ඇවිලෙන ගින්නට පිදුරු දැමූ නැන්සි පෙලොසි

ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලයේ කතානායිකා නැන්සි පෙලොසි නෝනාගේ හිතුවක්කාර කම් නිසා ආයෙත් පාරක් ලෝකයේ දෙකොණ පත්තු වෙලා තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ ඇයගේ තායිවාන සංචාරයට ජනාධිපති ජෝ බයිඩන්ගේ පවා එකඟතාවය හිමිව නැති බව. හිටපු ජනාධිපති ට්‍රම්ප්ටනම් පෙලොසිව දෑහැට පේන්න බැහැ.
පාලක ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබල දේශපාලනඥයකු වූ පෙලොසි දෙවැනි වන්නේ ජනාධිපති ජෝ බයිඩන්ට පමණයි. ඒ නිසා චීනය සළකන්නේ මේ සංචාරය තමන්ගේ අභිමානයට කරන ලද කැළලක් ලෙසයි.

මේ හේතුව නිසා අද වන විට ක්ෂේත්‍රයන් කිහිපයක ඇමෙරිකාව සමඟ තිබූ සහයෝගීතාවය අත් හිටුවීමට චීනය කටයුතුකර තිබෙනවා. මෙකී ක්ෂේත්‍රයන් අතරට දේශගුණ විපර්යාස, අනවසර සංක්‍රමණ සහ ජාත්‍යන්තර අපරාධ සම්බන්ධයෙන් වූ සහයෝගීතාවද ඇතුළත්.

මීට අමතරව නැන්සි පෙලොසි හා ඇයගේ පවුලේ සාමාජිකයන්ට සම්බාධක පැනවීමට ද චීනය කටයුතු කර තිබෙනවා.
මිලියන 23ක ජනගහනයක් සිටින තායිවානය චීන ප්‍රධාන භූමියෙන් පිටත දූපතක් ලෙස පිහිටියත් චීනය සලකන්නේ එය මහජන චීනයේම කොටසක් ලෙස. එය කවදා හෝ තම රටේ කොටසක් වනු ඇති බව චීනය විස්වාස කරනවා. තායිවානය යනු අවශ්‍යනම් බලහත්කාරයෙන් නැවත ලබා ගැනීමට හැකි චීනයෙන් කැඩී ගිය පළාතක් ලෙසයි චීන බලධාරීන් සලකන්නේ. නමුත් තායිවාන නායකයන් කියන්නේ තමන් පැහැදිලිවම ස්වෛරී රාජ්‍යයක් බව.

කොහොම වුණත් ඉන් එහාට ගොස් තායිවානයේ කටයුතු වලට මැදිහත් වෙන්න චීන රජය මෙතෙක් කටයුතු කළේ නෑ. ඊට හේතුව ඇමෙරිකාව තායිවානය පිළිබඳව දැඩි අවධානයෙන් පසු වීම. චීනය හා ඇමෙරිකාව යන රටවල් දෙකම දිගු කළක් තිස්සේ බැළලියකට කුරුමානම් අල්ලන බළල් නාම්බන් වගේ තායිවානය සම්බන්ධයෙන් එකිනෙකා දෙස සැකයෙන් බලා සිටිනවා.

අර්බුද ජයගෙන දෙපයින් සිටගත් තායිවානය

තායිවානයේ මුල්ම පදිංචි කරුවන් වන්නේ නූතන දකුණු චීනයෙන් පැමිණි ඔස්ට්‍රොනීසියානු ගෝත්‍රිකයන්. 17 වන සියවසේදී ලන්දේසීන් විසින් මේ දූපත අල්ලා ගෙන වසර 37ක් පාලනය කළා. ඉන් පසුව වර්ෂ 1900 ට ආසන්න වන තෙක්ම එය පාලනය කළේ චීනයේ ක්විං රාජවංශය විසින්. චීනයේ පැවති නොසන්සුන් හා දුෂ්කර ජීවිත වලින් මිදීමට 17 වන සියවසේ පටන් සැලකිය යුතු පිරිසක් චීනයෙන් තායිවානයට සංක්‍රමණය වුණා. ඉන් බොහොමයක් ෆූජියන් පළාතේ හොක්ලෝ හා හක්කා ජනකොටස්.

1895 දී පළමු චීන-ජපන් යුද්ධයෙන් ජපානය ජයග්‍රහණය කළා. ඒ අනුව ක්විං රජයට තායිවානය ජපානය වෙත භාරදීමට සිදුවුණා. දෙවන ලෝක යුද්ධයේදී ජපානය ගත්තේ හිට්ලර්ගේ පැත්‍ත. යුද්ධයෙන් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව යුරෝපය හිට්ලර් විසිනුත්, අප්‍රිකාව ඉතාලියේ බෙනිටෝ මුසෝලිනී විසිනුත්, ආසියාව ජපානය යටතේත් පාලනය කිරීමට ඒ රටවල් තුනේ මූලිකත්වයෙන් වූ අක්ෂ සංධානය අරමුණු කළා. යුද්ධයට චීනය සක්‍රිය ලෙස දායක නොවුණත් ඔවුන් සිටියේ මිත්‍ර පාක්ෂිකයන් සමග. එනම් සෝවියට් දේශය, ඇමෙරිකාව හා මහා බ්‍රිතාන්‍යය ඇතුළත් කඳවුරේ.

දෙවන ලෝක යුද්ධය නිමාවන විට චීනයත් හිටියේ ජයග්‍රහණය කළ කණ්ඩායමේ. හිරෝෂිමා – නාගසාකි පරමාණු බෝම්බත් එක්ක ජපානය බිමටම සමතලා වී තිබුණා. චීන ජනරජය ඇමෙරිකාවේ හා බ්‍රිතාන්‍යය‍ෙ කැමැත්ත ඇතිව තායිවානය පාලනය කරන්න පටන් ගත්තා.

1949 දී මාවෝ සේතුංගේ මහජන හමුදාව චීනයේ බලය අල්ලා ගත්තා. අද පවතින චීන කොමියුනිස්ට් පක්ෂයේ ආධිපත්‍යය සහිත මහජන චීනයේ ආරම්භය එයයි. ඒ වන විට චීනය පාලනය කළේ ජියෑන් කායි ෂෙක්. ඔහුගේ හමුදාව පරාජයට පත්වුණා. ජියෑන් හා ඔහුගේ කුවොමින්‍ටැං (KMT) රජයේ ඉතිරි වී සිටි පිරිස් තායිවානයට පළා ගියා. මේන්ලන්ඩ් චීන ජාතිකයන් ලෙස හැඳින්වෙන මේ පිරිස තායිවාන ජනගහනයෙන් 14% ක් වුවත් පසුව එහි දේශපාලන අධිකාරීත්වය දැරුවේ ඔවුන්. ජියෑන් ඇතුළු පිරිස එතෙක් චීනයේ පැවති චීන සමූහාණ්ඩුව (Republic of China- ROC) තායිවානයේ පිහිටුවා තමන් මුළු චීනයම නියෝජනය කරන බව ලෝකයට කියා සිටියා. නැවතත් මාවෝගේ කල්ලිය පලවා හැර චීනය අත්පත්කර ගන්නා බවත් ජියෑන් කායි ෂෙක් පවසා සිටියා.

තායිවානයේ ස්ථාපිත කරන ලද ජියෑන් කායි ෂෙක්ගේ ROC ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ චීනයේ ආසනය පවා දැරුවා. එසේම එවකට බොහෝ බටහිර රටවල් විසින් එය එකම චීන රජය ලෙස පිළිගත්තා. නමුත් 1971 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය තම රාජ්‍යතාන්ත්‍රික පිළිගැනීම බීජිං වෙත මාරු කළා. අද වන විට තායිවාන ROC රජය පිළිගන්නේ රටවල් 15ක් පමණයි. එසේ පිළිගන්නා රටවල් සමඟ චීනය කිසිදු රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනුවක් කරන්නේ නැහැ.
ශ්‍රී ලංකාවේ ආගමන විගමන නිලධාරීන් පවා තායිවාන ගමන් බලපත්‍ර වල තම මුද්‍රාව තබන්නේ නැහැ. තායිවාන ජාතිකයන්ට වෙනම දිවුරුම් ප්‍රකාශයක් ලබා දී අපේ රටට ඇතුලු විය හැකියි. වරක් කොළඹ පැවති ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලකට තායිවාන කණ්ඩායමක් සහභාගි වීම නිසා අවසන් දිනයේ පැවත්වීමට නියමිතව තිබූ චීන මල් වෙඩි සංදර්ශනය නතර කර දැමීමට පවා චීනය කටයුතු කළා.

චීනයේ නැගී ඒමත් සමඟ ඔවුන් සමඟ වෙළෙඳ සබඳතා පැවත්වීමට ලොව ප්‍රබල රටවල් වලට සිදුවුණා. 1979 දී එවකට ඇමෙරිකානු ජනාධිපති ජිමී කාටර් තායිවානයට වෙනුවට බීජිං රජය නිල චීන රජය ලෙස පිළිගත්තා. නමුත් ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලය තායිවානය සමඟ වූ මිතුරුකම අතහැරීමට කැමති වුණේ නෑ. ඔවුන් Taiwan Relations Act සම්මත කර ගත්තා. තායිවානයට අවශ්‍ය ආරක්ෂක අවි සැපයීමත්, තායිවානයට එල්ල කරන චීනයේ ඕනෑම ප්‍රහාරයක් බරපතල ලෙස සැලකීමත් එම පනතේ අරමුණ වුණා.

චෙන් ෂුයි බියන් යනු නිදහස් තායිවානයක් වෙනුවෙන් විවෘතව පෙනී සිටි පුද්ගලයෙක්. චෙන්ගේ තේරීපත් වීමත් සමඟ බීජිං ආණ්ඩුව කළබලයට පත්වුණා. චෙන් මහතා 2004 දී නැවත තේරීපත් වුණා. එනපොට හොඳ නැති බව තේරුම් ගත් චීනය බෙදුම් විරෝධී නීතියක් සම්මත කිරීමට තායිවානයට බලකළා. චීනයෙන් වෙන් වීමට උත්සාහ කළ හොත් සාමකාමී නොවන ක්‍රියාමාර්ග ගැනීමට තමන්ට අයිතියක් ඇති බව චීනය ප්‍රකාශ කළා.

පසුව තායිවානයේ වඩාත්ම සමීප මිතුරා බවටත් ඇමෙරිකාව පත්වුණා. උපායමාර්ගික ලෙස චීනය සමඟ වෙළඳ සබඳතා පවත්වා ගත්තත් යුදමය වශයෙන් ඇමෙරිකාව තායිවානයට සහයෝගය දැක්වූවා. ඒ ආසියා- ශාන්තිකර කලාපය තුළ ඇමෙරිකානු ආධිපත්‍යය පවත්වා ගැනීමට තායිවානයේ ඇති මූලෝපායික වැදගත්කම නිසා. පසුව ඇති වූ මහජන උද්ඝෝෂණ හා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාර වල බලපෑම නිසා තායිවානයේ ඒකාධිපති පාලන ක්‍රමය වෙනස් කිරීමටත් ජියෑන් කායි ෂෙක්ගේ පුත්‍රයා වූ ජියෑන් චිං කුවෝට සිදුවුණා. අවසානයේ වර්ෂ 2000 දී පැවති මැතිවරණයෙන් එහි KMT නොවන පළමු ජනාධිපතිවරයා වන චෙන් ෂුයි බියන් පත්වුණා.

වර්තමාන තායිවාන ජනාධිපතිවරිය වන්නේ තායි ඉන් වෙන්. ඇය තායිවානය සම්පූර්ණ ස්වෛරී රාජ්‍යයක් කිරීමට අදහස් කරන Democratic Progressive Party හෙවත් DPP පක්ෂයට නායකත්වය දෙනවා. පසුගිය වසරේ හොංකොං වෙනුවෙන් බීජිං ආණ්ඩුව සම්මත කරගත් උදර්පන නීති නිසා හොංකොං වැසියන් දැඩි ලෙස නොසන්සුන් වුණා. ඒ නීති අනුව හොංකොං වැසියන් කරන වැරදි සම්බන්ධයෙන් ඔවුන්ව චීනයට ගෙන ගොස් දඬුවම් කළ හැකියි. මේ නිසා හොංකොං දේශය පුරා චීනයට විරුද්ධ උද්ඝෝෂණ හටගත්තා. හොංකොංහි පැරණි ස්වාමියා වූ බ්‍රිතාන්‍යය පවා චීනය හමුවේ පසුබැස ගිය බව පෙනෙන්නට තිබෙනවා. ලබ්බට තැබූ අත පුහුලට තියනවා වගේ චීන මකරා ඊළඟට තම පැත්තට හැරෙන බව තායිවානය කළින්ම අවබෝධ කරගෙන තිබුණා.

චීනයේ කොටස් ලෙස සැලකෙන හොංකොං හෝ ටිබෙටය මෙන් උපාසක චරිතයක් රගපෑමට තායිවානය කැමති වුණේ නැහැ. තායිවානය සතුවත් ලක්ෂ තුනක හමුදාවක් සිටිනවා. ඔවුන් රටේ ආරක්ෂාව වෙනුවෙන් දළ ජාතික නිෂ්පාදනයෙන් 20% ක් වෙන්කරනවා. සෑම තරුණ පිරිමියෙක්ම අඩුම වශයෙන් වසරක් හෝ හමුදාවේ සේවය කළ යුතුයි. විදේශ සබඳතා පැත්තෙන් තායිවානය ලොව හුදකලාව සිටියත් ඔවුන් විදේශ රටවල් සමඟ වෙළඳාම් කරගෙන යන්නට විකල්ප ක්‍රමවේද සොයා ගත්තා.

සඟරාවට අනුව තායිවානය ලෝකයේ පොහොසත්ම රටවල් අතර 17 වන ස්ථානයේ පසුවනවා.
ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මෙන් ජෝ බයිඩන් ජනාධිපතිවරයා චීනය සමග එලි පිටම පැටලෙන්න ගියේ නැහැ. නමුත් දැන් පෙලොසි නෝනා හා තායිවාන ජනාධිපතිවරියගේ හදිසි ඇයි හොඳැයිය චීනය ප්‍රකෝපයට හේතු වී තිබෙනවා.

තායිවාන ගැටළුව තමන්ගෙන් පසු එන ජනාධිපතිවරයාට ඉතුරු කිරීමට ෂී ජිං පිංට අදහසක් නැහැ. ඔහුට තායිවානය නැවත අවශ්‍යයි. තමන් විශිෂ්ඨ ඓතිහාසික චරිතයක් බව ඔහුම සිතා සිටිනවා. තමන්ට කළින් සිටි චීන නායකයන්ට කළ නොහැකි වූ සියල්ල තමන් විසින් සම්පූර්ණ කළ යුතුව ඇති බව ෂී ජිං පිං තරයේ විස්වාස කරන බව දේශපාලන විචාරකයන් පවසනවා.
“ඩෙන් ෂියාවෝ පෙංට තායිවානය ලබාගන්න බැරි වුණා. සභාපති මාවෝටත් ඒක කරන්න බැරි වුණා. ෂී ජිංපිං ට තායිවානය ලැබුණොත් මම ඩෙංට හා මාවෝටත් වඩා උසස්”

ෂී ජිං පිං මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන අතර තායිවානය යලි එක්වීම චීන ජනතාවගේ මහා පුනර්ජීවනය උදෙසා නොවැලැක්විය හැකි අවශ්‍යතාවයක් ලෙස ඔහු දකිනවා.

චීන නායකයාගේ කඩිමුඩියට හේතුවක් තිබෙනවා. තායිවානයට එරෙහි යුද්ධයකදී තායිවානය වෙනුවෙන් ඇමෙරිකාව සටනට එන බව පැහැදිලියි. ඇමෙරිකාව පරාජය කිරීමේ බලය නුදුරේම තමන්ට ලැබිය හැකි බව ෂී ජිං පිංගේ මතයයි.

ඇමෙරිකාව තම මිතුරන් හා හවුල් කරුවන් ආරක්ෂා කරයිද කියා බොහෝ දෙනා ප්‍රශ්ණ කරනවා. ඉරාකය විසින් කුවේටය ආක්‍රමණය කරද්දී මැදපෙරදිගට තම හමුදා යැවූවා මෙන් ඇමෙරිකාව තායිවානය වෙනුවෙන් ඉදිරියට ඒවිද?

මාවෝ සේතුං විසින් ආරම්භ කරන ලද අඩු තාක්ෂණයෙන් යුතු මහජන හමුදාව තවදුරටත් චීනයේ නැහැ. එය නවීන අධි තාක්ෂණික හමුදාවක් බවට පරිවර්තනය වීම විස්වාස කළ නොහැකි වේගයෙන් සිදුව තිබෙනවා. චීන හමුදාවේ ප්‍රධානම ඉලක්කය වන්නේ තායිවානයට එරෙහිව මිලිටරි ආක්‍රමණයක් දියත් කිරීම බව සැකයක් නැහැ. ඔවුන් ඒ වෙනුවෙන් අවුරුදු 20ක් තිස්සේ සූදානම් වෙමින් සිටිනවා. නමුත් තවමත් ඇමෙරිකානු යුද ශක්තිය පිළිබඳව චීනය දෙගිඩියාවෙන් පසුවෙනවා.
යම් හෙයකින් චීනය විසින් තායිවානය අත්පත් කර ගත්තොත් එය ලෝකයේ භූ දේශපාලන සිතියම හා ලෝකයේ බලතුලනය මුළුමනින්ම කණපිට ගසන සිද්ධියක් වනු ඇති. චීනය තායිවානයට එරෙහිව යුද්ධයක් කර ජයග්‍රහණය කළොත් ආසියාවේ නායකයෙකු ලෙස ඇමෙරිකාව සතු කාර්යභාරය නිමාවනු ඇති. එසේම ලෝක බලවතා ලෙස ඇමෙරිකාවේ පැවැත්ම තවදුරටත් නොපවතිනු ඇති.

ශානක ලියනගම (ලෝකය එකම යායක්)

සබැඳි

Leave a Reply

Your email address will not be published.