අයිෆල් කුළුණ ගොඩනැගෙන අතර ගොඩනැගුනු ප්‍රේමය ‘EIFFEL’

නවතම ථෙතිහාසික කලාත්මක ප්‍රංශ චිත්‍රපටයක් පිළිබඳව දැනකියා ගනිමු

ප්‍රංශයේ අයිෆල් කුළුණ (Tower of Eiffel ) වූ කලී ප්‍රංශයේ ජාත්‍යන්තර මුද්‍රාව වන් ලෝප්‍රකට ථෙතිහාසික ස්මාරකයකි. මෙය තවත් ආකාරයකින් විස්තර කළහොත් ප්‍රංශය හා අයිෆල් කුළුණ වූ කලී ගහට-පොත්ත මෙනි. ඒ තරමටම ප්‍රංශය හා අයිෆල් කුළුණ බැදී පවතී.

Alexander Gustaveeb

අයිෆල් කුළුණේ ඉතිහාසය ———

මෙම අයිෆල් කුළුණේ වැඩ කටයුතු 1887 ජනවාරි මස 28 වැනී ආරම්භ කොට එය 1889 මාර්තු මස 31 වෙනි දින විවෘත කරන ලදි. මෙය උසින් මීටර් 300 කි. මෙහි නිර්මාතෘවරයා වූයේ ප්‍රංශ ජාතික සිවිල් ඉංජිනේරුවකු වූ Alexander Gustave Bonickhausem Dit Eiffel ( 1832 – 1923 ) ය. ඔහුට සහය වූ ප්‍රධාන සිවිල් ඉංජිනේරුවන් වූයේ Stephen Saurestre , Maurice Koechlin හා Emile Nouguiev ය.

Martin Bourboulon

ප්‍රංශ ජාතික තුරුණු සම්මානීය සිනමාකරුවකු වන Martin Bourboulon විසින් නිර්මාණය කරන ලද නවතම චිත්‍රපටය වනුයේ Eiffel ය. අයිෆල් කුළුණේ නිර්මාතෲ Alexander Gustave Bonickhausem Dit Eiffel විසින් කුළුණ නිර්මාණය කරන ලද කාලයේ දී ඔහු සහභාගී වූ එක්තරා රාත්‍රී භෝජන සංග්‍රහයකදී හමුවුණු ඉතා රූමත් ඉහළ පැලැන්තියේ විවාහක කාන්තාවන් සමගින් ඇති කරන ගන්නා ලද ප්‍රේම සබඳතාවය හා ඊට පරිභාහිර වටපිටාව පාදක කර ගනිමින් මෙම අපුරු චිත්‍රපටිය නිර්මාණය වී ඇත්තේ ය.

Eiffel චිත්‍රපටය වෙනුවෙන් Marie Genesseaux තිර රචනයෙන් ද Matias Boucard කැමරාකරණයෙන් ද Valerie Deseine සංස්කරණයෙන් ද දායකත්වය දක්වා ඇති අතර Emma Mackey, Romain Duris , Pierre Deladoncham , Armande Boulanger , Andranic Manet ,Jeremy Lopez, Bruno Reffaelli යනාදී ජනප්‍රිය නළු-නිළියන් රංගනයෙන් දායකත්වය දක්වා තිබේ.

සිනමාත්මක කියවීම( A Cinematic Reading ) ————–

සමස්තයක් වශයෙන් Eiffel චිත්‍රපටය ඉහළ සිනමාත්මක ( High Quality Cinematic ) බවකින් යුතු චිත්‍රපටයක් බව විශේෂයෙන් සදහන් කළ යුතු වන්නේ ය.

Eiffel චිත්‍රපටයේ දර්ශනයක්

Eiffel චිත්‍රපටයෙන් සමස්තයක් වශයෙන් පිරිමියකු හා ගැහැණියක අතර ඇතිවන ආදරයේ සංවේදී පැතිකඩ පිළිබඳව කිසියම් වූ විවරණයක යෙදෙන චිත්‍රපටයක් වන්නේ ය. කතාපුවත විකාශනය වත්ම එය සුපුරුදු තාත්විකවාදී බටහිර සිනමා ශෛලියෙන් තරමක් මිදී කාව්‍යාත්මක රිද්මයක් බවට පත්වේ. සම්භාව්‍ය සංගීතය ඉතා මැනවින් සංගීත අධ්‍යක්ෂකවරයා විසින් භාවිතා කර තිබෙන අතර එමගින් මුඛය කතාපුවත පිළිබඳව අප සිත් විටෙක චමත්කාරය ද තවත් විටෙක කම්පනය ද ඇති කරවන සුළුය. කතා පුවත ඉල්ලා සිටින දහනමවැනි සියවසේ අවසාන කාර්තුවේ පැරීසියේ සමාජ පරිසරය ප්‍රේක්ෂකයාගේ දෙනෙත් මානයේ සිනමාත්මකව දක්වන්නට කලා අධ්‍යක්ෂකවරයා වෙසෙසින්ම සමත් වී ඇත්තේ ය. විටෙක එය චිත්‍රපටය කෙරහි ප්‍රේක්ෂකාගාරයේ ආකර්ෂණය දිනාගැනීමට සමත්වන ප්‍රධාන කාරණාව බවට පත්ව ඇත්තේ ය.ඉතා මැනවින් පෙළගස්වා ඇති රූප රිද්මය කතාපුවතේ ථෙහිහාසික වටපිටාව මැනවින් ඉස්මතු කරන බව පෙනේ. එම නිසාම පමණක් නොව සමස්තයක් වශයෙන් ගත් කල්හි මෙහි කැමරාකරණය ඉතා ඉහළ අගයක් ගනී. නළු නිළියන් මෙහෙය වීමේදී අධ්‍යක්ෂකවරයා විසින් ප්‍රධාන චරිතය, ඇතුළු සියළුම නළු නිළියන්ගේ ඒ ඒ චරිත තුළ කොටුකර තබා ගැනීමටත් එතුළින් තම රූප ව්‍යවහාරයේ ව්‍යක්ත බව ප්‍රකට කිරීමටත් වෙසෙසින් සමත්වී ඇත්තේ ය.

සමස්තයක් වශයෙන් චිත්‍රපටයේ සියළුම.අංශ පිළිබඳව සම්පිණ්ඩනය කර බලන කල්හි Eiffel චිත්‍රපටය ප්‍රේක්ෂක අප භාවාත්මක හා බුද්ධිමත්ව කම්පනය කිරීම සදහා නිතැතින්ම පොළඹවන ඉහළ කලාත්මක ජීවගුණායෙන් යුතු චිත්‍රපටයක් වශයෙන් මෙහිලා නොබියව හදුන්වදීමට කැමැත්තෙමි.

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

අධ්‍යක්ෂකවරයා -ප්‍රධාන නළුවා හා නිළිය

සබැඳි

Leave a Reply

Your email address will not be published.