චීන සහ ඉන්දියානු බලඅරගලය හමුවේ සැන්ඩ්විච් වන ලංකාවේ අසරණකම……

මේ දිනවල ඉන්දියාව ලංකාවේ බොටුවෙන් අල්ලාගෙනයි තිබෙන්නේ. චීන ඔත්තු බලන නැවක් අගොස්තු 11 හම්බන්තොට වරායට එනවලු. ඒක ඉන්දියාවේ දකුණු දිග මුහුදු තීරයේ විශේෂයෙන්ම තමිල්නාඩු , කේරළ , ආන්ද්‍රා වැනි ප්‍රදේශ වල තිබෙන පරමාණුක බලශක්ති පර්යේෂණගාර, න්‍යෂ්ටික බලාගාර, යුධ හා නාවික මධ්‍යස්ථාන, සහ වෙනත් උපාය මාර්ගික වැදගත් කමක් ඇති ස්ථාන නිරීක්ෂණය කරනවලු. සැටලයිට් චන්ද්‍රිකා පණිවිඩ හුවමාරු හසුකර ගන්නවාලු, භයානකම දෙය කි. මී. 750දුර බැලස්ටික් මිසයිල හැසිරවීමේ හැකියාව තිබෙන නෞකාවක් ලු. මදෑ මේ නහින දෙහින කාලේ හරියකට කන්න බොන්නත් නැතිව ඉන්න එකේ ඉන්දියාව පැත්තෙන් එන මිසයිල දෙක තුනක් පත බෑ වුනොත්. සමහරු නම් කියයි අනේ සාධු කියලා මොකද ඒකත් ජනාධිපති තුමා නිසා නේ අපිට ලැබුණේ කියලා. එහෙව් ජාතියක් නොවැ අපි .

හම්බන්තොට වරායට අගොස්තු 11 ලඟාවෙන යුවාන් වැන්ග් 5 (Yuan Wang 5) චීනය සතුව තිබෙන ප්‍රබල ඔත්තු සේවා නෞකාවක්. ඉන්දියාව මේ සම්බන්ධව ඔවුන්ගේ දැඩි අප්‍රසාදය සහ විරෝධය ලංකා රජයට දන්වා තිබෙනවා පමණක් නොව අවශ්‍ය වුවහොත් තම ජාතික ආරක්ෂාව සඳහා ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවටද අනතුරු හඟවා තිබෙනවා. මෙවැනිම තත්ත්වයක් 2014දී ඇති වුණා. චීනයේ චැන්ග්ෂෙන්ග් 2 (Changzeng 2) සබ්මැරීන යාත්‍රාව, චැන්ග්ෂින්ග් ඩාස් (Changshing Das) යුධ නෞකාව කොළඹ වරායට ඇතුළු වීමට අවසර දීමත් සමග මහින්ද රාජපක්ෂ රජය ඉන්දියාවේ දැඩි දෝශ දර්ශනයට ලක්වූවා පමණක් නොව ඔහු පාලන බලයෙන් ඉවත් කිරීමට පවා ඉන්දියානු රහස් ඔත්තු සේවය (RAW) වැඩි වැඩ කොටසක් කල බව එවකට ප්‍රසිද්ධ රහසක්.

ලංකාව සහ ඉන්දියාව අත්සන් කොට ඇති ඉන්දියානු සාගර සාම කලාප ගිවිසුම ප්‍රකාරව දෙරටේ මුහුදු සීමාව කිසිදු ලෙසක දෙරටේ එක්සත් කමට (Unity), භෞමික අඛණ්ඩතාවයට (Territorial Integrity), සහ ජාතික ආරක්ෂාවට (National Security) බලපාන කිසිදු කටයුත්තකට යොදා නොගැනීමටත්, තුන් වන පාර්ශ්වයකට එවැනි ක්‍රියාවකට ඉඩ නොදීමටත් එකඟ වී තිබෙනවා. ඉන්දියානු රජය විසින් මේ සම්බන්ධව අවධානය යොමු කරවමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඉතා දැඩි ප්‍රකාශයක් යොමු කල බව ඉන්දියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක බර්චි මහතා ඉන්දියානු මාධ්‍යට පෙරෙයිදා ප්‍රකාශ කොට තුබුණා. එහෙත් , මේ සම්බන්ධව ශ්‍රී ලංකා රජය කිසිදු නිළ ප්‍රකාශයක් මෙතෙක් නිකුත් කොට නැහැ.

ලංකාවේ කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන කැබිනට් තීරණ දැනුම් දෙමින් ප්‍රකාශ කලේ ලංකාවේ විදේශ කටයුතු පිළිබඳ ඇමැති අලි සබ්‍රී පසුගිය සඳුදා කැබිනට් මණ්ඩලයට දන්වා තිබෙන්නේ මෙම චීන නැව අගොස්තු 11 පැමිණීමට නියමිත බවත්, එය 18 වන දින දක්වා හම්බන්තොට වරායේ නැංගුරම් ලෑමට නියමිත බවත්, ඔවුන් මෙහි ගතකරන කාලයේ නැවට අවශ්‍ය ආහාර , ඉන්ධන , සහ ජලය ලබා ගැනීමට කටයුතු කරන බවත් ඉන් ලංකාවට ඩොලර් ලැබෙන බවත් පමණයි. රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය ඉතා ඇල් මැරුණු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම තුල ඉන්දියානු රජය ඔවුන්ගේ දැඩි විරෝධය ලංකාවේ ජනාධිපතිට සෘජුව දැන්වූ බව ඉන්දියානු විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කොට තිබුණා.
පසුගිය මාස කිහිපයේ ලංකාවේ තිබූ දැඩි ආර්ථික අසහනය මදකට හෝ සැහැල්ලු කරගැනීමට හැකි වූයේ ඉන්දියානු ණය (Credit Line + Currency Swap) ඩොලර් බිලියන 3.8 ලැබුණු නිසා බව අපි දන්නවා. එහෙත් , චීනය එකල අපව මගහැර සිටි බවක් පේන්න තිබුණා. ලෝක ආර්ථික අවපාත තත්ත්වය හේතුවෙන් , පසුගිය මාසයේ සිට ඉන්දියානු ආර්ථිකය මද පසුබෑමකට ලක්වෙමින් තිබෙන බව පේන්න තිබෙනවා. එමනිසා ඔවුන් ලංකාවට දෙන ආධාර නවතා දැමීමට තීරණය කොට තිබෙනවා. එමනිසා , කල දුටු කල වල ඉහ ගැනීමට බලාසිටි චීනය ඔවුන්ගේ සුපුරුදු මැදිහත් වීම දැන් අරඹා තිබෙනවා.

ලංකාව ලෝක බලවතුන් දෙදෙනකුගේ බල අරගලයේ මැදට හිරවී සැන්ඩ්විච් වෙමින් තිබෙනවා. එයට හේතුව , ලංකාවේ අදූරදර්ශී විදේශ ප්‍රතිපත්තිය. කාලෙන් කාලෙට කිසියම් බල කඳවුරක සුරතලෙක් වෙමින් පැවති ගමනේ අද ශේෂ පත්‍රය ඩොලර් බිලියන 61 ණය ගැතියෙක්, හොරකම වංචාව ඉහ වහා ගිය දේශපාලන සංස්කෘතියක්, ජනගහනයෙන් මිලියන 7 ක් බඩගින්නේ, ළමුන් 5 න් 3 දෙනෙක් මන්දපෝෂණයෙන් , පාසැල් සහ රජයේ කාර්යාල දින තුනකට සීමා වීමක්, උද්ධමනය 61% ක් සහ ආහාර උද්ධමනය 90.1%ක්, ප්‍රවාහන උද්ධමනය 143%ක් , ඉන්ධන පෝලිම් රට පුරා, රටේ ආර්ථික , දේශපාලන හා සමාජ අර්බුදයක්. මේ අල්ල පනල්ලේ , චීන නැවකුත් ලංකාවට රිංගීම හේතුවෙන් ප්‍රශ්නය තවත් උග්‍ර වීමක්.

රට තුල දැඩි මර්ධනයක් ක්‍රියාත්මක වීම තුල ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ශ්‍රී ලංකාව සම්බන්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වෙනවා. ලබන සතිය වන විට යුරෝපයේ වෙසෙන ලාංකිකයන් දස දහස් ගණනක් ලංකාවේ සිදුවන මානව හිමිකම් උල්ලංඝනය වීම්, මරාදැමීම් යනාදිය පිළිබඳ ජිනිවා නුවර මානව හිමිකම් කොමිසම ඉදිරියේ විරෝධතාවයක් දැක්වීමටත්, පෙත්සමක් භාර දීමටත් සූදානම් වෙනවා. එමෙන්ම, ලංකාවේ අනීතික අත් අඩංගුවට ගැනීම්, නාඳුනන මල සිරුරු මුහුදු වෙරළට ගොඩ ගැසීම යනාදිය සම්බන්ධව බ්‍රසල්ස් හි යුරෝපා පාර්ලිමේන්තුවට පැමිණිලි කිරීමට සූදානම් වෙනවා. වෘත්තීය සමිති නායකයින් දඩයම් කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කොට ඇති අදහස් ප්‍රකාශ කිරීමේ, හා සංවිධානය වීමේ නිදහස යනාදි සකලවිධ මූලික අයිතීන් උල්ලංඝනය කිරීම සම්බන්ධව සියළු ජාත්‍යන්තර සංවිධාන දැනුම්වත් කිරීමට විදේශ ගත ශ්‍රී ලාංකික සංවිධාන කටයුතු කරමින් සිටින බව වාර්තා වෙනවා. රටේ පාලකයන් පවතින ආර්ථික අර්බුදය කළමනාකරණය කරනවා වෙනුවට ඔවුන්ගේ බලාධිකාරයට බලපෑම් විය හැකි සියළු පාර්ශව හා පුද්ගලයන් හිරකොට තැබීමට බිය ගැන්වීමට, නිශ්ශබ්ධ කිරීමට යෑම තුල රජය බලාපොරොත්තු වන IMF සහන ලබා ගැනීම පවා තවත් දුෂ්කර වනු ඇත. මේ සම්බන්ධව ලෝක බැංකුව පෙරෙයිදා නිකුත් කල ප්‍රකාශයේ ඔවුන් පැහැදිලිව සඳහන් කොට තිබුන අතර ඔවුන් අවධාරණය කර තිබුනේ රටතුල දේශපාලන ස්ථාවර භාවය තහවුරු කරගැනීමට රජය කටයුතු කල යුතු බවයි. එහෙත් , රනිල් වික්‍රමසිංහ එය පයිසයකට වත් මායිං කරනවාද කියා සැක සහිතයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පෙරෙයිදා ප්‍රකාශයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා රජයට දන්වා සිටියේ තම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සියළු ණය හිමියන්ගේ එකඟතාවය ලබා ගත යුතු බවත්, විශේෂයෙන්ම චීනයේ එකඟතාවය අවශ්‍ය බවත්ය. සාමාන්‍යයෙන් ප්‍රතිපත්තියක් ලෙස චීනය කිසිදු අවස්ථාවක ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට ඉතිහාසයේ එකඟ වී නැහැ. එසේනම්, ලංකාවේ සමස්ත ණය ප්‍රමාණයෙන් වැඩිම ණය ප්‍රමාණය වන ඩොලර් බිලියන 10 ක ණය ලබා දී තිබෙන්නේ තනි රටක් ලෙස චීනය යි. එම නිසා, ලංකාවට තම ණය ප්‍රතිව්‍යුහගත කරගැනීමට නම් චීනයේ යම් එකඟතාවක් ලබා ගැනීමට අවශ්‍ය වෙනවා. එසේ නොවුනහොත් IMF අනුග්‍රහය ලබා ගැනීමට බාධාවක් ඇති වෙනවා. එම නිසා ඔවුන්ගේ යුවාන් වැන්ග් 5 නැවට හම්බන්තොට වරායේ නැංගුරම් ලෑමට අවසර දීමට සිදුවෙනවා. ඒ වගේම එසේ ඉඩ දීම තුල ලංකාව ඉන්දියාවේ උදහසට ලක්වෙනවා. එය ලංකාවේ හිතසුව පිණිස එතරම් යහපත් නොවනු ඇති. බොහෝ දුරට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් අද හෝ හෙට මෙම චීන නැව ලංකාවේ වරායකට ඇතුළු වීමට අවසර දීම සම්බන්ධව ඉතා දැඩි විරෝධයක් දැක්වීමට නියමිතයි. එමෙන්ම , රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ යෝජිත චීන සංචාරය සම්බන්ධව අමෙරිකාව දැඩි විමසිල්ලෙන් සිටින බවත් ආරංචියි. ලංකාවේ මෙතෙක් පැවති වැරදි දේශපාලන ක්‍රමවේදය විසින් ආර්ථික අර්බුදයක් නිර්මාණය කල අතර, එය අද වන විට සමාජ ප්‍රශ්නයක් දක්වා ඔඩුදුවා හෙට අනිද්දා වන විට ව්දේශ සම්බන්ධතා පිළිබඳ අර්බුදයක් කරා යෑමට නියමිතයි. අද ලංකාව පත්වී තිබෙන්නේ ” ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී” තත්වයකටයි.

රටකට ගිය කලක්. අපිට වෙච්ච දෙයක් කියමින් සිටිනවා ද, නැතහොත් මෙයින් මිදීමට ක්‍රමවේදයක් සොයා ගැනීමට පුරවැසියන් හැටියට අපි සූදානම් වනවාද ? තීරණය ඔබ සතුය…………..

ශාන්ත ජයරත්න

ජ්‍යෙෂ්ඨ උපදේශක (හිටපු)
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය

SLIDA

සබැඳි

Leave a Reply

Your email address will not be published.