (NPP) පමණයි. ඔවුන්ගේ ස්ථාවරය නම් පවතින දේශපාලන සංස්කෘතිය තුල කොහෙත්ම පවතින අර්බුදයට විසඳුම් සෙවිය නොහැකි බවයි. ඒ සඳහා ඔවුන් ප්‍රකාශ කරන්නේ , නිස්චිත කාලසීමාවක් තුල සියළු පාර්ශව එකතු වී පවතින ප්‍රධාන ප්‍රශ්න කිහිපය යම් මට්ටමකට විසඳා මහ මැතිවරණයකට ගොස් ජනතාවගේ විශ්වාසය ඇති පාලනයක් බිහිකළ යුතු බවයි . එහෙත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයා බලාපොරොත්තු වන්නේ 2048 වනතුරු රට පාලනය කොට (රාජසන කතාවට අනුව ඔහුගේ වයස 94දී ) ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත්කරන බවයි.

  1. සර්ව පාක්ෂික රජයක් අවශ්‍ය වන්නේ ඇයි ?

සාමාන්‍ය තත්වයන් අනුව , රටක පවතින රජයට තීරණ ගැනීමට පාර්ලිමේන්තුව තුල ප්‍රමාණවත් බහුතරයක් නොමැති අවස්ථාවක තවත් දේශපාලන පක්ෂ එකතු කොටගෙන බහුතරය සකස් කර ගත හැකියි . එවැනි අවස්ථා අපි ඕනෑ තරම් දැක තිබෙනව. ඒවා සභාග, හවුල් , ජාතික වැනි නම් වලින් හඳුන්වා තිබෙනවා. සර්ව පාක්ෂික ආණ්ඩුවක අදහස පැම්ණියේ ගෝල්ෆේස් අරගලයත් සමගයි.

2015 වර්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් එකතු වී යහපාලන නමින් රජයක් පිහිට වූ වග ඔබට මතක ඇති. ඔවුන් විසින් එම රජයට නෛතික ආවරණය ලබා දීම සඳහා 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන විත් ආණ්ඩුවේ සංයුතිය පුළුල් කරගැනීමට කටයුතු කලා.
19 වන ව්‍යවස්ථා සංශෝධනයේ 46(5) අනුව්‍යවස්ථාවේ එම රජය හඳුන්වන්නේ “ජාතික රජයක් (National Government )” හැටියටයි.

19 වන සංශෝධනයෙ යම් යහපත් ලක්ෂණ හඳුන්වා දී තිබුනත් ඒවා හරියට ක්‍රියාත්මක නොවීම අභාග්‍යක්. කෙසේ වෙතත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ 46(1)(අ) වගන්තිය මගින් අමාත්‍ය මණ්ඩලය 30 නොඉක්ම විය යුතු බව ප්‍රකාශ වෙනවා. ලංකාවේ හැටියට එය ඒ මට්ටමින් හෝ සීමා කිරීමට හේතු වූයේ ඊට පෙර පැවති මහින්ද රාජපක්ෂ රජයේ අමාත්‍ය , රාජ්‍ය , නියෝජ්‍ය , කාර්යභාරයක් නොමැති ඇමැති වරුන් 105 දෙනෙකු පත්කොට තිබීම නිසයි .
ඔබ කල්පනා කර බලන්න , ඉන්දියාවේ ජනගහනය බිලියන 1.3 ක්. කැබිනට් මණ්ඩලය 27 යි. චීනයේ ජනගහනය බිලියන 1.4 ක්. අමාත්‍ය මණ්ඩලය 26 යි. ජපානයේ කැබිනට් මණ්ඩලය 20 යි. ජනගහනය මිලියන 127ක්. එහෙත් ලංකාවේ ජනගහනය මිලියන 22 යි. කැබිනට් මණ්ඩලය 30ක් සිටිනවා.

රනිල් වික්‍රමසිංහ රජයට පාර්ලිමේන්තුවේ අදටත් පොහොට්ටු ආසන 120-134 තිබෙන බව පසුගිය දා දැක ගත හැකිවුණා . එමෙන්ම , ඕනෑම තීරණාත්මක අවස්ථාවක ඡන්ද සංඛ්‍යාව වැඩි කරගැනීමට ඔවුන්ට කල යුත්තේ රුපියල් මිලියන 200-300 කට මන්ත්‍රී වරුන් මිලදී ගැනීම යි. එය පසුගිය ජනාධිපති ඡන්දයේදි නැවත වරක් ඔබට තහවුරු වන්නට ඇති.

අද රජයට පවතින ආර්ථික අර්බුදය විසඳීමට ව්‍යවස්ථානූකූලව කැබිනට් ඇමැති 30 ක් සහ රාජ්‍ය/නියෝජ්‍ය ඇමැති 40 ක් පත් කරගන්නට පුළුවන් කම තිබෙනවා . දැනටමත් අමාත්‍ය වරු පිරිසක් පත්කොට තිබෙනවා . එහෙත් , රනිල් වික්‍රමසිංහ ජනාධිපති සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන බව ප්‍රකාශ කරමින් අනෙකුත් දේශපාලන පක්ෂ වලට ඔහුගේ රජයට සම්බන්ධ වී වගකීම් ලබා ගන්නා ලෙස ප්‍රකාශ කරනවා. ඔහු නොකියන කතාව නම් දැනටමත් බොහෝ පක්ෂ වලින් කඩාගෙන ගිය පිරිස් ඔහුගේ රජයේ සිටින බැවින් එය සර්ව පාක්ෂික රජයක් බව. අනෙක් අයට ආරාධනා කරන්නේ යම් විදිහකින් රනිල් වික්‍රමසිංහට එම අමාත්‍යවරුන් කෙරෙහී විශ්වාසය නැතිවා විය හැකියි.

මෙසේ සර්ව පාක්ෂික රජයක් ගැන කියන ගමන්ම ඔහුගේ රජයට අභියෝගයක් විය හැකි යැයි අනුමාන කරන වෘත්තීය සමිති නායකයින්, ශිෂ්‍ය ක්‍රියාකාරීන්, අරගල කරුවන් සහ තවත් බලපෑම් කණ්ඩායම් නායකයින් අත් අඩංගුවට ගන්නවා. තවත් නාඳුනන තරුණ සහ මැදිවියේ පිරිමින් මරා මහ මූදේ පාකොට එවනවා. රටේ ජනයා ඒ සම්බන්ධව අවධානය යොමු කරනවාට වැඩිය මේ දින වල බලාපොරොත්තු වන්නේ සර්ව පාක්ෂික රජයකින් ඔවුන්ගේ මූලික ප්‍රශ්න විසඳීමට කටයුතු කරාවී කියලයි . එහෙත් ඔවුන්ට අමතක , මේ සියළුම දෙනා වර්තමාන ආර්ථික අර්බුදයේ නිර්මාණකරුවන් බව. හොරාගෙන්ම විසඳුම් සෙවීම වෙලාවකට හිතෙන්නේ ශ්‍රී ලාංකිකයාගේ ආවේණික ස්වභාවය කියලයි.

  1. සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවීමේ බලාපොරොත්තු

ගෝටාභය රාජපක්ෂ අසීමිත බලයක් ලබා ගැනීමේ අටියෙන් 19 ව්‍යවස්ථාව අහෝසි කොට 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවා. රනිල් වික්‍රමසිංහ එය අහෝසි කොට 22 වන සංශෝධනය අගොස්තු මාසයේ ගෙන ඒමට දැන් සූදානම් වෙනවා. මෙතරම් වේගයෙන් ව්‍යවස්ථා සංශෝධන එන රටක් ලෝකයේ අසන්නට නැහැ.

ජනාධිපති රනිල් 22 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් 19 තිබූ ප්‍රතිපාදන නැවත බලාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා .

මෙම සංශෝධනය නොකොට රනිල් වික්‍රමසිංහට සර්ව පාක්ෂික ආණ්ඩුවකට නෛතික ආවරණයක් ලබා ගැනීමට නොහැකියි. 1978 ව්‍යවස්ථාවේ කිසිදු වගන්තියක සර්ව පාක්ෂික ආණ්ඩුව කියන වචනය සඳහන් වන්නේ නැහැ.
එහෙත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ 46(5) අනුවගන්තියේ ජාතික ආණ්ඩුව ගැන සඳහන් වෙනවා . එසේනම් , ව්‍යවස්ථානුකූලව මේ පිහිටුවන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හෝ සර්ව පාක්ෂික පාලනයක් නොව ජාතික ආණ්ඩුවක් විය යුතුයි (National Government). එසේ නොමැතිව, ඔවුන්ට ඔවුන්ගේ අභිප්‍රායන් ඉටුකර ගැනීමට නොහැකි වෙනවා.
b. රටේ ජනයාගේ ඇස් වසා මොවුන් සූදානම් වන්නේ කුමක් සඳහා ද ?

19 වන ව්‍යවස්ථා සංශෝධනය 46(4) අනුව්‍යවස්ථාව මගින් 46(1)(අ) ව්‍යවස්ථාවෙන් පනවා ඇති අමාත්‍ය තනතුරු සීමාව 30 ඉවත් කොට මෙසේ සඳහන් කරනවා.

“46(1) වැනි අනුව්‍යවස්ථාවේ කුමක් සඳහන් වුවද , පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගන්නා පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම හෝ විසින් ජාතික ආණ්ඩුවක් පිහිටුවන අවස්ථාවකදී අමාත්‍ය වරුන් සංඛ්‍යාව පාර්ලිමේන්තුව විසින් තීරණය කළ යුත්තේ ය.”

එම 19 වන සංශෝධනයේම 46(5) අනුවගන්තියට අනුව “….. ජාතික ආණ්ඩුවක් යනු, පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාව ලබා ගන්නා පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් පිළිගත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් එකතුව පිහිටවනු ලබන ආණ්ඩුවක් වන්නේය.” යනුවෙන්.

මේ සියල්ලෙන්ම පැහැදිලි වන්නේ (ව්‍යවස්ථාවට අනුව ) මේ පිහිටුවන්නේ ජාතික ආණ්ඩුවක්. එහි අමාත්‍ය වරුන් සංඛ්‍යාව කොතෙක් ද යන්න තීරණය වන්නේ පාර්ලිමේන්තුව තුල ඇති කරගන්නා එකඟතාවයෙනි. බොහෝ විට , මේ සර්ව පාක්ෂික රජය කැඳහැලියක් වන්නේ ඇමැති තනතුරු බෙදාගැනීමට යාමේදී කියා මට හිතෙනවා.
c.සජබ , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය , පොහොට්ටු වෙන්වු GL සහ ඩලස් කඳවුර, වීරවංශ කඳවුර , 43 බලකාය ද්‍රවිඩ හා මුස්ලිම් පක්ෂ ස්ථාවරය

ඔවුන් බොහෝ දෙනා සර්ව පාක්ෂික ආණ්ඩුවකට සහයෝගය දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුනගැසී ප්‍රකාශ කොට තිබුණා . එහි ඇති වරදක් නැහැ . ඒ ඔවුන් මෙතෙක් කරගෙන ආ ක්‍රමවේදයයි. ඔවුන් දැනට කියන්නේ අපිට ඇමැති තනතුරු අවශ්‍ය නොවන බවයි . ඔවැනි කතා ඔවුන්ගේ මුවින් අපි ඕනෑ තරම් අසා තිබෙනවා. අවසානයේ , ඔවුන්ගේ හැසිරීම අපි හොඳින් දැක තිබෙනවා. වගකීම් නැතිව තීරණ ගත නොහැකියි කියමින් ඇමැති රාජ්‍ය ඇමැති තනතුරු නොගතහොත් ඔබ පුදුම නොවන්න. විශේෂයෙන්ම පොහොට්ටු පක්ෂය , සජබේ පිරිස් , වීරවංශ කණ්ඩායම ඒ අතර කැපී පෙනෙන බව කිවයුතුයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහට අනුව ඉදිරි මාස 6 ඉතා දුෂ්කරයි. අගොස්තු 23 න් පසු ඉන්ධන සපයා ගැනීමේ දුෂ්කර තාවයක් තිබෙන බව කාංචන විජේසේකර ඇමැති වගේම මහබැංකු අධිපති වරයා ප්‍රකාශ කොට තිබුණා. සැප්තැම්බර් මාසයෙන් පසු ගල් අඟුරු මිලදී ගැනීමට ඩොලර් නොමැති බව මහබැංකුව කියනවා. මේ දිනවල වර්ෂාව නිසා ජලාශ පිරී පවතිනවා . පැය 24 ම විදුලිය දීමට උස්සාහ කරනවා. පැය කිහිපයක් විදුලිය විසන්ධි කර ජලය ආරක්ෂා කරගන්නේ ද නැති නම් ඉදිරි පෑවිල්ලේදි පැය 7-8 ක් විදුලිය කපනවාද කියා බලධාරීන්ට හිතෙන්නේ නැහැ .

රටේ කෙතරම් ප්‍රශ්න තිබුනත් මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව ලක්ෂයේ සිට ලක්ෂ 2 දක්වා වැඩි කොට තිබුණා. නව සුඛෝපභෝගී නිවාස 107 ක් බෙදා දීමට අමතරව රුපියල් මිලියන 10 ක දීමනාවක් ලබා දුන් බව මාධ්‍ය වාර්තා කොට තිබුණා. එහි වරදක් මම නම් දකින්නේ නැහැ . මොකද ලංකාවේ දේශපාලන සංස්කෘතිය එයයි. බහුතර ජනයා ද ඒවා අනුමත කරනවා. කෙතරම් අගේද ?

එවැනි දේශපාලන සංස්කෘතියකට සම්මාදම් නොවීම ජාතික ජනබලවේගයේ අඩු පාඩුවක් දෝ කියා වෙලාවකට හිතෙන්නේ මට විතරක් ද? ඔවුනුත් මේ නරාවලේ බැහැගෙන අසූචි ටිකක් ඇඟේ තවරා ගත්තේ නම් සමහර විට රටේ බහුතර ජනයා ඔවුන් ඉහළින් පිළිගනීවී කියා හිතෙන්නේ මට විතරද? ජාතික ජනබලවේගය ඇමැති තනතුරු ලබා ගෙන සර්ව පාක්ෂික ආණ්ඩුවේ හොරු ඇල්ලිය යුතුයි කියා හිතෙන්නේ මගේ සමහර මුහුණු පොතේ මිතුරන් ට විතරද?

ශාන්ත ජයරත්න

ජ්‍යෙෂ්ඨ උපදේශක (හිටපු)
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය

SLIDA

සබැඳි

Leave a Reply

Your email address will not be published.