පිළිකාව සමගින් සටන් කළ ක්‍රිකට් තරුව!

තමන්ගේ සමීපතමයෙක්ට හැදෙන්න පුලුවන් අහන්න අකමැතිම රෝගය මොකක්ද? මං ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. අනිවාර්යයෙන්ම ඔබ ලබා දෙන පිළිතුරු අතරේ ‘පිළිකාව’ යන වචනය තිබෙනවාමයි. පිළිකාව සහ ක්‍රීඩාව යන මාතෘකා දෙක එකිනෙකට බද්ධ කිරීමට මා උත්සාහ කළොත් බොහොම ආකර්ෂණීය ධෛර්යය සම්පන්න කතා බොහොමයක් ඔබට අහන්නට ලැබෙනවා සිකුරුයි.

යුව්රාජ් සිං පිළිකා මාරයා හා සටන් කොට පරාජයට පත් කිරීම, පසු කළෙක තහනම් උත්තේජක චෝදනාවට ගොදුරු වුවත් ලාන්ස් ආම්ස්ට්‍රෝන්ගේ කතාව වැනි කතා වගේම ටෝනි ග්‍රේග් වැන්නවුන්ගේ කතාද අපිට අහන්නට දකින්නට පුලුවන්. මේ ලිපියෙන් කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාව හා පිළිකා මාරයා නැවත එකිනෙක ගැටුණු අවස්ථාවක්. මෙවර කථා නායකයා හිටපු නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක මාටින් ක්‍රෝ.

ටෙස්ට් තරඟ 77 කදී ලකුණු 5444ක්. එක්දින තරඟ 143 කදී ලකුණු 4704ක්. ටෙස්ට් ශතක 17ක් සහ එක්දින ශතක 4ක් හිමි උක්ත මාටින් ක්‍රෝ යනු නවසීලන්ත ක්‍රිකට් වල සිටි වෙනම පරිච්ඡේදයක් කීම වඩාත් නිවැරදි වනවා. 1992 ක්‍රිකට් ලෝක කුසලානයේ වැඩිම ලකුණු ලාභියා වගේම තරඟාවලියේ වීරයා වුණෙත් ඔහුමයි. කතා දෙකක් නෑ ක්‍රෝ කියන්නෙ නොම්මර 1 දක්ෂයෙක්.

2013 වසරේදී මාටින් ක්‍රෝගේ ශරීරයේ මතු වෙමින් තිබූ යම් යම් හඳුනාගත නොහැකි ගැටිති ආදිය නිසා ඔහු පරීක්ෂණ වලට භාජනය වීමේ ප්‍රතිඵලය වූයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇති පිළිකා රෝගයක් හඳුනා ගැනීමයි. එයට ප්‍රතිකාර ගනිද්දී උදරයේ ඇතිවූ ගෙඩියකට ශල්‍යකර්මයක් සිදු කිරීමට පවා ඔහුට සිදු වුණා.

මාටින් ක්‍රෝ යනු කඩවසම් ක්‍රීඩකයෙක්. නමුත් කිමෝතෙරපි ප්‍රතිකාර නිසා ශරීරය කෘෂ වී ගොස් තට්ටය පෑදී ක්‍රෝගේ කඩවසම් පෙනුමත් දුරස් වුණා. නමුත් ඔහුව අතහැරියේ ආදරණීය බිරිඳ නම් නොවේ. 1983 විශ්ව රූ රැජිණ ලෙස කිරුළු පළන් ලොරේන් ඩවුන්ස් හැම විටෙකම ඔහුත් සමගම සිටියා.

“මගේ එකම ලෝකය ඈ. ඇය නැතුව මම මේ ගමන කොහොම ආවද කියලා මට හිතාගන්නවත් බෑ. සෑම ප්‍රතිකාර අවස්ථාවකදීම ඇය මා ළඟින් සිටියා. කඳුලු සැළුවා. මාව වැලඳගෙන මගේ වේදනාව බෙදාගත්තා. මට පිළිකාවක් වැළඳී ඇති බව දැනගත් විට අප දෙදෙනා පැය ගණනක් හඬා වැටුණා.” මේ මාටින් ක්‍රෝ පැවසූ ඔහුගේ අත්දැකීම් ස්වල්පයක්.

2013 වසරේ අග භාගයට ළං වන විට ඔහු සිටි තත්ත්වයට වඩා සුව වන ආකාරයක් දකින්නට ලැබුණා. නමුත් තමන් එකදිගටම පිළිකා මාරයා සමගින් ඉදිරි ජීවිත කාලයම සටන් කළ යුතු බව මාටින් ක්‍රෝ තේරුම් ගනිමින් සිටියා. නැවත වතාවක් පෙරටත් වඩා දරුණුව රෝගී තත්ත්වය උත්සන්න වී ක්‍රෝගේ සූදානමට අභියෝග කළා.

තමන් කෙතරම් සටන් කළත් අවසානයට ළංව ඇති බවට මාටින් ක්‍රෝ 2014 වසරේ අග භාගය වන විට තේරුම් ගෙන තිබුණා. මට 2015 ලෝක කුසලානය නැරඹීමට අවශ්‍යයි යැයි කිහිප වතාවක්ම මාටින් ක්‍රෝ ප්‍රකාශ කොට සිටියා. එය ඔහුගේ සිතේ තිබුණු අවසන් කැමැත්තද වන්නට ඇති. අවසානයේදී ඔහුට එම භාග්‍යය උදා වුණා.

2015 ලෝක කුසලාන අවසන් මහා තරඟයට ඉතිහාසයේ ප්‍රථම වතාවට බ්‍රෙන්ඩන් මැකලම් ප්‍රමුඛ කිවි සඟයන් සටනට එද්දී එදින මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී මාටින් ක්‍රෝ 1992 තමන්ට සිදු කිරීමට නොහැකි වූ දේ වර්තමානයේදී දකිමින් සතුටු වුණා. අවාසනාවකට එදින ජයග්‍රහණය කැංගරුවන් සතු වූවා. ඒ මාටින් ක්‍රෝ නම් ක්‍රිකට් තරුව ප්‍රසිද්ධියේ දැක ගැනීමට ලැබුණ අවසන් අවස්ථාව වීමද අවාසනාවක්.

බවුන්සර් පන්දු, යෝකර් පන්දු ආදී එකී නොකී පන්දු දහස් ගණනින් නොව දස දහස් ගණනින් මට්ටු කළ විශිෂ්ටයා ඉහත සිදුවීමෙන් වසරක ඇවෑමෙන් 2016 මාර්තු මස 3 වනදා පිළිකා යෝකරයට ගොදුරු වී නවසීලන්තයේ ඕක්ලන්ඩ් හීදි දැවී ගියා. අදටත් නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ නොමියෙන පරිච්ඡේදයක මතකයක් ලෙසින් මාටින් ක්‍රෝ යන නම සටහන්ව තිබෙනවා.

ශාමින්ද ජයරත්න

සබැඳි

Leave a Reply

Your email address will not be published.