නික්ම යාම

නිමිත්ත – ගෝල්ෆේස් අරගල බිම හැරදමා යන තරුණියක උරමත දැරූ සුරතල් පූසකු සහිත සේයාරුවක්
අවසන බාර දී මහජන දේපළ
උන්ට සහ උන් ගේ උන්ට,
කර තබා ගමි ඔය මියුරු පුරු පුරුව
නික්ම යන්නට මොහොතකට පෙර…
බර සාර ගෝ හෝම් පීඨිකාව ළඟ
ගුගුරන වේදනා සහ උතුරන වැස්ස යට
බඩගින්නට දුකට එකතු වී හමුවුන
එකම පංතියක නුඹ සහ මම
අහංකාර ඕස්ට්‍රේලියන් තණකොළ
වේදනාවේ බාටාවලට පෑගුන
වියරු හෙලිකොප්ටර් සැණකෙළි මැද
අහිංසාවේ සරුංගල් මුසුවුන
ලස්සන ම ලස්සන අහස යට ,
ආදරය ගැන විතරක් ම ,
එකම එක ස්වරයෙන්
නිහඬ කතා දහසක්
ගොලු බසින් මිමිණුව
බිම අතුළ කඩ දාසියට වට
බත් පිඬක තිබී හමුවුන
ප්‍රේමයම පමණක් දරා උර මත
ස්නේහයෙන් නික්ම යමි තබා දිගු පියවර…